ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මේ ලියන මොහොත වන විටත් සිටින්නේ ජපානයේ නිල සංචාරයක නිරත වෙමින් ය. එක්සත් ජාතීන්ගේ 80 වැනි මහ සමුළුව අමතා ජපානයට ගිය ජනාධිපති අනුර එහිදීත් අවධාරණය කළේ, මේ රටේ යහපත් සමාජ – දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට තමන්ගේ ආණ්ඩුව කැපවී සිටින බව ය. මෙරටේ ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ආණ්ඩුවට අමතරව යටිබිම්ගත වෙනම ආණ්ඩුවකුත් පවතින බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් අබියස ද පවසා සිටියේ ඒ දූෂිත, ගර්හිත යටිබිම්ගත බලය නිසැකයෙන්ම අවසන් කරන බව ය. ඇත්තටම මෙරටේ දේශපාලනය තරමටම ආයතන හා ඒවායේ බොහෝ මුල් පුටු අතිශය දූෂිත බව අප විසින් ද අවධාරණය කරන ලද කරුණකි. ජනාධිපති අනුර පැවසූ පරිදිම, දූෂණය මහා භයානක අනතුරක් මෙන්ම ඒ දූෂණයට ඉඩදී බලා සිටීම ඊට වඩා අනතුරකි. දේශපාලනයේ ද අනුග්‍රහ මැද රටම වෙළාගත් ඒ දූෂණ දුමාරය ලේසියෙන් තුරන් කළ නොහැකි බවද ඇත්ත ය.
මේ ආණ්ඩුවේ දූෂණ, වංචා, අල්ලස් විරෝධී මෙහෙයුම පිළිබඳව කිසිවකුට දොසක් ඇදක් කිව නොහැක. නීතියට උඩින් කිසිවෙක් නැත යන ආදර්ශපාඨය මේ ආණ්ඩුව ඉහළම තැනක තබා එයට අනුකූලව රට ගෙනයෑමට දරන ප්‍රයත්නය ද ඉතා පැහැදිලි ය. එහෙත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් පිළිබඳ කතිකාව සමාජය තුළ සිදුවන්නේ ඔවුන්ට ද අධිචෝදනා පත්‍ර එල්ල කරමින් ය. විපක්‍ෂවල තර්කය වී තිබෙන්නේ වත්කම් ප්‍රකාශන අනුව මේ ආණ්ඩුවේ සිටින්නේත් ධනපතියන් බව ය. ධනය ඉපයීම, රැස්කිරීම වරදක් නොවුවද ඒවා උපයා ගත් ආකාරය නීතියට මෙන්ම සදාචාරයට ද අනුකූලව සිදුවිය යුතුය. විපක්‍ෂය චෝදනා කරන්නේ, ඒ සා ධන සම්පත් තිබුණු අය විසින් තම පාක්‍ෂිකයන් හෝ අනුගාමිකයන් රවටා දේශපාලනය කර ඇති බව ය. එසේනම් පළමුවෙන්ම ඉදිරිපත් විය යුත්තේ ඒ රැවටීම්වලට, ගසාකෑම්වලට ලක්වූ ජනතාව බව ද අපගේ අදහස ය. ඒ ජනයා ඒ කාර්යයට පසුබසිත් නම් මේ විපක්‍ෂවලට ඒ ජනයා හමු වී දිවුරුම් ප්‍රකාශ හෝ ලබාගෙන ඒ අකටයුතුකම් අනාවරණය කිරීමට ද බාධාවක් නැත. එසේම දැනට ප්‍රකාශයට පත් කර තිබෙන වත්කම් සැක සහිත හෝ පිළිගත හැකි හෝ නොවේ නම් ඒ ගැන ද අල්ලස් කොමිසමට පැමිණිලි කළ හැකි ය. එසේ තිබියදී මාධ්‍යවේදියකු විසින් අල්ලනු ලබන මයික්‍රෆෝනය මගින් දෙසාබෑමෙන් පමණක් යුක්තිය ඉටුවන්නේ නැති බව ද කිව යුතු ය. එසේම අන් අයගේ වත්කම් – බැරකම් ප්‍රශ්න කරන අය තම පක්‍ෂවල නායකකාරකාදීන් ඒ කාර්යය හරියටම ඉටුකර තිබේ ද යන්නත් විමසා බැලිය යුතු ය.
