ශ්‍රී ලාංකිකයන්ගේ රසවින්දනය, සංස්කෘතිය හා සාහිත්‍යය

0
6

රසවින්දනය මිනිසා තුළ සැකසීමේ කාර්යයේදී බලපාන විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් මතිමතාන්තර අතර ප්‍රසිද්ධ හා බොහෝ පිරිසකගේ පිළිගැනීම වන්නේ රසවින්දනය මතුවීමට හෝ බිහිවීමට නම් මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් සපුරා තිබීම අත්‍යවශ්‍ය බවයි. එනම් රටක දේශපාලන, සමාජීය හා ආර්ථික වශයෙන් දියුණු රටවල මිනිසුන් රසවින්දනයේ ප්‍රවීණයින් බව එම මතයයි. එසේ නොවන දියුණු වෙමින් පවතින වටපිටාවක මිනිසුන්ගේ රසවින්දනය එතරම්ම පුළුල් නොවන වග විදග්ධ මත අතර පවතී.

නමුත් මෙම මතයට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් මෙරට ශ්‍රී ලාංකිකයා තුළ පවතී. තම තමන්ගේ උරුමයන් හා සංස්කෘතීන් පිළිබඳ පැහැදීමක් නොදක්වන අයවලුන් හැරුණු කොට, එනම් න+උරුම=නරුම ගති පැවතුම් ඇති අය හැරුණු කොට ලාංකිකයන්ගෙන් බහුතරය රසවින්දනයේ පුළුල් බව අත්විඳි අය අතර වේ. එය ඉතාමත් පුදුමසහගත තත්ත්වයකි. ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටක් තුළ උරුමතා හා අපේකම් රැකී තිබීම ඉතා සතුටට කරුණකි.

මෙරට වැසියන්ගේ රසවින්දනය පිළිබඳ කතාබහ කිරීමේදී මතුවන පුදුමසහගත තත්ත්වය වන්නේ කුමන ප්‍රශ්නවලින් පෙළෙමින් තෙරෙපෙමින් සිටි නමුත් රසවින්දනයට ඔවුන් ලබා දෙන්නේ සුවිශේෂී ස්ථානයකි. කදිම උදාහරණය වන්නේ කොරෝනා සමයේ මිනිසුන්ගේ හැසිරීමයි. නිරෝධානය වෙමින් මරණයත් ජීවිතයත් අතර තරගයක නිරත වූ එම යුගයේ නිවැසියන් ලෙස සියල්ලක්ම පාහේ එකී පීඩනය විසුරුවා හැරීමට තෝරාගත්තේ රසවින්දන මාධ්‍යයයි. දුරකථනය, රූපවාහිනිය, ගුවන්විදුලිය ආදීය ඔස්සේ ද සමාජ මාධ්‍යය භාවිතයත් සමග ද මෙම රසවින්දනය එකිනෙකා හා බෙදා ගත් ආකාරය අපූරුය. සුන්දරය. පෙර අත් නොවිඳි චමත්කාරයක් ය. මෙම රසවින්දනය මිනිසුන් තුළ පැලපදියන් වීමට බලපෑවේ කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයා යන ගමනේදී මා මතු කර ගත් හේතුඵලය නම් අප හා ඉදිරියට ගෙන යන මෙම සංස්කෘතික උරුමකම් ය. හැදියාවන් ය. සිරිත් විරිත් ය. බැඳීම් ය. අම්මා, තාත්තා, සහෝදරයින්, යහළුවන්, පෙම්වතා හෝ පෙම්වතිය, පළමු පෙම ආදී වූ විවිධාකාර සම්බන්ධතා අපගේ පද්ධතිය තුළ විහිදී ඇති ආකාරය මනා ය. සාහිත්‍යය යන වචනය ද මතු වන්නේ මෙම සංස්කෘතියේම දිගුවක් හා ගහකට පොත්තක් සේ බැඳුණු හර පද්ධතියක් ලෙස ය. හැර ගිය පෙම්වතිය අප සමාජය දුටු අයුරු අති උතුම් ය. පිහියකින් ඇන මරා දැමීමට තරම් වෛරයක් හිතේ නැගෙන අවස්ථාවකදී වුවද එම කේන්තිය පාලනය කර ගැනීමට ප්‍රබල සන්නිවේදන මාධ්‍යයන් අපගේ උරුමයන් තුළ පවතී. ඒ පිළිබඳ කියවෙන ගීතයක් මේ මොහොතේ සිහි කිරීම උචිතය. එනම්, සමන් ලෙනින් ගායන ශිල්පියාගේ “අමුඩේ” ගීතය ලාංකිකයන්ගේ දරාගැනීමේ හැකියාව මනාව පෙන්වයි. ඉපැරණි නිර්මාණ හා වර්තමානයේ බිහිවන කිහිපයක් නිර්මාණවල පවතින මෙම සංකේතමය ගුණය වටහා ගැනීම අප සතු කාර්යයකි. එම ගුණය වටහාගන්නන් එම නිර්මාණයන් සමග රැගෙන යන දිවිපෙවෙත යහපත් ය. සතුටුදායක ය. එකී නිර්මාණයන් හා විවිධ උරුමයන් නිසාම අපගේ රසවින්දනය පුළුල් ය.

උතුම් ය. දියුණු ය. ඉතින් මෙවැනි රටක් තුළ ජීවත් වීම පිළිබඳ අපට සතුටු විය නොහැකිද?

●ඩබ්ලිව්.එම්. ගවේශ් කළරූ වීරසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here