ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සදහා තවත් සභිකයින් 09 දෙනෙකුගේ සහය හිමිවුවද බහුතර බලය ලබා ගැනීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අර්බුදකාරි තත්ත්වයක්.Sri Lanka Latest News
ආණ්ඩුවට බහුතර බලය අහිමි වූ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැලවත්තේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
කොළඹ මහ නගර සභාවට තරග කර සභික ධුර දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ එක්සත් සාම පක්ෂයේ නියෝජිතයින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 03 ක නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටි අතර, ඔවුන් ජාතික ජන බලවේගයට සහය දීමට එකඟතාව පළ කර තිබුණා.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහනගර සභාව සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක් සභික ධුරයක් හිමිව තිබූ අතර, එක්සත් සාම පක්ෂයට හිමි වූ සභික ධුර ගණන 02 ක්.
එමෙන්ම සාකච්ඡාවට එක්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකට එක් සභික ධුරයක්, ස්වාධීන කණ්ඩායම් අංක තුනට සභික ධුර 3 ක් සහ ස්වාධීන කණ්ඩායම් අංක හතරට සභික ධුර 02 ක් හිමිව තිබුණා.
ඒ අනුව සභිකයින් 9 දෙනෙකුගේ සහය ජාතික ජන බලවේගයට හිමිවනවා.
මෙවර කොළඹ මහනගර සභාවේ සංයුතියට අනුව ජාතික ජන බලවේගයට සභික ධුර 48ක් හිමි වූ අතර, එම සභික ධුර 09 එක්ව ගත්විට ඔවුන්ට හිමිවන මුළු සභික ධුර ගණන 57 ක්.
කෙසේ වෙතත් එම සභික ධුර 09 අත්හළ විට තවමත් සභික ධුර 60 ක් විපක්ෂයට හිමි වනවා.
ඒ අනුව තවමත් බහුතර බලය පවතින්නේ විපක්ෂයටයි.
කෙසේවෙතත්, ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ සහය ලබාදෙන්නේ කුමන පාර්ශවයට ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කරන බවටයි ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ ජාතික සංවිධායක නිලුක්ෂ කුමාර අද පස්වරුවේ කොළඹදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ.
Saru FM Media