දැනට තිබෙන සමාජ – දේශපාලන කැලඹිලි සියල්ලටම වැඩි වශයෙන් වගකිව යුත්තෝ මේ රටේ පාලනය ගෙනගිය අයත් එයට දායක වූ අයත් වෙති. දින කීපයකට පෙර පැවති කුමක් හෝ සාකච්ඡාවකදීත් ප්‍රකාශ වූයේ, මෙරටේ දූෂිතම ආයතනය පොලිසිය බව ය. ඒ පොලිසිය නිවැරදි කිරීම ප්‍රාතිහාර්යයක් නොව මාර යුද්ධයකැයි තවමත් හිතෙන්නේ පොලිසිය පැත්තෙන් ඇසෙන තොරතුරු නිසාම ය. තවමත් රටම ඇස ගසාගෙන සිටින ඉන්දුනීසියාවෙන් අල්ලාගෙන මෙරටට ගෙන ආ පාතාල නඩයට පොලිසියත් දේශපාලනයත් සම්බන්ධ බව හෙළිවෙමින් තිබෙන කරුණකි. ‘දිවයින’ ඉකුත් සඳුදා (29දා) මුල් පුවත ලෙස දක්වා තිබුණේ ද පාතාලයන් කුදලා ගෙන ඒමට ඉන්දුනීසියාවට ගිය ආරංචිය පවා පොලිසියෙන් ලබා දී ඇතැයි ඇඟවෙන පුවතකි. “ඔන්න යාළුවනේ පරෙස්සම් වෙයල්ලා වැඩේ පත්තු වෙන්නයි යන්නේ” කියා පාතාලයට දැන්වූ පොලිස් නිලධාරියෙක් සිටින්නේ නම් එය ද බරපතළම ප්‍රශ්නයකි. “වට්ස් ඇප්” මගින් පාතාලයකුට තිබෙන රතු වරෙන්තුව පිළිබඳ තොරතුරු ලබා දී තිබේ නම් එය ඊටත් වඩා බරපතළ වරදකි. පොලිසිය ඇතුළේම පොලිස් නිල ඇඳුම ඇඳගත් පාදඩයෝ ද සිටිතියි ජනතාව ද දනී. මේ පිළිබඳව පොලිස්පතිවරයා පවසා තිබෙන්නේ ද එයට වැරදිකරු වන කාට වුවද කිසිම සමාවක් නොදෙන බව ය. මහජන ආරක්‍ෂක ඇමැති විජයපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සමග මල්වතු මහ නාහිමියන් අබියස පවසා ඇත්තේ ද පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දන ජාතික වැඩපිළිවෙළක් අරඹා තිබෙන බවකි. ඒ ගැන ඊට වඩා කතා කළ යුතු නැත.
මේ වනවිට රටේත්, ජනතාවගේත් ප්‍රබල අවධානය යොමුව තිබෙන අලුත් මාතෘකාවක් ද තිබේ. ඒ ආණ්ඩුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එහෙත් සම්මත නොවූ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන කෙටුම්පත ය. මේ කෙටුම්පත රාජ්‍ය නොවන සංවිධානයක කෙමනක්දැයි යන සැකය දැනටමත් ප්‍රබුද්ධ පුරවැසියන්ට තිබේ. මෙය තකහනියේ ගෙන ආවේ කුමක් නිසාදැයි අපට ද ප්‍රහේලිකාවකි. මේ රටේ ඇන්ජීඕකාරයන් සම්බන්ධයෙන් දැඩිව කතාබහට ලක් වූයේ පසුගිය කාලයේ උද්ගතව තිබුණු කොටි ත්‍රස්තවාදයට ඔවුන් විසින් කරන ලද මැදිහත්වීම් නිසා බව ද අපට මතක ය.
