මාසයකට අධික කාලයක් පටන් පුරප්පාඩුව තිබෙන විගණකාධිපති තනතුර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගනුම ලැබූ සමයේ ඔහුට පහළ වසරක ඉගනුම ලැබූ අයෙක්ව පත් කිරීමට සූදානමක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කරනවා. Sri Lanka Latest News
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසර 5ක පමණ විගණන අධ්‍යක්ෂ පළපුරුද්දක් ඇති අයෙකු ඒ සඳහා පත් කිරීමට නියමිත බව දැනගන්නට ලැබී ඇති බවයි.
එසේ ම පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ, ඊයේ (20) දිනයේ දී අදාළ තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති බව දැනගන්නට ලැබී ඇති බවයි.
එසේ ම මන්ත්‍රීවරයා පැවසුවේ, විගණකාධිපති සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටිය දී ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
“තාම විගණකාධිපතිවරයෙක් පත් කරලා නැහැ. ඊයේ කථානායකතුමාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාම කිව්වා, ඊයේ පත් කරනවා කියලා. දැන් අපිට ආරංචි වෙලා තිබෙනවා, පෙරේදා එක්කෙනෙක් ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා කියලා. රජයේ ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ පුද්ගලයා ඉන්දැද්දී, වෙන කෙනෙක් දේශපාලනිකව ගේන්න හදනවාද කියලා මේ ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවෙන්.“
“මොකද විගණකාධිපතිවරයා කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීන ආයතනයේ අපි බලාපොරොත්තු වෙන දේවල්, ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක මම වැඩි වශයෙන්ම සඳහන් කරන්නේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට.“ යනුවෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.
Saru FM Media