Wednesday, May 21, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ගෙවත්තේ වගා ළිඳකට වැටුණු වන අලියා පැය 6ක උත්සාහයකින් බේරා ගනී

ගෙවත්තේ වගා ළිඳකට වැටුණු වන අලියා පැය 6ක උත්සාහයකින් බේරා ගනී

0
6


wild-elephant-that-fell-into-a-well-in-the-garden-is-rescued-after-a-6-hour-effort

අනුරාධපුර මහඉලුප්පල්ලම – පුලියන්කුළම ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ පිහිටි වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන් පැය හයකට ආසන්න කාලයක් තිස්සේ කළ අඛණ්ඩ උත්සාහයක් සාර්ථක විය.

මහඉලුප්පල්ලම, පුලියන්කුළම ගම්මානයේ නිවසකට යාබදව පිහිටි අනාරක්ෂිත වගා ළිඳකට පසුගිය 18 වැනි දින රාත්‍රී 8.45ට පමණ වන අලියා වැටී තිබේ. ගෙවත්තේ ඇති කොස් ගසක ගෙඩි කෑමට තවත් වන අලි දෙදෙනකු සමඟ තුන්පත් රෑනක් ලෙස පැමිණි අවස්ථාවේ, නිවැසියන් අලින් පන්නා හැරීමට උත්සාහ කරන අතරතුර, කොස් ගස අසල පිහිටි අනාරක්ෂිත වගා ළිඳට මෙම අලියා වැටී ඇත.
සිදුවීම දැනගත් වහාම ගම්වාසීන් ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර, රාත්‍රී 9.00 පමණ සිට ළිඳේ ගඩොල් බැම්ම කඩා, අලියාට ගොඩ ඒමට පහසු ස්ථානයක් සකස් කිරීමට ක්‍රියා කර තිබේ. ළිඳට වැටී සිටි වන අලියාගේ එක් ඇසකට තුවාල සිදුවී තිබූ අතර, ශරීරයේ තවත් ස්ථාන කිහිපයකද තුවාල දැක ගත හැකි විය.


එම ගම්මානයේ වාසය කරන ගම්වාසීන්ට අනුව, වන අලින් නිතර ගමට පැමිණ භව භෝග විනාශ කරමින් ගම්වාසීන්ට පීඩා කළද, මෙම අවස්ථාවේදී තම ජීවිත පවා පරදුවට තබමින් ළිඳට වැටුණු වන අලියාට අනුකම්පා කර ඔවුන් ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත්, ගම්වාසීන්ගේ මුල් උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ.
වනජීවී නිලධාරීන් සිදුවීම් ස්ථානයට පැමිණි පසු, ඔවුන් වන අලියා ගොඩට ගැනීමට බැකෝ යන්ත්‍රයක් සොයා ඇතත්, අවට ප්‍රදේශයෙන් එවැනි යන්ත්‍රයක් සොයා ගැනීමට නොහැකි වූ බැවින් අලවංගු හා උදලු ආධාරයෙන් බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. කඩින් කඩ ඇද හැලුණු වැසි හමුවේ වුවද, මෙම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණි.
අලියා ගොඩට ගැනීමේ ක්‍රමෝපායක් ලෙස, අවට නිවෙස්වල ළිංවලට මෝටර් යොදා ජලය ලබාගෙන, අලියා වැටී සිටි වගා ළිඳ ජලයෙන් පුරවා ඔහුට ඉහළට පාවී එන්නට ඉඩ සැලසීමට උත්සාහ කර ඇත. එම අතරම ළිං බැම්ම කපා අලියාට නැගී ඒමට පහසු මාර්ගයක් ද සකස් කර ඇත. නමුත් වනජීවී නිලධාරීන්ට අවශ්‍ය නිසි පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම ක්‍රියාවලියට පැය 6කට ආසන්න කාලයක් ගත වී තිබේ.


ඔවුන් එක් උදැල්ලක් හා අලවංගුවක් පමණක් භාවිතා කරමින් වගා ළිඳ අසල පැය ගණනක් වැඩ කර ඇත්තේ, අලියා තවත් පැය කිහිපයක් ළිඳේ රැඳී සිටියහොත් ඔහුගේ ජීවිතය අනතුරට පත්විය හැකි බව තේරුම් ගෙන ය.
අවසානයේදී, පසුදින අලුයම 2.00ට පමණ වන අලියා ළිඳෙන් ගොඩට ගැනීමට ගම්වාසීන්ට හා වනජීවී නිලධාරීන්ට හැකි විය. ළිඳෙන් ගොඩට පැමිණි වන අලියා තමන් බේරා ගත් මිනිසුන්ට කුංච නාද කරමින් කෘතඥතාව පළ කළ අතර, ඉන්පසු කැලෑව දෙසට පිටත්ව ගොස් ඇත.
මෙම සිදුවීම මිනිසා සහ වන සතුන් අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ විශේෂ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. ගම්වාසීන්ට අලින්ගෙන් නිතර හානි සිදුවුවද, අනතුරට පත් අලියෙකු බේරා ගැනීමට ඔවුන් පෙන්වූ කැපවීම හා අනුකම්පාව සතුන් කෙරෙහි මානුෂීය ආකල්පයේ වටිනාකම පෙන්නුම් කරයි.


gossiplanka image 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here