ස්වයං රැකවරණය කියන්නේ ගැහැණු පිරිමි දෙපාර්ශවයම පුහුණු කළ යුතු දෙයක්.ඔබ වටා ඇති සියල්ලටම ආදරය කිරීමට පෙර ඔබ කළ යුතු වන්නේ ඔබටම ආදරය කිරීම සහ ඔබ වෙනුවෙන් කාලය වෙන් කිරීමයි.ඒ වගේම, ස්වයං රැකවරණය කියන්නේ පරිපූර්ණ ජීවිතයක් ගත කිරීමේ පළමු පියවරයි.ඔබේ මානසික , ආධ්‍යාත්මික සහ ශාරීරික යහපැවැත්ම ගැන සැලකිලිමත් වීම ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වෙනවා.කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට ස්වයං රැකවරණය පිළිබඳව බොහෝ දුරට අමතක වෙන්නට පුලුවන් වුනත් ඔබ අවධානය යොමු කළ යුතු ඔබේ ජීවිතයේ අත්‍යවශ්‍යම කොටසක් තමයි ඒක. ස්වයං රැකවරණයෙන් ඔබට වඩා හොඳ ප්‍රතිශක්තියක්, ඵලදායිතාවයක් , හොඳ පෞරුෂත්වයක් වගේම ඔබ පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා.
ඔබ ඔබවම අගය කිරීමට , මානසිකව සහ ශාරීරිකව පෝෂණය කිරීමට හේතුවන ස්වයං රැකවරණය සඳහා ඔබට අනුගමනය කළ හැකි පිළිවෙත් කිහිපයක් ගැනයි මේ ලිපිය.
විසන්ධි කරන්න
ස්වයං රැකවරණය පිළිබඳව උනන්දු වන ඔබ විසන්ධි කළ යුතු ප්‍රධානම දෙයක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. එදිනෙදා කාර්යබහුල වන බොහෝ දෙනා තමන්ට ලැබෙන සුළු විවේක කාලය තුළදී සමාජ මාධ්‍ය වල සැරිසැරීමට හුරු වී සිටිනවා. මෙය ඒ තරම් සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් වන්නේ නැහැ. සමාජ මාධ්‍ය භාවිතා කිරීම සඳහා නියමිත කාල වේලාවක් හෝ කාල සීමාවක් තබා ගැනීමේ වරදක් නැති නමුත් ඔබට ලැබෙන සෑම විවේක කාලයක්ම ඒ සඳහා භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ.
කියවන්න
ඔබ,ඔබ වෙනුවෙන් කාල වේලාවක් වෙන් කර ගෙන හුරු විය යුතු තවත් පුරුද්දක් තමයි කියවීම. මේ ඔබේ මානසික යහ පැවැත්මට සෘජුවම බලපාන ඉතා හොඳ පුරුද්දක්. මේ වන විට බොහෝ දෙනාගෙන් ඈත්ව යන පුරුද්දක් වන කියවීම ඔබට නැවත ඇති කර ගැනීමට පුළුවන්නම් ඔබේ ජීවිතයට බොහෝ දේ එකතු කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. පුද්ගලයකු කියවීමට පටන් ගන්නා විට මොළය විසින් ශරීරයට සන්සුන් සංඥාවක් යැවීම සිදු කරනවා. කියවීම ඔබේ ශරීරය ලිහිල් කරනවා පමණක් නොව ඔබේ මනෝභාවයද පොහොසත් කරවනවා.ඒ නිසා අවම වශයෙන් දිනකට පැය භාගයක පමණ කාලයක් වත් කියවීම සඳහා වෙන් කරන්න.
විනෝදාංශයක් තෝරා ගන්න
විනෝදාංශ අපට අපගේ කාලය වඩාත් කාර්යක්ෂමව සකස් කර ගැනීමට උපකාරී වනවා. විනෝදාංශයක් තිබීම සහ එයට දක්ෂ වීම හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීම අපට විශ්වාසය ගොඩනගා ගැනීමට සහ අපගේ පෞරුෂත්වය සංවර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම යම්කිසි විනෝදාංශයක් සඳහා කාලය වෙන් කිරීම මගින් මනෝභාවය වැඩි දියුණු කර ගැනීමට ද හැකි වනවා. මෙය චිත්‍ර ඇඳීම , සංගීතයට සවන් දීම , පොත් කියවීම , චිත්‍රපට බැලීම හෝ වගා කිරීම ආදී ඕනෑම ආකාරයේ විනෝදාංශයක් විය හැකියි.
