
හලාවත මහාධිකරණ විනිසුරුවරියට හිරිහැර කිරීමේ චෝදනාවට මුහුණපෑ නීතිඥවරයා ඇප මත මුදාහරිනු ලැබීය
හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී මැයි 21 වැනි දින රාත්‍රී 9.50 ට පැවති විශේෂ සභාවකදී, නීතිඥ සුමුදු ජයමාන්න මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස හලාවත මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා නියෝග කළේය. හලාවත මහාධිකරණ විනිසුරුවරිය විසින් කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණයෙන් අනතුරුව මෙම නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පොලිස් තොරතුරු අනුව,
වසර කිහිපයකට පෙර මෙම නීතිඥවරයා සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ හලාවත මහාධිකරණ විනිසුරුවරියට පණිවිඩ කිහිපයක් යොමු කර ඇති බව පැහැදිලි වී තිබේ. මෙම පණිවිඩ මැසෙන්ජර් අප්ලිකේෂන් හරහා යවා ඇති අතර ඒවා මහාධිකරණ විනිසුරුවරිය අපහසුතාවට පත්වන ආකාරයේ අන්තර්ගතයක් සහිත බව පොලිසිය සඳහන් කරයි.
අදාළ පැමිණිල්ල මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නීතිඥවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මැයි 21 වැනි දින පැමිණෙන ලෙස දන්වා තිබිණි. නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකාර නීතිඥවරයා මැයි 21 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ අතර එදිනමම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ සැකකරුවා නීතිමය ක්‍රියාමාර්ගයට අනුව අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවති මෙම නඩු විභාගය ඔක්තෝබර් මස 24 වැනි දිනට කල් තබන ලදී.
Saru FM Media