වනාතමුල්ලේ සමාජ හරස්කඩ

0
3

මෙයට අවුරුදු හතළිහකට පමණ පෙර ආසියාවේ ඉහළ සාක්‍ෂරතාව තිබූ රට ශ්‍රී ලංකාව විය. එම කාරණය සම්බන්ධයෙන් දෙවැනි තැන ලැබී තිබුණේ ජපානයට ය. අද ආසියාවේ ඉහළ සාක්‍ෂරතාව ඇති රට ජපානයයි. ලංකාව එම ලැයිස්තුවේ කොතැනක ඇද්ද යන්න අපි නොදනිමු. සමාජ මාධ්‍ය පැමිණි පසු මේ රටේ ජනතාව අකුරු ලිවීමෙන් හා කියැවීමෙන් බැහැර වන්නට පටන් ගත්හ. මිනිස්සු රූප බලා දෙබස් ඇසීමට වඩා ප්‍රිය කරති. පොතක් පතක් කියවනවාක් මෙන් පුංචි වූ මහන්සියක් රූප බලා දෙබස් ඇසීමේ දී හටගන්නේ නැත. මේ නිසා ලංකාව පිරිහුණු සාක්‍ෂරතාවක් ඇති රටක් බවට පත් වෙමින් පවතී. 1970 ගණන්වල චිත්‍රකතා පත්තර මෙරට වෙළෙඳපොළට පැමිණි විට වැඩිහිටියෝත්, ගුරුවරුත් එම චිත්‍ර කතා පත්තරවලට හතරඅතේ බණින්නට පටන් ගත්තේ චිත්‍ර කතා බැලීමෙන් දරු පරපුර පොත්වලින් ඈත්වන බව කියමිනි. එහෙත් අද පවතින සමාජ මාධ්‍යවලට වඩා විශාල සේවයක් චිත්‍රකතා මගින් ඉටු වූහ. මන්ද චිත්‍රකතාවල දෙබස් ඇහෙන්නේ නැත. ඒවා කියවිය යුතු ය. කතාවෙහි එන පින්තූරවල රසය ලැබෙන්නේ දෙබස් ද කියවීමෙනි. ලංකාව අකුරු කියවීම සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසියම් ගමනාන්තයකට පැමිණෙමින් සිටී. මේ ගමනාන්තයෙහි ඇත්තේ විශාල ප්‍රපාතයකි. මේ ප්‍රපාතයට වැටීමෙන් පසු සංස්කෘතික හෝ සමාජීය වශයෙන් ගොඩඒමක් නැත. අද මේ ප්‍රපාතයට විශාල පිරිස් ඇදවැටෙමින් පවතී. ලංකාවේ ජනගහනය දෙකෝටි තිස් ලක්ෂයකට කිට්ටු ය. මේ රටේ පොත පත කියැවීම සහ අකුරු ඉගෙන ගැනීම යන කාරණා දවසින් දවස පිරිහුණොත් ඉතාම නුදුරෙහිම මේ රටේ ජනයා පෙර කී ප්‍රපාතයෙන් සිය ජීවිත කෙළවර කරගන්නවා ඇත.

බොරැල්ලේ වනාතමුල්ල නමැති ප්‍රදේශයේ පිහිටි ‘වත්තක’ සිටින පාසල් යන වයසේ පසුවන දරුවන් හැත්තෑහතර දෙනෙක් මුළු ජීවිතයටම එක දවසක් හෝ පාසල් ගොස් නැති බව ලෝක ළමා දිනය දා හෙළි විය. ඒ බව ඊයේ (02දා) ‘දිවයින’ මුල් පිටුවේ සඳහන් වේ. මේ ළමයි වයස 5ත් 16ත් අතර අය වූහ. පාසල් යෑම යනු මූලික මිනිස් අයිතිවාසිකමකි. සෑම ළමයකුටම පාසල් අධ්‍යාපනය නීතියෙන්ම හිමිවේ. ලංකාවේ නීතියට අනුව පාසල් යන වයසේ ළමයි ස්ථිර වශයෙන්ම පාසලක් සඳහා යොමු කළ යුතු ය. දරුවකුට පාසලක් නැත්නම් කලාප අධ්‍යාපන කාර්යාලයට ගොස් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා එම ළමයාට කෙසේ හෝ පාසලක් ලබාදෙයි. ඒ පාසලක් ලබාදීම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සතු වගකීමකි. වනාතමුල්ල හරියේ ප්‍රධාන පෙළේ ජාතික පාසල් තුනක් ද ජාතික නොවන පාසල් අඩුම ගණනේ දහයක් ද ඇත. වනාතේ ළමයින් හැත්තෑහතර දෙනා පාසල් නොයන්නේ පාසල් නැතිකම නිසා නොවේ. ඔවුන්ට පාසල් යෑමට ක්‍රමයක් නැති නිසාය. ළමයකුට පාසල් යෑමට නිල ඇඳුමක්, සපත්තු කුට්ටමක් සහ අනෙක් ලිපි ද්‍රව්‍ය අවශ්‍ය වෙයි. අච්චු පොත්ටික ආණ්ඩුවෙන් දුන්නාට අනෙක් අඩුම කුඩුම ටික පාසලෙන් ලැබෙන්නේ නැත. මේ නිසා ගෙදර සිටීම හැර අන් විකල්පයක් මේ ළමයින්ට නැත. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වතුවල සිටින ළමයි විශාල ගණනක් පාසල් නොයති. පිට පළාත්වල තත්ත්වය ද මෙසේමය. ඇතැම් ළමයින්ට පාසලේ පළමුවැනි වසර එහෙම පිටින්ම අහිමි වෙයි. එයට හේතුව ඒ ළමයින්ගේ දෙමාපියන් ජාතික පාසලකට ළමයා ඔබා ගැනීමේ අභිලාෂයෙන් ළමයාගේ පාසල් ගමන ප්‍රමාද කිරීම ය. සමහර දෙමාපියෝ ළමයාගේ ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාම මුරණ්ඩු පියවර ගනිති. ජාතික පාසලකට තම ළමයා දැමීමට බැරිවුණොත් ඒ ළමයා පාසල් නොයවන බවත්, ජාත්‍යන්තර පාසලකට යවන බවත් එම දෙමාපියෝ කියති. එහෙත් ජාත්‍යන්තර පාසලකට ළමයෙක් දමා ගැනීම පොඩි කෙළියක් නොවේ. සාමාන්‍ය මට්ටමේ ජාත්‍යන්තර පාසලකට ළමයකු ඇතුළු කිරීමට ආරම්භයක් වශයෙන් රුපියල් මිලියනයකට එහා පැත්තෙන් අවශ්‍ය ය. ජාත්‍යන්තර පාසල්වලට යන ළමයින්ට සිංහල සංස්කෘතියට සෙට්වීම අමාරු ය. ඇතැම් ජාත්‍යන්තර පාසල්වල ආගම උගන්වනු නොලැබේ. මේ අනුව ජාතික පාසලක් නැතිකමෙන් ජාත්‍යන්තර පාසලකට යන ළමයා ඉතාම නන්නත්තාර තත්ත්වයකට පත්වෙයි. මේ නන්නත්තාරය තුළ බිහිවන සමාජ ඵලය (ළමයා) ඉතාම හානිකර ඵලයකි. මේ ළමයි මංමුලා වූ සංස්කෘතික පාරක ගමන් කර අසංස්කෘතිය නමැති වාහනයේ ගැටී අතපය කඩා ගනිති.