මිතුරන් ඇසුරු කරන්න
ඔබේ ජීවිතය ඒකාකාරී නොවීම සඳහා ඔබට අනිවාර්යෙන්ම මිතුරන් සිටිය යුතුයි. නමුත් ඔබ ඇසුරු කිරීමට තෝරා ගන්නා මිතුරන් පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු වන අතර ඔබ තෝරා ගත යුත්තේ ඔබේ ජීවිතයට ධනාත්මක දේවල් එකතු කරන මිතුරන් පමණයි. නිතරම ඔබව විවේචනය කරන, සෘණාත්මක දේවල් ඔබේ ජීවිතයට එකතු කිරීමට උත්සාහ කරන සහ ඔබව පහතට ඇද දමන මිතුරන් වෙනුවට ඔබව ජයග්‍රහණය කරා ගෙන යන , ඔබව දිරිමත් කරන සහ ඔබට හොඳ නරක පෙන්වා දෙන මිතුරන් පමණක් ඇසුරු කරන්න. මෙය ඔබ ඔබටම ආදරය කරන ස්වයං රැකවරණ ක්‍රියාවලියේ වැදගත්ම කොටසක්.
එළියට යන්න
ඔබ ඔබටම ආදරය කිරීමට පටන් ගැනීමේදී ඔබට කළ හැකි බොහොම වැදගත් පියවරක් තමයි මේ. සතිය පුරාම වෙහෙස වී රැකියා කටයුතු වල සහ නිවසේ කටයුතු වල නියැලෙන ඔබට ඔබ වෙනුවෙන් අනිවාර්යෙන්ම විවේකයක් ගැනීම අත්‍යවශ්‍ය වනවා. මෙමගින් ඔබෙන් ගිලිහී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට වගේම ඔබේ මනස සුවපත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.රූපලාවණ්‍යාගාරයකින් සත්කාරයක් ලබා ගැනීම , ඔබ කැමැති ආකාරයේ ආහාරයක් රස විඳීමට යාම , කෝපි පානයක් සඳහා යාම හෝ තනිව චිත්‍රපටයක් නැරඹීමට යාම වැනි දේවල් සඳහා පිටතට යාමට සති අන්තයේ එක් දිනයක් වෙන් කර ගන්න.
සංවිධානය කරන්න
අවුල් සහගත වූ නිවසක් , අවුල් සහගත වූ නිදන කාමරයක් හෝ අපිළිවල කාර්යාල මේසයක් කිසි විටෙකත් ඔබට හොඳ හැඟීමක් ඇති කරවන්නේ නැහැ. ඒ නිසා නිතරම ඔබ ගැවසෙන ස්ථාන , ඔබ ගැවසෙන වටපිටාව ඔබේ මනසට සුවයක් ගෙන දෙන , නිර්මාණශීලී සහ සැනසිලිදායක වටපිටාවක් බවට තහවුරු කර ගන්න. ඔබේ වටපිටාව හොඳින් සංවිධානය සහ සැලසුම් කර ගන්න. පිරිසිදු සහ සංවිධානාත්මක වටපිටාවක් සෑම විටම ඔබේ මනෝභාවය යහපත් ලෙස දියුණු කරවනවා.
ස්තුතිවන්ත වෙන්න , අගය කරන්න
ජීවිතයේ ඔබට ලැබෙන සෑම අවස්ථාවක් පිළිබඳවම දවස අවසානයේදී ස්තූති වන්ත වෙන්න. මෙමගින් ඔබට ඔබ පිළිබඳවම හොඳ හැඟීමක් ඇතිවන අතර ඔබට තව තවත් හොඳ අවස්ථා ලැබීම සිදු වනවා. ඒ වගේම එදිනෙදා ජීවිතයේ දී ඔබට කුමක් හෝ ආකාරයකින් සහයෝගය දක්වන පුද්ගලයන්ට , ඔබේ පවුලේ සාමාජිකයන්ට , ඔබේ මිතුරන්ට හෝ හිතවතුන්ට ස්තූතිවන්ත වෙන්න. ඒ වගේම ඔවුන්ව අගය කරන්න. ඔබ ඔබටම ආදරය කරන්නට පටන් ගන්නා අතරතුර අන් අයටද ආදරය කරන්න පටන් ගන්න.
ස්වයං රැකවරණය කියන්නේ ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය වන කාරණාවක්. ඔබ ඔබටම ආදරේ කිරීමට පටන් ගන්නා විට ඔබේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වීමට පටන් ගන්නවා. ඔබේ ජීවිතයේ දේවල් ඉතාම හොඳ ආකාරයෙන් වෙනස් වන විට ඔබේ පවුලේ සාමාජිකයන්ගේ මහා ඔබ වටා සිටින පුද්ගලයන්ගේ පවා ජීවිත වලට ලැබෙන්නේ ධනාත්මක වෙනසක්. ඔබ ස්වයං රැකවරණය පිළිබඳව එතරම් තැකීමක් නොකරන කෙනෙක් නම් මේ ලිපියේ ඉහත සඳහන් කර ඇති පියවරවල් අනුගමනය කර බලන්න.ඔබේ ජීවිතයේ ඇතිවන වෙනස ඔබටම දැනෙන්නට පටන් ගනීවී.
Saru FM Media