සම්බන්ධතාවයකදී ඔබේ සහකරු සමග රණ්ඩුවකින් තොරව ගැටලුවක් විසඳා ගන්නේ මෙහෙමයි

0
5


සම්බන්ධතාවයකදී ඉතා හොඳ සන්නිවේදනයක් තිබීම අතිශයින්ම වැදගත්. සම්බන්ධතා වලදී බොහෝවිට ගැටලුකාරී තත්ත්වයන් , ආරවුල් සහ මතගැටුම් ඇතිවන්නේ සන්නිවේදනයේ ඇති දුර්වලතා හේතු කොට ගෙනයි. සම්බන්ධතාවයකදී ගැටුමක් ඇති කර ගැනීමකින් තොරව ගැටලු විසඳා ගන්නේ කොහොමද ? 

මුලින්ම , 

සම්බන්ධතාවයකදී ගැටලු නිරාකරණය කර ගැනීමට තර්ක කිරීමෙන් තොරව සහ රණ්ඩු කිරීමෙන් තොරව බොහෝ ක්‍රම තිබෙනවා. මේ ඕනෑම සම්බන්ධතාවයක් ශක්තිමත් වීමට බෙහෙවින්ම බලපාන අතර එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය ආරක්ෂා වීමද සිදුවනවා.

තමන් නිවැරදි බව නොසිතන්න 

ඕනෑම ගැටලුවකදී ඔබ වැරදි හෝ නිවැරදි වන්නට පුළුවන්. සැබවින්ම වරද තිබෙන්නේ ඔබේ අත නම් එය පිළිගැනීමට තරම් නිහතමානී වන්න. සෑම විටම තමන් පමණක් නිවැරදි බව සිතීමෙන් ඔබේ සහකරු වෙහෙසට පත්වීම සහ අපහසුතාවයට පත්වීම දිගින් දිගටම සිදුවනවා.මෙහිදී සිදුවන්නේ කල් ගත වන විට ඔබ දෙදෙනා අතර ඇති සම්බන්ධතාවය පළුදු වීමයි. එම නිසා ඕනෑම මොහොතක ඔබේ වරද පිළිගෙන සමාව ගැනීමට තරම් නිහතමානී වන්න.

අනෙකාගේ අදහස තේරුම් ගන්න 

ගැටුම් ඇතිකර ගැනීමකින් තොරව යමක් විසඳා ගැනීමට ඇති හොඳම මාර්ගය නම් අනෙකාගේ අදහස් හොඳින් තේරුම් ගැනීමයි. ඔබේ සහකරු යම් දෙයක් කීමට උත්සාහ කරනවා නම් එයට හොඳින් ඇහුම්කන් දී එය වටහා ගැනීමට හැකිතාක් උත්සාහ කරන්න. සමහර විට ඔබ දෙදෙනා අතර ඇති ගැටලුවට විසඳුම අනෙකාගේ අදහස් තුළම තිබිය හැකි නිසා අනෙකාව තේරුම් ගැනීම අතිශයින්ම වැදගත් කාරණාවක්.

හොඳින් සවන් දෙන්න

 

සම්බන්ධතා වල බොහෝ ගැටලු වලට සහ මත ගැටුම් වලට හේතුව වන්නේ එකිනෙකාට සවන් නොදීමයි. ඔබ රණ්ඩු වීමට හෝ තර්ක කිරීමට ප්‍රථමයෙන් ඔබේ සහකරුට සවන් දෙන්න. ඔහුගේ අදහස් වලට එරෙහිව තර්ක ඉදිරිපත් කිරීමට හෝ සටන් කිරීමට පෙර ඔහු කීමට උත්සාහ කරන දෙයට වැදගත් කමක් සහ ඉඩක් ලබා දෙන්න. ඔහුට කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න

ඔබේ හැඟීම් පාලනය කර ගන්න 

ඔබේ සහකරු සමග ඇතිවන ඕනෑම ගැටලුවක දී ඔබ විශේෂයෙන්ම කළ යුතු දෙයක් වන්නේ ඔබේ හැඟීම් පාලනය කර ගැනීමයි. සම්බන්ධතාවයකදී හැඟීම් පාලනය කර ගැනීම වැදගත් වන්නේ කෝපය සහ ආවේගශීලීත්වය නිසා ගැටලු බොහෝ දුර දිග යාමට ඉඩ තිබීමේ හැකියාව වැඩි නිසයි. ඒ වගේම ඔබ කෝපයෙන් හෝ දුකෙන් සිටින විට ඔබේ සහකරු පැවසීමට උත්සාහ කරන දේ තේරුම් ගැනීමට ඔබට හැකි වන්නේ නැහැ. ඒ නිසා සෑම විටම ගැටලුවකදී  ඔබේ හැඟීම් පාලනය කර ගැනීමට උත්සාහ කරන්න.