පාසල් නොයන ළමයා විශාල පරිහානියකට ලක්වෙයි. මේ ළමයා ජීවත් වන්නේ වනාතමුල්ල වැනි නාගරික ප්‍රදේශයක නම් ඔහු හෝ ඇය ළමා කම්කරු වෘත්තියට පිවිසීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. එහෙමත් නැත්නම් ඔවුහු ලිංගික අපහරණයට ලක්වෙති. තුන්වැනුව ඔවුහු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ අතකොළු බවට පත්වෙති. මෙසේ ඉදිරියට යන වත්තේ ළමා පරපුර සිය ජීවිත කෙළවර කරගන්නේ පොලිස් වෙඩි පහරිනි. මන්ද ඒ ළමයින්ට ජීවත්වීම සඳහා තෝරා ගැනීමට සිදුවන්නේ සාපරාධී පිළිවෙතකි. එක්කෝ ඒ ළමයි කුඩු විකුණති. නැතහොත් සොරකම් කරති. සාක්කුවලට බැස පර්ස් සොරා ගනිති. මේ ළමයි යම් හෙයකින් මත්ද්‍රව්‍යයකට හුරුවුණොත් ලොකු විපතක් සිදුවෙයි. කුඩු මිලදී ගැනීමට සල්ලි නැති අවස්ථාවල දී ඒ ළමයි අල්ලපු ගෙදර ගෑස් සිලින්ඩරය සොරකම් කර විකුණා ඒ මුදලින් හෝ මත්ද්‍රව්‍ය ලබා ගනිති. ඒවා නැතිවූ විට සික් එකක් හටගනී. ඔවුහු කඳුළු පෙරමින් ද සොටු පෙරමින් ද අසහනයෙන් ද භීතියෙන් ද තැතිගනිමින් ද ඉතා කාලකණ්ණි ජීවිත ගත කරති. මෙය සමාන වන්නේ අරක්කු නැති විට බේබද්දාගේ අතපය වෙව්ලීමට ය. මේ වෙව්ලීම නැති කිරීමට නම් අරක්කු භාගයක් හෝ කසිප්පු භාගයක් ගැසීම අත්‍යවශ්‍ය ය.

ලංකාවේ සිරගෙවල්වල සහ රැඳවුම් කඳවුරුවල ළමයින් 19,000ක් පමණ සිටින බව දැනගන්නට තිබේ. මේ ළමයින්ගේ අධ්‍යාපනය 100% ක්ම සිදුවන්නේ නැත. උදාහරණයක් වශයෙන් හිරේ ගිය මව්වරුන් සමග හිරකූඩුව තුළ හැදෙන වැඩෙන දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනයක් කිසිසේත්ම නොලැබේ. මෙය ඉතිහාසයේ පටන් අද දක්වාම පවතින තත්ත්වයකි. ඉතිහාසය අමතක කළ හැකිය. එහෙත් එය මකා දැමීමට නොහැකිය. ඉතිහාසය නිතරම පුනරුච්චාරණය වේ. කාල් මාක්ස් කියන පරිදි ඉතිහාසය වරක් පුනරුච්චාරණය වන්නේ ශෝකාන්තයක් ලෙස ය. එහෙත් දෙවනවර පුනරුච්චාරණය වන්නේ කොමඩියක් ලෙස ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here