හත් හැවිරිදි බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරදි පස් දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17 ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 30000/- ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් නියෝග කර සිටියා.
ඊට අමතරව වින්දිත දරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ඇයගේ මවට තවත් රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.
එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබූහොත් අමතරව තවත් වසරක සිර දඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වුණේ.
2015 වසරේ ජූලි මස තුන්වනදා හත් හැවිරිදි බාලවයස්කාර ගැහැණු ළමයකු බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ වයස අවුරුදු 53 ක්ව සිටි මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ මෙම විත්තිකරු වින්දිත දැරියගේ නිවසට නිතර යන එන පුද්ගලයකු වන අතර අපරාධය වූ දින දැරියගේ මව ගර්භනී තත්ත්වයෙන් පසු වීම නිසා ඇය සමග දැරියගේ පියා ද රෝහලට ගොස් ඇති බවයි.
එම නිසා පාසල් ගිය එම දැරියව යළි නිවසට රැගෙන ඒමට පියාට නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසා හොඳින් හඳුනන මෙම විත්තිකරුට පාසලෙන් දරුවා රැගෙන එන ලෙස දෙමව්පියන් විසින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ත්‍රිරෝද රථයෙන් පාසලට ගිය මෙම විත්තිකරු එම දරුවාද නංවාගෙන තමාගේ නිවසේ කුඩා දරුවන් සිටින බවත් එහි ගොස් සෙල්ලම් කළ හැකි බවත් පවසා වින්දිත දැරිය රවටාගෙන සිය නිවසට රැගෙන ගොස් තිබෙනවා.
දැරිය එම නිවසට ගිය අවස්ථාවේ එහි කුඩා ළමුන් නොසිටි අතර එහිදී විත්තිකරු විසින් වින්දිත දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර නැවත ඇයගේ නිවසට ගොස් හැරලවා තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
ඉන්පසුව නිවසේදී වින්දිත දැරිය ගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදී විත්තිකරු තමන්ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව එම දැරිය විසින් ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
ඉන් පසුව ඇයගේ මව දෙමටගොඩ පොලිසියට ගිය අතර එතැනින් ඇයව ග්‍රෑන්ඩ්පාස් පොලිසියට යොමු කර ඇති බවත් එහි දී පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් සඳහන් කළ විනිසුරුවරයා ළමා ආරක්ෂක අධිකාරියද මෙම දැරියගෙන් වීඩියෝ සාක්ෂි සටහන් කරගෙන තිබූ බවත් පැවසුවා.
ඉදිරිපත් වූ සාක්ෂි පිරික්සීමේදී විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවත් ඒ අනුව ඔහු අදාළ චෝදනා දෙකට වරදකරු කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
දඬුවම් නියම කිරීමට පෙර රජයේ නීතිඥවරිය අධිකරණයේ කරුණු දක්වමින් මෙම විත්තිකරු පස් දරු පියකු වන අතර ඔහුගේ දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් බවත් සඳහන් කළා.
එවැනි ගැහැණු දරුවන් සිටින පියෙකු මේ ආකාරයේ බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු 62 වන වියේ පසුවන අතර ඔහු වසර හතක් පමණ ක්ෂය රෝගය හා වකුගඩු රෝගවලට ප්‍රතිකාර ලබන බව සඳහන් කළා.
ඔහු පස් දරු පියකු වන අතර ඔහුගේ බාලම දියණිය 14 වන වියේ පසුවන බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
අතවරයට පත් දැරියගේ මව අධිකරණයේ කරුණු දක්වමින් තම දියණියට සිදුවූ අපරාධය වැනි දෙයක් තවත් දරුවෙකුට සිදු නොවන ආකාරයේ දැඩි දඬුවමක් මෙම විත්තිකරුට නියම කරන ලෙස ඉල්ලා සිටියා.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම විත්තිකරු විසින් සිදු කර තිබෙන වරදේ ස්වභාවය පිරික්සීමේදී ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.
ගැහැණු දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වශයෙන් විත්තිකරුට ගෑනු දරුවන්ගේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු බවත් එසේ තිබියදී හත් හැවිරිදි කුඩා දරුවකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම බරපතළ ක්‍රියාවක් බවත් විසුරුවරයා පෙන්වා දුන්නා.
කාන්තාවන් හා ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවට සමාජය තුළ දැඩි හඬක් මතුවී තිබෙන මෙම වකවානුවේ මෙවැනි සිද්ධීන් පිළිබඳව මුලු සමාජයම බලා සිටින බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් මෙම දඬුවම් ප්‍රකාශයට පත් කර සිටියා.
Saru FM Media