සායන පොත අතේ තියාගෙන ‘ඩුබායි තාරුගේ’ අයිස් බෙදූ ගැබිනිය සහ සැමියා අල්ලයි

0
3

ගම්පොළ සිට ගිනිගත්හේනටම බෙදලා
දෙදෙනාගේම රහස් ප්‍රදේශවල අයිස් ගබඩා කරලා

දෙකලවා මත සායන පොත තබාගෙන නීතිය නොමඟ යවමින් පියයුරු යට හා රහස් ප්‍රදේශය තුළ අයිස් මත්ද්‍රව්‍ය සඟවාගෙන සිය 22 හැවිරිදි සැමියා සමඟ 24 හැවිරිදි පස්මස් ගැබිනියක යතුරුපැදියකින් ගොස් ගම්පොළ සිට ගිනිගත්හේන දක්වා මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු වන ඩුබායි තාරුගේ අයිස් බෙදා හරිමින් සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ කීරපණ ප්‍රදේශයේ පදිංචි යුවළකි.

මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු වන ‘ඩුබායි තාරු’ නමැති අයගේ මෙරට ප්‍රධාන තැරව්කරුවකු ලබාදෙන අයිස් පැකට් රැගෙන යතුරුපැදියෙන් යන මොවුන් ඒවා ගම්පොළ ඇත්ගාල, උලපනේ, නාවලපිටිය හා ගිනි ගත්හේන ඇතුළු ප්‍රදේශවල නියමිත තැන් තැන්වල තබා (ලෝකේෂන් තැබීම) බෙදාහැරීම සිදුකර තිබෙන බව අනාවරණය වී තිබේ.

විසි දෙහැවිරිදි සැමියා මෙම අයිස් පැකට් ඔහුගේ රහස් ප්‍රදේශයේ සඟවාත්, බිරිඳ පියයුරු යට හා රහස් ප්‍රදේශය තුළත් ඒවා සඟවාගෙන ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියේ පිටුපසින් හිඳගන්නා මෙම පස්මස් ගැබිනිය ඇගේ සායන පොත දෙකලවා මත කාටත් පෙනෙන ලෙස තබා ගන්නේ හදිසි පොලිස් පරීක්ෂාවකදී වෛද්‍ය සායනයට යන බව පෙන්වා මගහැර යෑමටය.

මොවුන් විසින් ලබාදෙන අයිස් පැකට් එකක වටිනාකම රුපියල් හත්දහසක් වන අතර එම එක් අයිස් මත්ද්‍රව්‍ය පැකට් එකකින් මොවුන්ට රුපියල් දහසක් ලැබී තිබේ. ඒ අනුව මොවුන් දිනකට රුපියල් පනස් දහසකට අධික මුදලක් උපයා ඇති බවද හෙළි වී තිබේ.

මොවුන් දෙදෙනා පැමිණෙන බවට ලද තොරතුරකට පොලිස් කණ්ඩායමක් නාවලපිටිය දොළොස්බාග මාර්ගයේ දුම්රිය නිවාස පෙදෙසේ සැඟවී සිට මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කාන්තාවගේ පියයුරු යට හා රහස් ප්‍රදේශයේ තිබී අයිස් පැකට් දාහතක් හා සැමියාගේ රහස් ප්‍රදේශයේ තිබී අයිස් පැකට් විස්සක් සොයා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් මොවුන් වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව නාවලපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් අමිල මහතාට ඉදිරිපත් කර 22 හැවිරිදි සැමියා හට දින හතක රඳවුම් නියෝගයක් ලබාගෙන ඇත. කාන්තාව ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා පොලිස් අධිකාරි දුෂ්‍යන්ත හේරත් යන නිලධාරීන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති හරේන්ද්‍ර කළුගම්පිටිය දූෂණ මර්දන අංශ ස්ථානාධිපති නිශ්ශංක කුලතුංග, පො.ප. තිළිණ, උ.පො.ප. ඒකනායක, පො.සැ. වරුන් වන (33848) ජයසිංහ, (6384) උපාලි, සහායක එම්. ඕ. (28558) අමරසිංහ, කා.පො.කො. (9216) ඉනෝකා යන පිරිස මෙම වැටලීම සිදුකර තිබුණි.
ගම්පොළ – සුරංග දිල්හාන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here