අසල්වැසි පසමිතුරන්ගෙන් ආසියානු කුසලාන අවසන් සටන හෙට

0
6

ආසියානු කුසලාන විස්සයි – 20 තරගාවලියේ අවසන් සටනට ඉන්දියාව සමග සුදුසුකම් ලබන්නට පාකිස්තාන කණ්ඩායම සමත් වූයේ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කරමිනි.

අවසාන මහා තරගයට යෑමට කණ්ඩායම් දෙකක් අතරේ තියුණු සටනක් පැවති අතර තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ බංග්ලාදේශ නායකයා කාසියේ වාසිය දිනා ගනිමිනි. ඒ අනුව බංග්ලාදේශය පන්දු රැකීමට තීරණය කළ අතර පාකිස්තාන කණ්ඩායම මුල සිට ම බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ ග්‍රහණයට ලක්වී සිටි අතර පාකිස්තානය සිතූ තරම් ලකුණු ලබාගන්නට හැකියාව නොලැබුණි. ඒ අනුව පාකිස්තානය පන්දුවාර 20ක් තුළ කඩුලු 8ක් දැවී ලකුණු 136කට සීමා විය.

පාකිස්තානය වෙනුවෙන් මෙහොමඩ් හරිස් ලකුණු 31ක් ද මොහොමඩ් නවාස් ලකුණු 25ක් ද නායක සල්මන් අගා 19ක් ද පාකිස්තානය වෙනුවෙන් කණ්ඩායමට එක් කළහ. ඉතා පහසු ඉලක්කයක් වෙනුවෙන් බංග්ලාදේශයේ අතපසුවීම් නිසා පන්දුවාර විස්සක් තුළදී කඩුලු 09ක් දැවී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 124ක් පමණී.

පාකිස්තානය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ හරිස් රවුෆ් සහ ෂහිත් අෆ්රිඩි කඩුලු 3 බැගින් දවා ගත්තේ බංග්ලාදේශය ඉනිම සුණු විසුණු කරමිනි. ඒ අනුව හෙට පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් සටනට ඉන්දියාව සමග පාකිස්තානය සුදුසුකම් ලැබීය.

ඒ අනුව ආසියානු කුසලාන අවසන් තරගයක දී ඉන්දියාව සහ පාකිස්තානය මුණගැසෙන පළමු අවස්ථාව ද මෙය වෙයි. මෙය වසර 41කට පසුව වීම ද විශේෂත්වයකි.

මෙවර ඉන්දීය කණ්ඩායම වේලාසනින්ම අවසන් සටනට සුදුසුකම් ලැබූ අතර අවසානයේදී පාකිස්තානය ද ප්‍රතිවාදියා ලෙස හෙට පැවැත්වෙන තරගයේදී හමුවෙනු ඇත.

මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ විචාරකයෝ ප්‍රකාශ කර සිටිති. ඉන්දියාව ආසියානු කුසලාන 08ක් දිනා ඇති අතර පාකිස්තානය කුසලානය දෙවරක් සිය රටට ගෙන ගොස් තිබේ.

ඉන්දියාව අවසන් මහා තරගයට එද්දී තවත් වාර්තාවක් තබා තිබේ. ඒ මෙතෙක් වැඩිම උඩ පන්දු බිම දමා තිබෙන රට වශයෙන් ඉන්දියාව වාර්තා පොත් අතරට එක් වෙමිනි. ඉන්දියාව උඩපන්දු 12ක් බිම දමා තිබෙන අතර හොංකොං කණ්ඩායම ද උඩ පන්දු 11ක් බිම දමා තිබේ. බංග්ලාදේශය ද උඩපන්දු 08ක් බිම දමා තිබේ. ශ්‍රී ලංකාව ද උඩපන්දු 06ක් බිම දමා තිබේ.

කෙසේ වෙතත් ඩුබායි ක්‍රීඩාංගණයේ විදුලි පද්ධතියේ ප්‍රශ්නයක් නිසා මෙම උඩ පන්දු බිම වැටෙන බවද කතාවක් පැතිර යමින් පවතියි.

සුසිල් ජයකොඩි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here