මේ පනත ඉදිරිපත් කරමින් ජයග්‍රාහී ලීලාවෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රකාශ වූයේ දරුවකුගේ අයිතිය දිසා විනිසුරුවරයකුට පැවරෙන බවකි. කියමන අලංකාර ය. හැඩකාර ය. එහෙත් මොන ගොන් කතාවක්ද? ඒ ප්‍රකාශය කෙතරම් අමන ප්‍රකාශයක්දැයි මේ රටේ සාරධර්ම හා සංස්කෘතිය මත දෙපා තබාගත් හුදී ජනයාට ද වැටහෙනු ඇත. සිංහල බෞද්ධකම් ගැන කතා කිරීම නිසා එදාත් දිවයිනට ජාතිවාදී හංවඩුව තැබූ අමන ඇන්ජීඕ නඩයක්ම සිටියහ. දැන් යළිත් ඔව්හු හිස ඔසවමින් සිටිත්දැයි අපි නොදනිමු. එහෙත් එබඳු අනතුරු ඇඟවීමක් මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් කරනු ලැබ ඇත. කාදිනල්තුමන් ප්‍රශ්න කරන්නේ ද බෞද්ධ සංස්කෘතික පසුබිමක් සහිත රටක සාරධර්ම සදාචාරය විනාශ වෙමින් තිබේ ද යන කරුණම ය. කාදිනල්තුමාගේ අනතුරු ඇඟවීම් ඉතා බරපතළ ය. සංචාරක ක්‍ෂෙත්‍රයෙහි කවුරුන් විසින් හෝ සමලිංගික සංචාරකයන් පිනවීම සඳහා රජයට යෝජනාවක් කළ බවක් ද කාදිනල් හිමියෝ කීහ. පාසල් දරුවන්ට (උපත් පාලන කොපු) කොන්ඩම් ලබාදීම ගැන ද උන්වහන්සේ පවසද්දී සිහි බුද්ධිය ඇති අයකුට නම් මේ රට ගැන මහා බියක් දැනෙනු නිසැක ය. මේ සමලිංගික අසනීපකාරයෝ මීට පෙර ආණ්ඩුවල ද සිටියහ. එනිසා මේවා ගැන ලිවීම, කතාකිරීම බිහිසුණු ප්‍රතිචාරවලට ලක්වීමට ද හේතු විය හැකි ය. වෙනත් ආකාරයකින් කිවහොත් ඉල්ලන් කෑමක් විය හැකි ය. එහෙත් කාදිනල් හිමියන් පවසන අනතුර නොතකා සිටිය නොහැකි මහා විනාශයක් කරා රට ගෙන යන නඩයක දූෂිතම මෙහෙයුමක් බව නම් කිව යුතුය.
කාදිනල් හිමියන් සඳහන් කළේ මේවා ආණ්ඩුවේ ඉහළ අය නොදන්නා දේවල් විය හැකි බව ය. එසේම ඒවාට ඉඩ නොදෙන බවක් ද එතුමෝ කීහ. කාදිනල් හිමියන් මේ කතා කියන්නේ ආණ්ඩු පෙරළීමට නොව මෙරටේත් ජනතාවගේත් යහපත උදෙසා ය. මේ ආණ්ඩුව නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ එහි පෙරදිග සමාජ සංස්කෘතික හර පද්ධතීන් නොඉවසන ස්වල්ප දෙනෙක් ක්‍රියාත්මකව සිටිත් ද යන සැකය ඉහත කී ලෙස මාධ්‍යවේදීන් වන අපට ද තිබේ. “දරුවන් දෙමව්පියන්ගෙන් උදුරා දිසා විනිසුරුවන්ට පැවරීමේ පනත දෙස ආණ්ඩුවේ මෙම සංශෝධනය පිළිබඳ විවේචනයක් කළ චතුර පමුණුව ද ලියා තිබුණි. ‘දිවයින’ කතු වැකියෙන් ඇඟවුණේ ද මේ පනතෙහි ගැබ්ව තිබෙන අවදානම් හා විනාශකාරී බලය ගැන ය. දරුවන්ට දඬුවම් දීම සාහසික අපරාධයක් ද යන්න තීරණය කිරීමට අධිකරණයටම යා යුතු නැත. මේ දක්වා එලෙස අධිකරණයට ගොස් යුක්තිය ඉටුකරවා ගැනීමට තරම් ප්‍රබුද්ධ සමාජයක් අපට වූ බවද කිව යුතු ය.
