Thursday, May 22, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් දිගින් දිගට සිදුවන වෙඩි තැබීම් ගැන අහම්බයෙන් කොටු වු සැකකරුවකුගෙන් අනාවරණයක්

දිගින් දිගට සිදුවන වෙඩි තැබීම් ගැන අහම්බයෙන් කොටු වු සැකකරුවකුගෙන් අනාවරණයක්

0
4


A suspect who was accidentally caught reveals information about the ongoing shootings

 දිගින් දිගටම සිදුකරන වෙඩි තැබීම්වල නිමාවක් නොවන බව පැහැදිලිව පෙනේ. ඒ ඉකුත් මාස 5කට ආසන්න කාලයක් තුළදී සිදුවූ වෙඩි තැබීම් සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ යෑම නිසාවෙනි. මෙම වෙඩි තැබීම් සිදුකරන තුවක්කුකරුවන් බොහොමයක් නිදැල්ලේ පසුවන අතර තවත් කිහිපදෙනකු පොලිස් ඒකක මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.දිවයිනේ නොයෙකුත් පළාත් කේන්ද්‍ර කරගෙන විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයවීම මත සිදු කෙරෙන මෙම වෙඩි තැබීම් බොහෝමයක් මත්ද්‍රව්‍ය ආරවුල් මුල් කරගෙන සිදුවූ ඒවා බව විමර්ශන වලදී හෙළිවී තිබේ.

මෙම වෙඩි තැබීම් සිදුකරන තුවක්කුකරුවන් පසුපස හඹා යන නිලධාරීන්ට එම තුවක්කුකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවූ අවස්ථා තිබුණද සමහර තුවක්කුකරුවන් පොලිසියට කොටුවන්නේ අහම්බෙනි. මේ එලෙස අහම්බෙන් කොටු වූ තුවක්කුකරුවකු ගැන කතාවකි. ඉකුත් මැයි මස 2 වැනිදා ජා-ඇළ පොලිසියේ උප පොලිස් පරීක්ෂක රාජකරුණා ඇතුළු නිලධාරීන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 700ක් සමඟ එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ මිනුවන්ගොඩ, හීනට්යන ප්‍රදේශයේදීය. ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඔහු “එස්.එෆ්. රංග ” නමැත්තකු බවයි.
සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සූදානම් වෙද්දී සැකකරු මෙලෙස ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට දැනගැනීමට ලැබිණි. ඊට හේතුව වන්නේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ඒ වන විට එස්.එෆ්. රංග සොයමින් සිටි නිසාවෙනි. ඒ, අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවකු බව නිලධාරීන්ට තොරතුරු ලැබී තිබූ හෙයිනි.


