කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨය විසින් අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කරනු ලබන සමාජීය විද්‍යා උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණ සම්මන්ත්‍රණය (URCSS 2025) සැප්තැම්බර් මස 26 වැනි දින පෙ.ව. 9.00 සිට සමාජීය විද්‍යා පීඨ පරිශ්‍රයේ දී පැවැත්වේ.
අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය ලබාදීම ප්‍රධාන කාර්යයක් වුවත් දැනුම හා කුසලතා පමණක් ලබා ගැනීම නොව, නව දැනුම ගොඩනගා ගැනීමට දායක වීම ප්‍රධාන අරමුණකි. ඒ සඳහා මූලික උපකරණය වන්නේ පර්යේෂණයි. විශ්වවිද්‍යාල තුළ පර්යේෂණ නැඹුරුව රටේ ජාතික සංවර්ධනයට විශාල වශයෙන් දායක කරගත හැක. මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය ඒ.ජී. අමරසිංහ මහතා සමග පැවැත්වූ සංවාදයකි.
සමාජීය විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ,
මහාචාර්ය
ඒ.ජී. අමරසිංහ
ජාතික සංවර්ධනය සඳහා පර්යේෂණ දැනුම වැදගත් වෙන්නේ කොහොම ද?
රටේ සංවර්ධනය අලුත් දිශානතිවලට ගමන් කරනකොට පවතින ගැටලු මඟහරිමින්, විසඳමින් තමයි ඉදිරියට යා යුත්තේ. සංවර්ධනයට තිබෙන බාධා, නව අවස්ථා හඳුනා ගැනීමට පර්යේෂණ අවශ්‍ය වෙනවා. ලෝකය නිතරම වෙනස් වෙමින් පවතිනවා. මේ නිසා නව දැනුම සොයාගැනීම රටක ජාතික සංවර්ධනයේදී ඉතා වැදගත් වෙනවා. නව දැනුම සහ නවෝත්පාදනයේදී, දේශීය ගැටලු විසඳීමේදී, කෘෂිකර්මාන්තයේදී, ආපදා කළමනාකරණයේදී, ආර්ථික ප්‍රවර්ධනයේදී, ප්‍රතිපත්ති ගොඩනැගීමේදී සහ තීරණ ගැනීමේදී, ගෝලීය තරගකාරීත්වයට මුහුණ දීමේදී පර්යේෂණ දැනුම ඉතා වැදගත්. රටේ නිතර මුහුණ දෙන ගැටලු පිළිබඳව පර්යේෂණාත්මක සොයාබැලීම් සිදු කිරීමෙන් ප්‍රායෝගික විසඳුම් සොයා ගන්න පුළුවන්. යම් පර්යේෂණයෙන් ඉදිරිපත් වන විග්‍රහ, දත්ත හා වාර්තා රටේ ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීමට සහ සංවර්ධන වැඩසටහන් ගොඩනගීමට විශ්වාසදායකව දායක කරගන්න පුළුවන්. ඒ වගේම පර්යේෂණයක් නොමැතිව ගන්නා තීරණ බොහෝ විට අපරික්ෂාකාරී වන අතරම විද්‍යාත්මක පදනමකින් යුත් තීරණය රටේ සංවර්ධනයට දීර්ඝ කාලීන බලපෑම් කරනවා. පර්යේෂණ තුළින් නව දැනුම ගොඩනගා ගැනීමේ හැකියාව, ගැටලු විසඳීමේ සූක්ෂම මාර්ග, ආර්ථික නවෝත්පාදන සහ ජාත්‍යන්තර තරගකාරීත්වය ඔස්සේ රටේ අනාගතය ශක්තිමත් කරගන්න පුළුවන්. මේ නිසා නිරන්තරයෙන් පර්යේෂණ කිරීම, නව දැනුම නිපදවීම රටක ජාතික සංවර්ධනයේදී ඉතා වැදගත් වෙනවා.
අපේ රටේ පර්යේෂණ ක්ෂේත්‍රය පවතින්නේ මොනවගේ තැනක ද?