ස්ත්‍රීවාදය, කාන්තා නිදහස, පුරුෂාධිපත්‍යය වැනි මාතෘකා අදත් ඉඳහිට සමාජ කතිකාවලදී ඇසෙයි. ඒවා ඇන්ජීඕකාරයන්ට හොඳට විකුණාගත හැකි භාණ්ඩ ද වේ. එහෙත් පෙරදිග හා අපරදිග යන සන්දර්භ දෙක තුළ ජීවත් වන සමාජවලදී වටිනාකම්, සාරධර්ම, චර්යාධර්ම එකිනෙකට වෙනස් බව ද අපි දනිමු. සිංහල බෞද්ධ යන හැඳින්වීම වහකදුරු වූ අය මේ ආණ්ඩුවේත් ආණ්ඩුවෙන් පිටතත් අඩු වැඩි වශයෙන් සිටීමට බාධාවක් නැත. බෞද්ධ සාරධර්ම මෙන්ම අන්‍යාගමික ඉගැන්වීම් හා සාරධර්ම සමාජයෙහි තිබෙන බව ද ඇත්ත ය. එහෙත් තලේබාන් ක්‍රමයේ ආගමික හෝ සංස්කෘතික හික්මීම් බෞද්ධ සමාජය ප්‍රතික්‍ෂේප කළ බව බෞද්ධ ඉතිහාසය තුළින්ම තහවුරු වේ.
මේ කතාව කලකට පෙර ‘දිවයින’ට විශේෂාංගයක් සැපයූ විද්වතකු විසින් ලියන ලද්දේත් සමාජ සාරධර්ම වටිනාකම් ආගම් සමග බැඳී තිබෙන බව පැවසීමට ය. මෙය ඉන්දීය රාජතාන්ත්‍රික සේවයට ද සම්බන්ධ සත්‍ය කතාවක් බව පැවසේ. එංගලන්තයේ රාජදූත සේවය සඳහා ගිය භාරත රාජතාන්ත්‍රිකයකු සිය පවුලත් සමග එහි පදිංචි වී සිට ඇත. ඔහු එරටදීත් හැසිරුණේ හින්දු සංස්කෘතික හා භාරත සමාජ වටිනාකම් මත පදනම්ව ය. ඔහුට අවුරුදු 16 ඉක්මවූ පුතෙක් සිටි අතර ඒ පුතා ඉගෙන ගත්තේ ලන්ඩනයේ උසස් ආයතනයක ය. මේ පුතාට අවවාද දීමට මෙන්ම ඇතැම්විට තරවටු කිරීමට ද ඒ තානාපති තාත්තාට සිදුවිය. දිනක් කිසියම් වරදකට කිපුණු පියා සිය පුතුට පහරක් ද ගසා ඇත. පුතා මේ බව තම ආයතනයේ මිතුරන්ට පවසා ඇත. මිතුරන් විසින් ඔහුට උපදෙස් දෙන ලද්දේ ඒ ගැන පොලිසියට පැමිණිලි කරන ලෙස ය.
