
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පළාත් පාලන ආයතන හතක් කසළ එකතු කිරීමේදී පැම්පස් ආදී සනීපාරක්ෂක අපද්‍රව්‍ය භාර ගැනීම නතර කර ඇත. කැස්බෑව නගර සභාව, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, මොරටුව මහ නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව, හෝමාගම නගර සභාව, මහරගම නගර සභාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව යන ආයතන මෙම තීරණය ගෙන ඇත.
මෙම ප්‍රදේශවල පදිංචිකරුවන් කසළ සමඟ කුඩා දරුවන් සහ වැඩිහිටියන්ගේ භාවිතයෙන් ඉවතලන පැම්පස් භාර නොගැනීම නිසා අසීරුතාවට පත්ව සිටිති.
මෙම පළාත් පාලන ආයතන විසින් එකතු කරන කසළ රැගෙන යනු ලබන්නේ කරදියාන කසළ අංගණයටය. කරදියාන කසළ අංගණය විසින් සාමාන්‍ය දිරන අපද්‍රව්‍ය සමඟ මිශ්‍රකර පැම්පස් ආදී සනීපාරක්ෂක ද්‍රව්‍ය භාර නොගන්නා ලෙස දැනුම් දී ඇත. ඒ වෙනුවට විදුලි නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි පැම්පස් වෙන්කර “දහනය කළහැකි කාණ්ඩය” යටතේ එවන ලෙස ඉල්ලා සිටී. ම
ෙම දැනුම්දීම හේතුවෙන් ඉවතලන පැම්පස් පළාත් පාලන ආයතනවලින් එකතු නොකරන බව පැවසේ.
කරදියාන කසළ අංගණය සඳහන් කරන පරිදි “දහනය කළහැකි කාණ්ඩය” යටතේ පැම්පස් එවීමට පළාත් පාලන ආයතන කටයුතු කරන්නේ නම් එම අපද්‍රව්‍ය දහනය කර කරදියාන විදුලි බලාගාරයට යොදාගත හැකිය. කරදියාන කසළ අංගණයට දිනකට කසළ මෙට්‍රික් ටොන් 450 ත් 500 ත් අතර ප්‍රමාණයක් ලැබේ. ඉන් මෙට්‍රික් ටොන් 250 ත් 280 ත් අතර ප්‍රමාණයක් දිරන අපද්‍රව්‍ය වේ.
කරදියාන කසළ අංගණයට එකතු වන කසළවලින් දිනකට මෙට්‍රික් ටොන් 150 ත් 180 ත් අතර ප්‍රමාණයක් විදුලිය නිෂ්පාදනය කිරීමේ කටයුතුවලට යොමු කෙරේ. ලංකාවේ විශාලතම කොම්පෝස්ට් අංගණය කරදියාන වන අතර පළාත් පාලන හතෙක් රැගෙන එනු ලබන අපද්‍රව්‍ය යොදාගෙන කොම්පෝස්ට් නිෂ්පාදන කටයුතු සිදු කරයි. මෙලෙස නිෂ්පාදනය කරන කොම්පෝස්ට් ලංකාවේ වගා බිම්වලට සේම මාලදිවයිනට සහ ඩුබායි රාජ්‍යයට අපනයනය කරයි.
කොම්පෝස්ට් ක්‍රියාවලියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 70 දී ක්ෂුද්‍ර ජීවීන් යම් ප්‍රමාණයක් මිය ගියද කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය සමඟ පැම්පස් එකතුවීම ගැටලුකාරී තත්ත්වයක් බව කරදියාන කසළ අංගණය දක්වයි.
අපද්‍රව්‍ය සමඟ පැම්පස් කාබනික පොහොර නිෂ්පාදනවලට එකතු නොවීම සඳහා පැම්පස් වෙන්කර දහනය සඳහා පමණක් ලබාදෙන ලෙස පළාත් පාලන ආයතනවලට දැනුම් දී ඇත. කසළවලින් සනීපාරක්ෂක අපද්‍රව්‍ය වෙන් කිරීමට ප්‍රමාණවත් පරිදි කම්කරුවන් කරදියාන කසළ අංගණයේ නොසිටීමද ගැටලුවක් බව පවසයි.
කරදියාන කසළ අංගණය පවසන පරිදි පළාත් පාලන ආයතන මට්ටමින් පැම්පස් ආදි කළමනාකරණය කරන මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි ආයතන ඍජුවම සම්බන්ධ කරගෙන ඒවා එකතු කිරීමට කටයුතු කළ යුතුය. එම ආයතන විසින් සනීපාරක්ෂක අපද්‍රව්‍ය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ නිවාසවලින් එකතු කරයි. මහරගම නගර සභාව විසින් ගොඩිගමුව නීලම්මහර පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බැහැර කරන සනීපාරක්ෂක අපද්‍රව්‍ය රැගෙන යාම සති තුනක සිට නතර කර තිබේ. මේ හේතුවෙන් මාර්ගයේ තැන තැන එම අපද්‍රව්‍ය ගොඩගැසී ඇති අයුරු දක්නට ලැබේ.
Saru FM Media