ජාතික ජනබලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට තේරී පත්වී තිබේ.
මෙම තෝරා පත් කරගැනීම සිදුර ඇත්තේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදීය. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළවී තිබිණි.
ඒ අනුව සභාපති ධුරය සඳහා වෛද්‍ය නිහාල් අබේසිංහගේ නම ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලාෆර් විසින් යෝජනා කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ විසින් එම යෝජනාව ස්ථිර කර ඇත.
සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වී සිටි ඇත.
ජාතික ජනබලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපය බාරව සිටි ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙකි.
Saru FM Media