පුතාගේ පැමිණිල්ලට ප්‍රතිචාර දැක්වූ පොලිසිය පියා රාජ්‍යතාන්ත්‍රිකයකු බව ද දැනගෙන ඒ පිළිබඳ එංගලන්ත නීතිය පහදා ඒ අනුව ඉදිරියට කටයුතු කළ යුතු බව ද දැනුම් දී ඇත. පියා නිහඬව එය භාරගත් නමුත් සතියක් ඇතුළත සිය ධුරය හැර ඉන්දියාවට යන බව ද දැනුම් දී ඇත. ඔහුගේ බිරිඳ එය අසා පුදුමයට පත් වුවද ගමනට සූදානම් වූවාය. නියම කරගත් දිනයට පවුලම ඉන්දියාවට ගියහ. ගුවන් යානයෙන් බිමට බැස මඳ දුරක් ගමන් කළ පියා තම ගමන් මල්ල පසෙක තබා පුතාට කුඩා පහරක් එල්ල කළේ ය. සියල්ලෝම අන්ද මන්දව බලා සිටියහ. පියා තරමක දැඩි ස්වරයකින් පුතාට පැවසුවේ “යනව ගිහිල්ල තමුන්ගේ ඉංග්‍රීසි පොලිසියට පැමිණිල්ලක් දානව” යනුවෙනි. බිරිඳ – දුව පමණක් නොව පුතාට ද කාරණාව වැටහුණේ ඉන් පසුව ය. එසේම ඔව්හු එකිනෙකා කමා කරවා ගෙන සිය නිවසට යෑමට තරම් නිහතමානි වූහ. ඒ පෙරදිග සංස්කෘතියයි.
මා මෙය යළි සඳහන් කළේ නීතිය කුමක් වුවත් අප තුළ තිබෙන සංස්කෘතික බැඳීම්වල ප්‍රබල බව තහවුරු කිරීමට ය. මේ කතාව කියූ තාත්තාට මෙන්ම එය ලියූ මට ද මේ ආණ්ඩුවේ නූතනවාදීන් සිනාසෙන බව ද නිසැක ය. එහෙත් කාදිනල් හිමියන් පැවසූ පරිදිම මේ එංගලන්තයවත්, ප්‍රංශයවත්, ඔස්ටේ්‍රලියාවවත් නොව ලංකාව බව මම ද සඳහන් කරන්නෙමි.
කුමක් වුවත් මේ ආණ්ඩුව ඇතැම් දේවල් කරන ආකාරය ප්‍රශ්නකාරි ය. මේ රටේ දෙමව්පිය – දූ දරු සබඳතාව වෙනම දෙයකි. බුදුන් වහන්සේ මහාවග්ග පාලියෙහි මේ සබඳතාව සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු විනිවිද එහි පත්ලට කිඳා බැස තිබෙන්නක් බව වදාළහ. මහාචාර්ය සරච්චන්ද්‍රයෝ සිංහබාහු දෘශ්‍ය කාව්‍ය ලියා ඒ පිය – පුතු සබඳතාවෙහි මහිමය තීව්‍ර ලෙස අප හද තුළ ද සනාතන සෝ ගීයක් ලෙස නිදන් කර තැබූහ. සකස්කඩ නොකී කට හුඹස් කටකි යන්න මේ නූතන ඩිජිටල් සිහින විජිතයකට නොගැළපෙනු විය හැකිය. නම් ලකුණ, සිරිත් මල්දම, ගණදෙවි හෑල්ල මේ බොහෝ නූතනවාදීහු අසාවත් තිබෙත්දැයි මම නොදනිමි. ඒවා ඔවුන්ට වැඩක් නැත. එහෙත් අන්තර්ජාලයේ සක්මන් නොකර සාහිත්‍ය, කලාව, ලෝක ඉතිහාසය මතකයේ රඳවාගත් සාඩම්බර පරපුරක උරුමයක් අපට තිබේ. එය අභාවයට යමින් තිබෙනු විය හැකි ය. එහෙත් ඒ අභිමානවත් පරපුරක උරුමය අපට කියා දුන් ගුරුවරුන්ගේ පා නියරැස් නෑම අපට තවමත් ආශ්වාදයකි. ඒ ගුරුපුද අපේ හදවත සුවඳ කරවයි.
