එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගම වන්දියේ පළමු වාරිකය තවමත් සම්පූර්ණයෙන් ගෙවා නැහැ!
සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී තිබූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය 2021 වර්ෂයේ මැයි 20 වැනිදා කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී ගිනිගැනීමකට ලක් විය. එම නෞකාව දින කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූ අතර එය ලෝක ඉතිහාසයේ එතෙක් නෞකා අනතුරකින් සිදු වූ විශාලතම සමුද්‍රීය හානිය බවට ද පත් විය. එම පසුබිම තුළ ම නෞකාවෙන් මෙරටට සිදුවූ හානියට වන්දි ඉල්ලා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය සහ මෙරට ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනුකර තිබුණි. එම නඩුවේ තීන්දුව පසුගිය ජූලි 24 වැනිදා එවකට අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරුණේ එමගින් සිදු වූ පාරිසරික හානිය ද සලකා බලමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් මෙරට භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ගෙවන ලෙසට අදාළ නැව් සමාගමට නියෝග කරමිනි.
එම වන්දි මුදල කොටස් වශයෙන් ගෙවිය හැකි වූ අතර එහි පළමු වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ඉකුත් සැප්තැම්බර් 23 වැනි දිනට පෙර ගෙවා අවසන් කළ යුතු විය. එම වන්දි මුදලේ පළමු වාරිකය ගෙවීමට අධිකරණය නියම කළ කාලසීමාව ඒ අනුව පසුගිය 22 වනදායින් අවසන් වුවත් එම වාරිකය සම්පූර්ණයෙන් ගෙවීමට තවමත් අදාළ නැව් සමාගම කටයුතු කර නොමැත. ප්‍රංශ පුවත්පත් සේවය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක දී එක්ස්ප්‍රස් ෆීඩර් නැව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂුමෙල් යෝස්කොව්ට්ස් ප්‍රකාශ කර ඇත්තේ “සමුද්‍රීය වෙළෙඳාම්, නැව්ගත කිරීම් සහ ප්‍රවාහනය යන කටයුතුවල දී සිදුවන අනතුරු සඳහා සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව වන්දි ගෙවීම් සිදුකරන නමුත් මෙම වන්දි ඉල්ලීම අදාළ සීමාවන් ඉක්මවා ගිය අගයක් බව” යි. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “මෙම ගෙවීම සිදුකළහොත් මෙය අනාගතයේ සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයනු ඇති බව යි. මේ වන විට නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම සඳහා අදාළ නැව් සමාගමට වැය වී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක් පමණ වේ. “මෙම වන්දි ගෙවීම් සිදුකරනුයේ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීමේ මුදලක් ගණනය කිරීමෙන් අනතුරුව බව, නැව් සමාගමේ විධායක නිලධාරීවරයා පවසා සිටිය ද මෙහිදී අදාළ නැව් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය, එහි හිමිකරු ඇතුළු සියලු පාර්ශ්ව මෙම අධිකරණ තීන්දුවට සාමූහිකව වගකිවයුතු වෙති.
අධිකරණ තීන්දුවක් නොසලකා හැරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එවන් අවස්ථාවක සාමාන්‍යයෙන් සිදු කරනුයේ අධිකරණයට අපහාස කිරීම යන මැයෙන් අදාළ අධිකරණ තීන්දුව පැහැරහැරි පාර්ශ්වයන් අත්අඩංගුවට ගැනීම යි. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවේ සඳහන්ව ඇත්තේ පසුගිය සැප්තැම්බර් 23 වන දාට පෙර වන්දි මුදලෙන් හතරෙන් එකක් ගෙවීමට අදාළ නැව් සමාගම කටයුතු කළ යුතු බව යි. ඒ අනුව එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ දේශීය සමාගම වන සී කොන්සෝර්ටියම් ලංකා සමාගම ඉකුත් සැප්තැම්බර් 22 වන දා ලංකා රුපියල් මිලියන 300ක මුදලක් මෙරට මහා භාණ්ඩාගාරයට ගෙවා ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහතා නිවේදනය කර තිබුණි. අදාළ වන්දියේ පළමු වාරික මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදල ගෙවීම සඳහා තම සමාගම සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බැවින් එලෙස ලංකා රුපියල් මිලියන 300ක් ගෙවීමට කටයුතු කළ බව එම සමාගම පසුගිය සැප්තැම්බර් 23 වන දා පරිසර යුක්ති කේන්ද්‍රයට ලබා දුන් ලියැවිල්ලක සඳහන් වූ බව හේමන්ත විතානගේ මහතා වැඩිදුරටත් පැවසී ය.
මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් එක්ස් අවකාශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ “ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම තීන්දුව මෙම සිදුවීමට සාධාරණයක් ඉටු කරන්නක් බව” යි. එමෙන් ම “සාගර නීතියේ සහ ජාත්‍යන්තර සම්මුතීන් මගින් තහවුරු කර ඇති දූෂිතයා විසින් වන්දි ගෙවිය යුතුය යන මූලධර්මය මත පදනම්ව සියලු පාර්ශ්වකරුවන් කටයුතු කළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ සිදුවීම මගින් සිදු වූ සමුද්‍රීය සහ පරිසර හානිය වන්දියකට මිල කළ හැකි ද යන්න පවා ගැටලුවක්ව පවතින අවස්ථාවක එම වන්දි මුදල ගෙවීම පවා අදාළ නැව් සමාගම විසින් ප්‍රතික්ෂේප කිරීම යුක්ති යුක්ත ද යන්න දැවැන්ත ප්‍රශ්නාර්ථයකි.
චමෝදා තත්සරණි
Saru FM Media