ජා-ඇළ පොලිස් අත්අඩංගුවට පත්වුවද එස්.එෆ්. රංග මෙවන් අපරාධවලට සම්බන්ධ අයකු බව ජා-ඇළ පොලිසියේ නිලධාරීන් නොදැන සිටි නිසා ඔහු අයිස් මත්ද්‍රව්‍ය සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබිණි. එහෙත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාර්න් සැකකාර රංග සොයමින් සිටි නිසා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කලින් ඔහු මෙලෙස ජා-ඇළ පොලිසියට වෙනත් සිදුවීමකට කොටු වී ඇති බව අනාවරණය කරගන්නා ලදී. ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාර්න් ස්ථානාධිපතිවරයා සහ එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල දැනුවත් කොට එස්.එෆ්. රංග වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව ක්‍රියාත්මක වූ ජා-ඇළ පොලිසිය එස්. එෆ්. රංග නමැත්තා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගෙන සැකකරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලදී.
එලෙස භාරදුන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම උප පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාරගේ මෙහෙයවීම මත සිදු කරන ලද අතර එහිදී අනාවරණය වන්නේ මෙම සැකකරු ත්‍රිකුණාමලය 4 වැනි රෙජිමේන්තු විශේෂ බළකායට අනුයුක්තව රාෂ්කාරී කළ හමුදා කෝප්‍රල්වරයකු බවත් ඉන් අනතුරුව ඔහු හමුදාවෙන් පලාගොස් ඇති බවත්ය. එබැවින් ඔහු එස්.එෆ්. රංග නමින් හඳුන්වා ඇති බවත් උප පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර කීය.
පසුකාලීනව මෙම සැකකරු දැනට විදේශගතව සිටින හීනටියන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකු සමඟ සමීපව කටයුතු කරමින් අපරාධ කිහිපයකට සම්බන්ධ වී ඇති බවත් උප පොලිස් පරීක්ෂකවරයාට අනාවරණය කරගත හැකි විණි. එම ප්‍රශ්න කිරීමේදී මොහු විසින් සම්බන්ධ වූ ප්‍රධාන පෙළේ අපරාධ කිහිපයක තොරතුරු හෙළිවිය. 2024.12.28 දින නාඳුනන තුවක්කුකරුවන් විසින් සිදුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවෙසකට කඩා වැදී නිවෙසේ සිටි පිය-පුතු දෙපළකට වෙඩි තබා පළායන ලදී. මෙම වෙඩි තැබීමෙන් ව්‍යාපාරික පිය – පුතු ජීවිතක්ෂයට පත්විණි. විමර්ශන ඇරැඹුවේ සීදුව පොලිසිය මගිනි.


ඊට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයද ” එක්ව සිටි අතර එහිදී අනාවරණය වන්නේ මෙම හමුදා කෝප්‍රල්වරයාද එම වෙඩි තබා සිදු කළ ඝාතනයේ සැලසුමට සම්බන්ධ වූවකු බවය. උප පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර සැකකරුගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ වෙඩික්කරුවන් එම අපරාධය සිදුකිර්මට පෙර තුවක්කුකරුවන්ට එම වෙඩි තැබීම් සිදු කිරීමට නියමිත නිවෙස පෙන්වා අපරාධය සැලසුම් කර ඇත්තේ මෙම කෝප්‍රල්වරයා බවය. සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී සිද්ධියට අදාළ වැඩිදුර කරුණු කාරණාද හෙළිවන අතර වැඩිදුර කළ ප්‍රශ්න කිරීමේදී තවත් අපරාධයක සුලමුල හෙළිකර ගැනීමට හැකිව තිබේ.
2025 වසරේ පෙබරවාරි මස 21 වැනි දින මීගමුව පොලිස් වසමේදී වෙළෙඳසලක සිටි ව්‍යාපාරිකයකු නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කරන ලදී. එහෙත් තුවක්කුකරු අත තිබු ගිනි අවිය හැරිහැටි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ විණි. එම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇත්තේ මෙම හමුදා කෝපල්වරයා බව විමර්ශනයේදී අනාවරණය කරගැනීමට හැකිව තිබේ.
මේ අතර තවදුරටත් සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සිදුකරන ලද තවත් වෙඩි තැබීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ. ඒ අනුව හෙළිවන්නේ මෙවන් තොරතුරුය. 2025.02.26 වැනි දින මිනුවන්ගොඩ පොලිස් වසමේ පත්තඩුවන ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවකු විසින් පුද්ගලයකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහෙත් වෙඩි ප්‍රහාරය ඉලක්කයට සිදු නොවීම නිසා එම පුද්ගලයාගේ ජීවිතය බේරුණද ඔහු තුවාල ලබා රෝහල්ගත කරන ලදී. විමර්ශන නිලධාර්න් පවසන්නේ එම වෙඩි තැබීම සිද්ධියේ තුවක්කුකරු ලෙසද ක්‍රියාකර ඇත්තේ මෙම සැකකරු බවය. ඒ අතර 2025.05.06 වැනි දින මිනුවන්ගොඩ පොලිස් වසමේ පත්තඩුවන ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබිණි.
විමර්ශන නිලධාර්න් පවසන්නේ එම සිද්ධියට පැමිණි අපරාධකරුවන්ට නවාතැන් දීම සහ ආධාර අනුබල දීමද මෙම සැකකරුවන් විසින් සිදුකර ඇති බවය. හැට හැවිරිදි මෙම සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පත්තඬුවන ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්කකොට වෙඩි තැබීම සඳහා සැකකරු යතුරු පැදියකින් ගමන් කරන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. කැමරා ඡායාරූපද පොලිස් විමර්ශකයන් සොයාගෙන ඇති අතර එම ඡායාරුප මඟින්ද එම සිද්ධියේ වෙඩික්කරු මොහු බවට නිලධාරීන් තහවුරු කරගෙන තිබේ.


