
කාන්තා හා ළමාරක්ෂක අධිකාරියේ ඔන්ලයින් සේවාවෙන් බව පවසා දැරියන් 50කට අධික පිරිසකට ලිංගික හිංසන කළ බව කියන 32 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් පරිගණක අපරාධ විමර්ශන උප ඒකකය පවසයි. නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ හුවමාරු වන බැවින් ළමා අධිකාරියේ සේවාව හරහා එම ඡායාරූප ඉවත් කර ගැනීමට හැකි බව දන්වා බාලවයස්කාර දැරියන්ගේ පෞද්ගලික තොරතුරු
හා සාමාන්‍ය ඡායාරූප වීඩියෝ දර්ශන සූක්ෂමව ගෙත්වා ගෙන කෘත්‍රිම බුද්ධිය හරහා නිරුවත් ලෙස සකස් කර එම දැරියන්ට යවා දැරියන් 50කට අධික ප්‍රමාණයක් ලිංගික හිංසනයට ලක් කර ඇතැයි මෙතෙක් කළ පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.
මේලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නරේන්ද්‍රසිංහ උයන, සෙංගල්ල, මහනුවර ලිපිනයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා හුවමාරු වන බව දන්වා ඒවා ඉවත් කර ගැනීම සඳහා කාන්තා හා ළමා අධිකාරියේ නිල ඔන්ලයින් සේවාව සමඟ සම්බන්ධ වන ලෙස දන්වා කාන්තා හා ළමා අධිකාරියේ බව ඇඟවෙන ව්‍යාජ ගිණුමකට දැරිය සම්බන්ධ කරවා ගෙන ඇතැයි කියති.
පසුව ඇගේ ඡායාරූප සහ ජීව දත්ත ලබා ගෙන එම දර්ශන කෘත්‍රිම බුද්ධිය හරහා නිරුවත් ආකාරයට සකස් කර ඇති බවට එම දැරිය කළ පැමිණිල්ලකට අනුව කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු සම්බන්ධ ලිංගික හිංසන සිදුවීම් රැසක් වාර්තා වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම සැකකරු මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ 2027 හා ඊට ආසන්න වර්ෂවල උසස් පෙළ සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් එක්වන ටෙලිග්‍රෑම් සමූහයන් වෙත සූක්ෂමව ඇතුළු වී දුරකථන අංක ලබා ගෙන,
අදාළ ටෙලිග්‍රෑම් සමූහය ඔස්සේ එම සැකකරු ගැහැනු ළමයකු ලෙස අඟවමින් ඊට සම්බන්ධ වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ළමයින්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ඇති බවට දන්වා ඒවා ඉවත් කර ගන්නා ආකාරය දැනුම් දී එම සැකකරු ළමා අධිකාරියේ බව ඇඟවෙන වංචනික ගිණුමට මෙම ළමයින් ඇතුළත් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. සැකකරු, උපකාරක පන්ති කරන ගුරුවරුන්ගේ මාර්ගගත උපකාරක පන්ති වෙත පිවිස ගැහැනු දරුවන්ගේ දුරකථන අංක ලබා ගනිමින් දීර්ඝ කාලයක සිට එම ක්‍රියාවේ නිරතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබේ.
ජාතික හැඳුනුම්පත් නොමැති බාලවයස්කාර ළමයින්ගේ නිරුවත් ඡායාරූප වීඩියෝ දර්ශන සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර එම දරුවන්ගේ වයස තහවුරු කර ගැනීම සඳහා ඔවුන් ඉගෙන ගන්නා ශ්‍රේණියේ පෙළ පොත සමඟ ඡායාරූපයක් ලබා ගැනීමටද මෙම සැකකරු කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙලෙස ලබා ගන්නා ඡායාරූප මුදලට අලෙවි කිරීම හෝ වෙනත් අරමුණු වෙනුවෙන් භාවිත කර ඇතිද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මේ සඳහා යොදා ගත් ජංගම දුරකථනයක්, සිම් කාඩ්පත් හතරක්, ලැප්ටොප් පරිගණකයක් සොයා ගත් බව පොලිසිය පවසයි. සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 372, 483, 1995 අංක 22 දරන පනතින් සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්রහයේ 345ට ගැනෙන වැරදි සහ 2005 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනතේ 2(අ) හා එකී පනතේ 2 (ආ) වගන්තිය යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබේ.
විමර්ශන සමයේදී සැකකරු මෙම ක්‍රියාකාරකම් සඳහා විවිධ ව්‍යාජ අනන්‍යතා භාවිතා කර ඇති බව අනාවරණය වී ඇති අතර ගැහැනු ළමයකු ලෙස පෙනී සිටින ව්‍යාජ ප්‍රොෆයිල නිර්මාණය කර ඇති බව පොලිසිය සනාථ කර ගෙන ඇත. සැකකරු ටෙලිග්‍රෑම් සමූහ ගිණුම් හරහා ඉලක්ක කරගත් ළමයින්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර ඇති අතර පිළිගත් ආයතනයක නම් භාවිතා කරමින් ඔවුන්ව රැවටීමේ ක්‍රමවේදයක් අනුගමනය කර ඇත.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ නිරුවත් ඡායාරූප සැකකරු එම දරුවන්ට යවා ඔවුන්ගේ සතුව තිබෙන වැඩිදුර ඡායාරූප ලබා ගැනීමට කටයුතු කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම ක්‍රමවේදය හරහා සැකකරු තවත් දරුවන් සොයා ගැනීමට සහ ඔවුන්ට හිංසා කිරීමට කටයුතු කර ඇතැයි පොලිසි විමර්ශන නිලධාරීන් සැක කරති.
පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවසුවේ මෙවැනි අපරාධ වැළැක්වීම සඳහා දෙමාපිය සහ අධ්‍යාපන ආයතන වැඩිදුර සැලකිල්ලක් යොමු කළ යුතු බවයි. ළමයින්ගේ ඔන්ලයින් ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ අන්තර්ජාල ආරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත් වන බව ඔවුහු අවධාරණය කළහ. සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Saru FM Media