ඇඟලුම් කර්මාන්තය සහ ආණ්ඩුවේ වගකීම

0
6

විවිධ වාණිජ සම්බාධක, තරගකාරී රටවල කෙනෙහිලිකම් වැනි අනර්ථයන්ට මුහුණ දෙමින් කෙසේ හෝ බෙල්ල බේරාගෙන සිටි මේ රටේ ඇඟලුම් කර්මාන්තය නැවත වරක් අනතුරකට මුහුණදීමට යයි. ඒ වූ කලී දැනට ඇඟලුම් කර්මාන්තය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන සරල බදු ක්‍රමය රජය විසින් අහෝසි කරනු ලැබීම ය. මෙම අහෝසි කිරීම ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි. මේ නිසා බදු ද්විගණනය වීම වැළැක්වීමටත්, වැට් බදු නැවත අයකර ගැනීමට අයිතිවාසිකම් තිබෙන කර්මාන්තකරුවන්ට එම වාසිය ලබාගැනීමටත් බැරිවෙයි. ලංකාවේ අපනයන කටයුතුවලින් 70%ක්ම ඇඟලුම් ය. මෙයින් ලැබෙන ආදායම කිසිසේත්ම නොසලකා නොහැරිය යුතු ය. සුනාමියෙන් ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය අත්හිටුවීමට යුරෝපය තීන්දු කළ අවස්ථාවේ දී හතරඅතේ වැඳවැටෙමින් එය ලබාගැනීමට මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව ක්‍රියා කළේ ඇඟලුම් අපනයන ආදායම්වල ඇති වටිනාකම නිසා ය. මේ අනුව සරල වැට්බදු ක්‍රමය රජය මගින් අහෝසි කර දැමීමෙන් අපේ වළ අපම කපාගත්තා හා සමාන වෙයි. ලංකාවේ නිපදවන ඇඟලුම් වැඩි වශයෙන්ම පාවිච්චි කරන්නේ අමෙරිකාව ය. පසුගිය කාලයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද හෙණගැහුවාක් වැනි බද්දක් නිසා ශ්‍රී ලංකාව තුෂ්නිම්භූත විය. මේ බද්ද අඩුකර ගැනීම පිණිස ලංකාවේ ආණ්ඩුවත්, එහි රාජ්‍ය නිලධාරීනුත් අමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිත් විශාල වැරවෑයමක් ගත් බව අපි දනිමු. අන්තිමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බද්ද සෑහෙන දුරට අඩු කළේ ය. ඒ නිසා යන්තම් ඇඟලුම් කර්මාන්තය ගොඩදමා ගැනීමට හැකි විය. ආණ්ඩුව සරල වැට් බද්ද අහෝසි කිරීමෙන් නැවත වතාවක් අපේ ඇඟලුම් ව්‍යාපාරය අනතුරට ලක්වෙයි.

ඇඟලුම් කර්මාන්තය යනු ඉතාම සංවේදී අපනයන අංශයකි. මෙය කොතරම් සංවේදී ද යත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රටේ ආනයන බදු වැඩිකළ අවස්ථාවේ දී ලංකාවේ ඇඟලුම් ආයතන රාශියක් වැසී ගියේ ය. බදු වැඩි කරන ආරංචිය ලැබුණු වහාම ගාමන්ට් එකේ ගේට්ටු දම්වැල් දමා වැසූ ගාමන්ට් අයිතිකාරයෝ මෙරටින් පැන ගියහ. ගාමන්ට්වලට බලපාන නරක ආරංචියක් පවා කොතරම් නරකට එම කර්මාන්තයට බලපාන බව මෙයින් සිතාගත හැකි ය. ඇඟලුම්වල සරල බද්ද අහෝසි කිරීම නිසා කීදෙනෙක් ඇඟලුම් ආයතන වසා දමනවා ඇද්ද යන්න අපි නොදනිමු. ඒ ගැන ආණ්ඩුව කල්පනාවෙන් සිටිය යුතු ය.

ඇඟලුම් කර්මාන්තය යනු දුක්දොම්නස් ගොඩකි. සමහර තරුණ ගැහැනු ළමයි ස්වකීය මුළුමහත් තරුණ ජීවිතයම මේ කර්මාන්තය වෙනුවෙන් වැය කරති. හදිසි ඕඩරයක් පැමිණි විට ඇඟලුම් කම්හල් මාසේ දවස් තිහම එකදිගට වැඩ කරති. එවිට තරුණ ගැහැනු ළමයින් ඇඟේ අමාරුව පහවීම සඳහා වෙනිවැල්ගැට සහ ප්‍රතිජීවක ඖෂධ එක දිගට පානය කරමින් වැඩෙහි යෙදෙති. ප්‍රතිජීවක ඖෂධ ඕනෑවට වඩා බීමෙන් අක්මාව ප්‍රසාරණය වේ. එසේම අක්මා රෝග සෑදේ. ගාමන්ට් ක්‍ෂේත්‍රය යනු සමාජ පරිහානියේ මූලිකම ස්ථානයකි. දුර පළාත්වල සිට ඇඟලුම් කම්හල්වලට පැමිණ කොරෝනා කාලයේ දී එම කම්හල් වසාදැමීමෙන් පසු රැකියා නැති වී මසාජ් ක්ලීනික්වල වැඩට ගොස් එයින් ගණිකා වෘත්තියට පිවිස සිටින තරුණියෝ විශාල ප්‍රමාණයක් අපගේ සමාජය තුළ වෙසෙති. එක ගාමන්ට් එකක් වැසුණොත් ගණිකාවන් කීදෙනෙක් සමාජයට බිහිවන්නේ ද යන්න අප තේරුම්ගත යුතු ය. ගාමන්ට්වල වැඩ කරන ඇතැම් ළමයි පිටිසරබද පළාත්වල අය වන අතර ඔවුන්ගේ වැටුපෙන් මුළු පවුලක්ම නඩත්තු වෙති. සිය දියණිය වැඩ කරන්නේ ගාමන්ට් එකක ද නැත්නම් ගණිකා නිවාසයක ද යන්න තේරුම් ගැනීමට තරම් හැකියාවක් පිටිසරබද ගම්මානවල දෙමාපියන්ට නැත. සිය දියණිය වැඩ කිරීම සඳහා එන්නේ වෙළෙඳ කලාපයේ තිබෙන කවර ගාමන්ට් එකක ද යන්න මාපියෝ නොදනිති. කාර්ය මණ්ඩලය හැරුණු විට වෙන කිසිම කෙනකුට නිදහස් වෙළෙඳ කලාපය ඇතුළට යෑමට නොහැක. මේ නිසා තමන්ගේ දරුවන් කොහේ වැඩ කරන්නේ ද යන්න සෙවීමට දෙමාපියන්ට නොහැක. මෙවැනි අතුරු අන්තරා සහ අවදානම් ද දුක් සමුදායන් ද වට කරගෙන සිටින ගාමන්ට් ෆැක්ටරි නොවැසෙන තැනට වැඩ කිරීම ආණ්ඩුවේ වගකීම වේ. ආණ්ඩුව ඒ වගකීම සුරකිත්වා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here