එමෙන්ම වෙඩි තැබීම සඳහා තුවක්කුකරු සහ පැදිකරු විසින් භාවිතයට ගත් ජැකට් දෙකද පොලිසිය සොයාගෙන තිබේ. මේ අතර විමර්ශන නිලධාර්න් පවසන්නේ ඉකුත්දා නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් සීදුව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුගේ නිවෙසට ඇතුළු වී එම ව්‍යාපාරිකයාට නිවෙස තුළදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් වාර්තා වූ බවකි. එම සිද්ධියේදී ව්‍යාපාරිකයා විසින් නාඳුනන පුද්ගලයන් දෙදෙනා ගැන සැක සිතී නිවෙසේ ස්වයංක්‍රිය ගේට්ටුව ඔවුනට නොපෙනෙන ලෙස වැසීම සහ තුවක්කුකරුවන් සමඟ පොරබැදීම නිසා ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ උත්සාහය වැළකිණි. එමෙන්ම එක් තුවක්කුකරුවකු අත තිබූ පිස්තෝල ගිනි අවිය ක්‍රියාත්මක නොවිණි. පසුව ඔවුන් දෙදෙනා නිවෙසේ වටා ඇති උස් තාපයට නැඟ පලාගිය අතර එක් පුද්ගලයකු තාප්පයෙන් ඇදවැටීම නිසා පාදයට තුවාල සිදුවීම මත පලායෑමට නොහැකිව පොලිසියට කොටුවිය.
විමර්ශන නිලධාර්න් පවසන්නේ එම සිද්ධියටද මෙම හමුදා කෝප්‍රල්වරයා එක්කර ගැනීමට සංවිධානාත්මක අපරාධකරු කටයුතු කර තිබුණද මොහු ලබාදුන් පිස්තෝලය සිදුවීම් දෙකකදීම හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා සැකකරු එම සිද්ධියට යෑමට අකමැති වූ බවය. එම අකමැති වීම මත එම සිද්ධියට මොහු වෙනුවට වෙනත් පුද්ගලයකු තුවක්කුකරුවකු ලෙස සංවිධානාත්මක අපරාධකරුවන් විසින් යොදාගෙන තිබිණි. පාදයට තුවාල සිදුවී වැටී සිටියදී අත්අඩංගුවට ගත් එක් වෙඩික්කරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනෙක් වෙඩික්කරු අනුරාධපුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනුණු අතර විමර්ශන නිලධාර්න් පවසන්නේ එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා පත්තඬුවන ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා තුවක්කුකරු සමඟ යතුරුපැදියෙන් ගිය පැදිකරු එම පුද්ගලයා බවය. එම සිද්ධියේ වෙඩික්කරු ලෙස ක්‍රියාකර තිබුණේ මෙම හමුදා කෝප්‍රල්වරයාය.
මේ අනුව අහම්බෙන් පොලිසියට කොටුවූ සැකකරුගෙන් වෙඩි තැබීම් සිද්ධීන් රැසක් මේ වන විට අනාවරණය කරගැනීමට හැකිවූ අතර සැකකරු වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරී (පාලන) කුමාරදාස සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ. පදුමසිරිගේ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.
(කීර්ති මෙන්ඩිස්)
පොලිස් විමර්ශන ඇසුරෙනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here