විවෘත මනසක් ඇත්තෙකු වන්න 

ගැටලුවක් විසඳා ගැනීමේ දී ඔබ ඒ ගැටළුව දෙස බලන ආකාරය ඒ ගැටලුව විසඳා ගැනීමේ ක්‍රමවේදයට බෙහෙවින් බලපානවා. ඔබ පටු මානසිකත්වයක් සහිතව ඔබේ සහකරුගේ හැඟීම් සහ අදහස් දෙස බලනවානම් , ඔබේ සහකරුගේ අදහස් නොවටිනා සහ බොළඳ ඒවා බව සිතනවා නම් ඔබට ඒ ගැටළුව විසඳා ගැනීම අතිශය සංකීර්ණ දෙයක් වන්නට පුළුවන්. නමුත් ඔබ විවෘත මනසක් ඇතිව ඉතා හොඳ අවබෝධයකින් ගැටලුව දෙස බලනවා නම් ඔබට ගැටුම් ඇති කර ගැනීමකින්  තොරව ගැටළුව විසඳා ගැනීමට ඉතා පහසු වනවා.

අතීත සිදුවීම් අත් හරින්න 

සම්බන්ධතා වලදී ඇති වන ගැටුම් වලදී බොහෝ දෙනකු බොහෝ විට සිදු කරන වරදක් තමයි අතීතයේ සිදුවීම් සිහිපත් කිරීම සහ ඒවා සිහිපත් කරමින් අනෙකා වෙත චෝදනා එල්ල කිරීම. ඔබේ තර්කය දිනවීමට ඒ ආකාරයෙන් කිසිවිටෙකත් අතීත සිදුවීම් භාවිතා නොකරන්නට වග බලා ගන්න. එවැනි දේවල් සිදුකිරීම මගින් ඔබේ සහකරුගේ අතීත කම්පන නැවත නැවත සිහිවීම සහ ඒවායින් ඔහුට මානසික වශයෙන් නරක බලපෑම් එල්ල වීම සිදුවිය හැකිවන අතර ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයේ අනාගතයට පවා එය නරක ලෙස බලපෑ හැකියි.

තුන්වැන්නකු සම්බන්ධ කර නොගන්න 

ඔබ දෙදෙනාගේ පෞද්ගලික ගැටලු විසඳා ගැනීම සඳහා කිසිම විටෙකත් තුන්වැන්නෙකු සම්බන්ධ කර ගැනීම සිදු නොකරන්න.මෙයින් ඔබ දෙදෙනාගේ පෞද්ගලිකත්වයට හානි සිදුවීම සහ ඔබේ සහකරුගේ පෞරුෂයට බලපෑම් එල්ලවීම සිදුවනවා. ඔබේ ගැටළුව පිළිබඳව හිතවතෙකු , මිතුරෙකු හෝ වෙනත් පිටස්තර අයෙකු සමග පවසා ඔවුන් ගේ සහාය පතනවා වෙනුවට යම් ගැටලුවක් උච්චතම අවස්ථාවක පවතිනවා නම් වෘත්තිමය සහාය පමණක් ලබා ගන්න.

කාලය ගන්න

ඕනෑම ගැටලුවකට හොඳම විසඳුම වන්නේ කාලයයි. ඔබ දෙදෙනා අතර පවතින ඕනෑම ගැටලුවකට රණ්ඩු වීමකින් හෝ තර්ක කිරීමකින් තොරව විසඳුමක් ලබා ගැනීමට නම් කාලය ලබා ගත යුතු වනවා. ඔබ දෙදෙනා අතින් සිදුවී ඇති වැරදි සහ අඩු පාඩු සාකච්ඡා කර ගැනීමට හැකි තාක් කාලය ගත කළ යුතු අතර එලෙස සන්නිවේදනය කිරීම මගින් බොහෝ ගැටලු විසඳා ගත හැකි වනවා. ඔබ දෙදෙනාටම ඒ අවස්ථාවේදී ඔබේ ගැටලුවට විසඳුමක් ලබාගත නොහැකි නම් නිහඩව කාලය ගත කරන්න. හොඳින් කල්පනා කරන්න.

එකිනෙකාට ඉඩ දෙන්න 

සම්බන්ධතාවයකදී ඇතිවන ගැටලු බොහෝවිට සංකීර්ණ වන්නේ එකිනෙකාට ඉඩ නොදීම නිසයි. බොහෝ විට තමන්ගේ තර්කය දිනවීමට සහ අනෙකාගේ තර්කය පරාජය කිරීමට, තමන්ගේ අදහස ඔප්පු කිරීමට උත්සාහ කිරීමට යාමෙන් සිදුවන්නේ ගැටළුව තව තවත් සංකීර්ණ අවස්ථාවකට පත් වීමයි.එම නිසා ඔබේ සහකරුට ඔහුගේ හැඟීම් ප්‍රකාශ කිරීමට සහ අදහස් බෙදා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් සහ ඉඩක් ලබා දෙන්න

ඔබේ සහකරු සමග පවතින සම්බන්ධතාවය ඉතාම ගෞරවනීය එකක් විය යුතු අතර එම සම්බන්ධයේදී අනෙකාට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදිය යුතුයි. සම්බන්ධතාවලදී ගැටලු ඇතිවීම ඉතාම සාමාන්‍ය දෙයක් වන අතර එය ගැටුම් ඇති කර ගැනීමකින් තොරව  හොඳ අවබෝධයකින් යුතුව විසඳා ගැනීම කළ යුතුයි. ඒ සඳහා ඔබට උපකාරී වන සරල පියවරයන් කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here