පොලිසියේ රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් අර්චුනාට ඇප

0
2

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ කොටුව පොලිසිය මගින් ඊයේ (29දා) අත්අඩංගුවට ගත් යාපනය දිස්ත්‍රික් (ස්වාධීන) පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කොටුව අධිකරණය මගින් රු. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා සැකකාර මන්ත්‍රීවරයා ඊයේ උදෑසන කොටුව පොලිසිය හමුවේ පෙනී සිට ඇති අතර එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉකුත් 22 වැනිදා කොළඹ කොටුව මැල්කම් මාවතේ දුම්රියපළ ඉදිරිපිට වාහන නවතා තැබීම නොහැකි ස්ථානයකදී සැකකාර මන්ත්‍රීවරයා සිය වෙසෙල් ජීප් රථය නවතා තැබූ අවස්ථාවේදී පොලිසිය සමග ආරවුලක් ඇති කරගෙන තිබිණි.

වාහන නැවැත්වීම තහනම් ස්ථානයක එය නතර කිරීම නිසා රථවාහන නිලධාරීහු මන්ත්‍රීවරයාට දඩ පත්‍රිකාවක් ලබාදීමට සූදානම් වෙද්දී මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔහුට පහත් ආකාරයට බැණවැදී තර්ජනය කර පලාගොස් තිබිණි. “මෙතන වාහන නවත්වන්නේ නැත්නම් තමුසෙගේ ඔළුව උඩද නවත්වන්නේ” යනුවෙන් ඔහු බැණවැදී ඇත.

සැකකාර මන්ත්‍රීවරයා කොටුව පොලිසිය වෙත ඊයේ කැඳවා තිබුණේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර ඇත. රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා මීට පෙර ද අවස්ථා කීපයකදීම මේ ආකාරයට පොලිස් නිලධාරීන් සමග ආරවුල් ඇති කරගෙන තිබිණි.
හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here