රිමාන්ඩ් කළ පුත්‍රයාත් කෙහෙලියගේ බන්ධනාගාර වාට්ටුවට

0
5


රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම් ටූ වාට්ටුවේ රඳවා සිටිනවා. 

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සමඟ ඔහු ද එම බන්ධනාගාර වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද රඳවා සිටින්නේ එම බන්ධනාගාර වාට්ටුවේයි. 

ඒ අනුව මේ වන විට රැඳවියන් 11 දෙනෙකු එම් ටූ වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

රමිත රඹුක්වැල්ල ඊයේ පස්වරු 06.00ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා. 

ඔහු එලෙස බන්ධනාගාරය වෙත පැමිණ ඇත්තේ වෛද්‍ය උපකරණයක් ද රැගෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.         

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ රාත්‍රී කාලයේදී ස්වසන අපහසුතාවලට ලක්වන අවස්ථාවලදී එම උපකරණය තමන් භාවිත කරන බවයි. 

කෙසේවෙතත් අදාළ උපකරණය ඔහුට භාවිත කිරීමට අවස්ථාව ලබා දෙන්නේ බන්ධනාගාර වෛද්‍යවරුන් ලබාදෙන නිර්දේශ මත බවද බන්ධනාගාර ආරංචි පැවසුවා. 

ඒ අනුව රමිත රඹුක්වැල්ලගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර වෛද්‍යවරයෙකු එම බන්ධනාගාරයට පැමිණීමට නියමිත බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම මගින් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි. 

ඉන් අනතුරුව රමිත රඹුක්වැල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය වෙත ඉදිරිපත් කළ අවස්ථවේ නියෝග කළේ සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here