මේ ආණ්ඩුව රාජ්‍ය නොවන සංවිධාන හෙවත් ඇන්ජීඕකාරයන් විසින් ආක්‍රමණය කරමින් සිටින්නේදැයි අපට තවම කිව නොහැක. එහෙත් සමාජ – දේශපාලන අංශවල පැතිර යන ඇතැම් මතිමතාන්තරවලින් එබඳු චෝදනා නැඟෙන බව ද කිව යුතුය. ඇත්ත නැත්ත අපි නොදනිමු. එහෙත් මේ පනත ඇන්ජීඕ වැඩක් බව අධ්‍යාපන ක්‍ෂෙත්‍රවලට සම්බන්ධ විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිවල චෝදනාවකි. දරුවන්ට තැළීම අපේ සමාජය අනුමත කළ ආකාරයක් තිබේ. එය සොඳුරු දඬුවමක් විය යුතු බව මව්පියෝ ද පිළිගත්හ. මුනිදාස කුමාරතුංගගේ ‘සිරිමල්’ යහපත් දරුවකු වූයේ කෙසේදැයි මේ පනත් හදන සමහරු දනිත්ද? දිසාපාමොක් ඇදුරුතුමන් වෙත ගොස් සිල්ප උගත් කුමාරයකු තල අහුරක් සොරා ගැනීම නිසා දඬුවම් ලැබූ කතාවක් ද බෞද්ධ සාහිත්‍යයේ එයි. මේ කුමරා රජ වූ වහාම එදා තමන්ට දඬුවම් කළ දිසාපාමොක්තුමා රජවාසලට කැඳවී ය. එහෙත් දිසාපාමොක්ට කාරණාව සැණකින් වැටහුණි. ඔහු රජවාසලට ගියේ නැත. එහෙත් පසුව රජුට ඒ සිද්ධිය විස්තර කළ පුරෝහිතයන් විසින් පෙන්වා දෙන ලද්දේ එදා වරදට දඬුවම් නොලද්දේ නම් රජවීම වෙනුවට හොර දෙටුවෙක් වන බව ය. රජු වහා ගුරුතුමා බැහැදැක වැඳ සමාව ගත් බව දැක්වේ. වාසනාවකට එදා රජවරුන්ට උපදෙස් දීමට මුග්ධයෝත් ඇන්ජීඕකාරයෝත් නොවූහ.
කෙසේ හෝ මේ ආණ්ඩුවට පඹගාල්වල නොපැටලී ඇතැම් දේවල් ක්‍රියාත්මක කළ නොහැකි බව මෙයට පෙර ද අප දැක තිබේ. මේවා විද්වත් සාකච්ඡාවකින් පසු ජනමතය දැන හැඳින කළ යුතු දේවල් ය. දෙස බසරැස විනා කුස රැකීමේ පුරුද්දක් මේ රටේ ගුරුවන්ට නොවී ය. ‘ගුරු සිත නොරිදවා – බැතිපෙම් උපදවා ගුරු දෙගුරු සෙවණේ වැඩුණු සංස්කෘතික හර පද්ධතිය අමන ඇන්ජීඕ තක්කඩි රැළට සුද්ද කරන්නට දීම මොන තරම් අපරාධයක්දැයි සිතනු යෙහෙකි. රාජ්‍ය නොවන සංවිධානවල දේශප්‍රේමී සත්පුරුෂයෝ ද සිටිති. එහෙත් බහුතරය ජාවාරම්කාරයෝ බව ද කිව යුතුය. ගුරුවරුන් දඬු කඳේ නො ගසා මේ විනය, ශික්‍ෂණය ලබා දුන් රටක් මේ ඇදගෙන යන්නේ කොහාටද? ගතානුගතික වැඩවසම් අඳුරක රටක් සිරවිය යුතු ද නැත. එහෙත් සංස්කෘතික නවීනත්වය ගැන ගැඹුරු කියවීමක් නැති ඇතැම් නූතනයෝ රටක සතුරෝ නොවෙත්ද?
ගාමිණි සුමනසේකර
Saru FM Media