ෂොපින් බෑග් භාවිතය අවම කිරීමට නව නීති ගේනවා නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි

0
3

නොමිලේ ෂොපින් බෑග් දෙනු බෑ

දැඩි පාරිසරික හානියක් සිදුකරන එක්වරක් පමණක් භාවිතා කොට ඉවතලන ෂොපින් බෑග් භාවිතය අවම කිරීම සඳහා වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී නොමිලේ ෂොපින් බෑග් නිකුත් කිරීම වළක්වා ඒවා සඳහා මුදල් අයකරගත හැකි පරිදි පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියේ අණපනත් සංශෝධන කොට ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු අංශ ඊයේ (01දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබාදුන්හ.

එකී වගකිව යුතු බලධාරීන් වෙනුවෙන් හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, කුමුදුනී වික්‍රමසිංහ හා සම්පත් අබේකෝන් යන විනිසුරු මඬුල්ලක් හමුවේදී එකී පොරොන්දුව ලබාදුන්නාය.

පරිසරයට දැඩි හානියක් සිදුකරන ෂොපින් බෑග් භාවිතය හා සෙසු පොලිතින් වර්ග භාවිතය අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමට වගකිවයුතු බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් 2022 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. එම පෙත්සම කැඳවීමෙන් අනතුරුව භාණ්ඩ මිලදී ගැනීමේදී නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මුදලක් අයකර ගත හැකි පරිදි විශේෂ බද්දක් අයකිරීමට අවශ්‍ය නීති රෙගුලාසි සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තකරුවන් 2024.03.28 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟතාව පළකර තිබිණි. එකී එකඟතාවට වසර එකහමාරක් ගෙවී ගොස් ඇතත් මේ දක්වා ඒ අනුව කටයුතු කර නොමැති බව එම නඩුව මෝසම් පත්‍රයක් මගින් කැඳවමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේ වගඋත්තකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එකී පොරොන්දුව ලබාදුන්නාය.
ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here