ඇත්තටම අපේ රටේ පර්යේෂණ ක්ෂේත්‍රය පවතින්නේ සතුටුදායක තැනක නෙවෙයි. අපේ රටේ පර්යේෂණ විශ්වවිද්‍යාල මට්ටමින්, රජයේ ආයතන, පෞද්ගලික ආයතන සහ විශේෂිත පර්යේෂණ මධ්‍යස්ථාන ඔස්සේ සිදු කෙරෙනවා. අපේ රටේ සිටින විද්වත් පර්යේෂකයන් නව දැනුම, නව නිපැයුම්, නවෝත්පාදන වැනි නව විධික්‍රම සොයාගෙන තිබෙනවා. නමුත් ඒවා ජාතික තලයේ සංවර්ධනයට යොදාගැනීමේ අඩුවක් තියෙනවා. මේක තමයි අපේ රටේ තියෙන ප්‍රධාන ගැටලුව. රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන අය (දේශපාලනඥයන් සහ ඉහළ නිලධාරීන්) මේවාට ඇහුම්කන් දෙන ස්වභාවයක් අපට පෙනෙන්නේ නැහැ. මෙය බරපතළ ප්‍රශ්නයක්. පර්යේෂකයින්ගේ පර්යේෂණ මත පදනම් වූ තීන්දු තීරණ ගැනීමේ සම්ප්‍රදායක්, පුරුද්දක් අපේ රටේ නැහැ. අපේ රටේ පර්යේෂණ අඩුකමවත්, පර්යේෂණ කරන්න මිනිස්සු නැතිකමවත් නෙමෙයි අපේ රටේ තියෙන ගැටලුව. ඇත්තටම ඒ පර්යේෂණවලට නිසි අවධානයක් ලබා නොදීමයි පවතින විශාල ගැටලුව. රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන අය මේවාට අවධානය ලබා නොදීම හරහා පර්යේෂණ කිරීමට අවශ්‍ය මූල්‍ය ධනය සහ තාක්ෂණය පරීක්ෂකයන්ට නොලැබෙන තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ. ඒ නිසා අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් බොහෝ දේවල් නිෂ්පාදනය කිරීමට නොහැකිව පිටරටවලින් ගෙන්වනවා. අපේ රටේ සෑහෙන ක්ෂේත්‍රවල පර්යේෂකයන්ට පේටන්ට් බලපත්‍ර පවා තියෙනවා. සමහර පර්යේෂකයන් වෙනත් රටවල් සමග සම්බන්ධවෙලා නිෂ්පාදන සිදු කරන අවස්ථා තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව අරමුදල් හිඟයයි.
බොහොමයක් පර්යේෂණ අරමුදල් මත රැඳී තිබෙන නිසා නවෝත්පාදන ගොඩනැගීම සීමා වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්ෂේත්‍රය සීමිත අරමුදල්, නවෝත්පාදන ගොඩනගා ගැනීමේ අඩු මට්ටම සහ ගෝලීය තරගකාරීත්වයට යෑමට ඇති ගැටලු නිසා තවමත් දුර්වල තත්ත්වයක තියෙනවා. ශ්‍රී ලංකාවේ පර්යේෂණකරුවන් විදේශ විශ්වවිද්‍යාල හා ආයතන සමග එක්ව වැඩ කරනවා. නමුත් දේශීය පර්යේෂණ ප්‍රතිඵල ජාතික ප්‍රතිපත්ති හා වැඩසටහන්වලට සෘජු සම්බන්ධයක් ඇතිවන්නේ අඩු ප්‍රමාණයකට පමණයි.
විශ්වවිද්‍යාලවල කෙරෙන පර්යේෂණ ජාතික තලයට ගෙන ඒමේ ගැටලුවක් පවතින බවට මතයක් තිබෙනවා. එයට ඔබ එකඟ ද?
