2025 සැප්තැම්බර් මස 28 වැනිදා ඉරිදා
උතුරු අමෙරිකාවේ සහ දකුණු අමෙරිකාවේ පිහිටි කුඩු Hub එක ලෙස කොළොම්බියාව සැලකේ. දකුණු අමෙරිකානු මහාද්වීපයේ නිෂ්පාදනය කරන සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය කොළොම්බියාවට ලැබෙන අතර, උතුරු අමෙරිකාව සඳහා අවශ්‍ය සියලුම කුඩු වර්ගත්, යුරෝපයට අවශ්‍ය සියලු කුඩු වර්ගත් කොළොම්බියාවෙන් අපනයනය කරනු ලැබේ. ඒ රටේ ආණ්ඩුවේ ඉහළ ස්ථරය කුඩු වෙළෙඳාමට විරුද්ධ ය. එහෙත් පහළ ස්ථරය කුඩු වෙළෙඳාමට පක්‍ෂ ය. කොළොම්බියාවේ සංස්කෘතිය සන්නද්ධ සංස්කෘතියකි. ඒ රටේ හැමදෙනකුම අතේ පිස්තෝලයක් තිබේ. ඒ රටේ හැමදෙනකුම පාහේ ගංජා සුරුට්ටුවෙන් පටන්ගෙන අයිස් දක්වා වූ සියලුම මත්ද්‍රව්‍ය පාවිච්චි කරති. මේ වියදම්සහගත ජීවිතය පවත්වාගෙන යනු පිණිස ඔවුන්ට මුදල් අවශ්‍ය ය. රට තුළ තිරිඟු වගා කිරීමෙන් හෝ ඉරිඟු වගා කිරීමෙන් මේ මුදල උපයා ගැනීමට ඔවුන්ට නොහැක. ඒ නිසා ඔවුහු පිටරටවලින් කුඩු ගෙන්වා ඒවා වෙන රටවලට යවති. 100% ක් පිරිසිදු මත්කුඩු සේම වෙනත් අපද්‍රව්‍ය කලවම් කර 100% කින් ප්‍රසාරණය කරන ලද මත්කුඩු ද මේ රටේ තිබේ.
ඒ නිසා කොළොම්බියාවේ වැසියන්ට රැකියා නොකර ජීවත් වීමට පුළුවන. හැබැයි ඔවුහු සැපවත් ජීවිත ගත නොකරති. සමාජ රෝග බහුල, මත්උවදුරු බහුල, සිවිල් ගැටුම් බහුල ජීවිත ගත කිරීමට ඔවුන්ට සිදුව තිබේ. මේ සියලු දේ පිරිමසා ගැනීමට යහමින් මුදල් අවශ්‍ය නිසා කොළොම්බියාවේ පහළ දේශපාලන ස්ථරය කුඩු බිස්නස් එකට පක්‍ෂ ය. කොළොම්බියාවේ බොගෝටා අගනුවර වෙසෙන එරට ජනාධිපති ඇතුළු ඉහළ ස්ථරය කුඩු ව්‍යාපාරය වැනසීම සඳහා තම රටේම දෙවැනි දේශපාලන පැලැන්තිය සමග නිතර ගැටුම් ඇති කරගනී. මේ ගැන නිකමට මෙන් උදාහරණයක් ලියමු. ලංකාවේ ආණ්ඩුව කුඩු විකිණීමට විරුද්ධ ය. එහෙත් ලංකාවේ ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කුඩු විකිණීමට පක්‍ෂ ය. මේ නිසා පාර්ශ්ව දෙක අතර ගැටුම් හටගනී. කොළොම්බියාවේ පවතින තත්ත්වය කීමට මෙයට වඩා හොඳ උදාහරණයක් නැත.
ආසියාවේ කුඩු Hub එක ලෙස පාකිස්තානය සැලකේ. බුරුමය, තායිලන්තය සහ පාකිස්තානයේ ඈත පිටිසර දේශසීමාවල පිහිටි ගම්මානවල නිෂ්පාදනය කරන කුඩු ලැබෙන්නේ පාකිස්තානයේ කරච්චිය සහ ඉස්ලාමාබාදය යන නගරවලට ය. ආසියාවේ කුඩු අවශ්‍යතාව පාකිස්තානය මගින් නිරාකරණය කරනු ලැබේ. පාකිස්තානයේ කුඩු ඇල්ලීම සඳහා ඒ රටේ හමුදාව හෝ වෙනත් රටවල හමුදාවක් සූදානම් නැත. එයට හේතුව නිකමටවත් කුඩු වෙළෙඳුන් වෙත කිට්ටු කළොත් ස්ථිර වශයෙන්ම මැරුම් කෑමට හමුදාවට සිදුවන නිසා ය. කොළොම්බියාවෙන් සහ පාකිස්තානයෙන් කුඩු නොයන්නේ උත්තරධ්‍රැවයට සහ දක්‍ෂිණධ්‍රැවයට පමණි. ඔබ දන්නා පරිදි අධික සීතල දේශගුණයක් සහිත ධ්‍රැවාසන්න ප්‍රදේශවල ජීවත් වන ජනයා කුඩු ගසන්නේ නැත. ඔවුන් බොන්නේ දැඩි සීතලට ඔරොත්තු දෙන දරුණු ගනයේ මත්පැන් වර්ග පමණි.
කොළොම්බියාව සහ පාකිස්තානය ලෝකයේ කුඩු Hub බවට පත්වීමට අඩුම ගණනේ අවුරුදු පනහක් ගතවිය. එහෙත් තංගල්ල නගරය ලංකාවේ කුඩු Hub එක බවට පත්වුණේ සතියකටත් අඩු කාලයක් ඇතුළත ය. දැන් දැන් හෙළිදරව් වන පරිදි ලංකාවේ කුඩු ෆැක්ටරි ගණනාවක්ම තංගල්ල නගරයේ පිහිටා තිබේලු! තංගල්ල මුහුදුකරයේ පිහිටි ගමකි. ඒ නිසා හැම පැත්තෙන්ම එන කුඩු තොග තංගල්ලේ වෙරළට ගොඩබානු ලැබේලු! පසුගියදා තංගල්ලේ කුඩු ෆැක්ටරියක් පිරිසිදු කිරීමට ගිය තරුණයන් කිහිපදෙනෙක් මරණයට පත්වූහ. ෆැක්ටරියේ තිබූ කුඩු අධික ප්‍රමාණයක් ගැසීමෙන් පසුව මේ අය මියගිය බව අයෙක් කියති. තවත් අයකු කියන්නේ මේ තරුණයන් කුඩු ෆැක්ටරියේ තිබූ මත්කුඩු විෂ නිසා මරණයට පත්වූ බවය. කෙසේ වුවද තම දරුවන් කුඩු ව්‍යසනයෙන් බේරාදෙන ලෙස ඉල්ලමින් තංගල්ලේ වැඩිහිටියෝ සිය දහස් ගණනින් මේ දිනවල උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වෙති. තම දරුවෝ බේරාදෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලති. තංගල්ල ලංකාවේ කුඩු Hub එක බවට පත්වී ඇති බව මේ දෙමාපියන් පසුගිය අවුරුදු ගණනාව තුළ දැන සිටියේ නැද්ද? එසේම ගිය ආණ්ඩුව කාලයේ දී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුමට තංගල්ලේ කුඩ්ඩන් හෝ කුඩු ෆැක්ටරි හෝ කුඩු තොග හෝ හසු නොවුණේ ඇයි? එයින් අදහස් වන්නේ යුක්තිය මෙහෙයුම තංගල්ල ප්‍රදේශය තුළ හරියාකාරව සිදුනොවුණු බවද?
මේ රටේ ජනතාව ඉහත සඳහන් ප්‍රශ්න අතර, අතරමං වී සිටිති. තමන් තංගල්ලේ කුඩු ව්‍යාපාරයට සහයෝගය දුන් ප්‍රමාණය කොතෙක් ද යන්න කල්පනා කිරීමට තංගල්ලේ ඇතැම් වැඩිහිටියන් මේ මොහොතේ දී කටයුතු කළ යුතු ය.
Saru FM Media