ඇත්තට එහෙම තත්ත්වයක් අපේ රටේ තියෙනවා. විශ්වවිද්‍යාලවල සිදු වෙන පර්යේෂණ වැඩි දියුණු වුණත් ඒවා ජාතික තලයට ගෙන යෑම සහ ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දීම අඩුයි. ඇත්තටම විශ්වවිද්‍යාල තුළ පර්යේෂණ කළාට ඒවාට ඇහුම්කන් දීම හෝ අවධානය ලබාදීම ප්‍රශස්ත මට්ටමක නැහැ. විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් පර්යේෂණ සැලකීමකට භාජනය කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ පර්යේෂණ පදනම් කරගනිමින් පුවත්පත් වෙත සංවාද සපයනවා, ලිපි සපයනවා. නමුත් එම සංවාද, ලිපි පිළිබඳ අවධානය යොමු කරලා ඒ පර්යේෂකයන් සම්බන්ධ කරගෙන සිදු කරන කටයුත්තක් පෙනෙන්න නැහැ. ඒ නිසා විශ්වවිද්‍යාලවල සිදුකෙරෙන පර්යේෂණ ජාතික ගැටලු විසඳීම සඳහා යොදා ගන්නේ අඩුවෙන්. බොහෝමයක් විශ්වවිද්‍යාල පර්යේෂණය උපාධි සම්පූර්ණ කිරීමේ අරමුණට පමණක් සිදු කරනවා. ජාතික ආර්ථිකය හෝ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සෘජුව යොදා ගන්නවා අඩුයි. රටේ අවශ්‍යතාව (උදා: කෘෂි නිෂ්පාදන වැඩි කිරීම, පාරිසරික ගැටලු විසඳීම) සමග සම්බන්ධ නොවන පර්යේෂණ වැඩි. ඒ වගේම පර්යේෂණ ප්‍රතිඵල රජයේ ප්‍රතිපත්ති සම්පාදනයට හෝ ජාතික වැඩසටහන්වලට සෘජුවම ගෙන යන නිල නාලිකා දුර්වලයි. විශ්වවිද්‍යාලය තුළින් සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රචාරය හා ප්‍රවේශය වැඩි කළ යුතුයි යන්න මගේ අදහස.
විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් පර්යේෂණ සඳහා යොමු කරන්නේ කොහොමද? ඔවුන්ට ලැබෙන පහසුකම් මොනවා ද?
විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් පර්යේෂණ සඳහා විවිධ ආකාරයෙන් යොමු කරනවා. අවසන් වසරේදී සිසුන්ට තනි පර්යේෂණ ව්‍යාපෘතියක් හෝ කණ්ඩායම් පර්යේෂණයක් ලබා දෙනවා. මෙය විශේෂයෙන් විද්‍යා, වාණිජ, කෘෂි, තාක්ෂණ, සෞඛ්‍ය හා සමාජ විද්‍යා අංශවල තිබෙන එක රීතියක්. විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී ශාස්ත්‍රීය දැනුම ලබාදීමත්, දෙවන වසරේදී පර්යේෂණ ක්‍රමවේද පිළිබඳව සහ දත්ත රැස් කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම පිළිබඳව උගන්වනවා. ඉන් පසුව තුන්වෙනි වසරේදී සහ සිව්වැනි වසරේදී පර්යේෂණයක් ප්‍රායෝගිකව සිදුකරන අයුරු පුහුණු කරනවා. අවසන් වසර උපාධි නිබන්ධනය කියන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් පර්යේෂණයකට යොමු කිරීමේ මූලික ක්‍රියාවලිය. මෙය අවුරුදු දෙක, තුනක් පුරා සිදුවෙනවා. ඒ සඳහා පර්යේෂණ විද්‍යාගාර තිබෙනවා, ක්ෂේත්‍ර පර්යේෂණ විශ්වවිද්‍යාල වියදමින් සිදු කරනවා. ඒ වගේම පර්යේෂණ ක්‍රමවේද සඳහා විෂය මාලා සහ පාඨමාලා තුළින් අවශ්‍ය දැනුම ලබාදීම විශ්වවිද්‍යාලය තුළින් සිදුකෙරෙනවා. පර්යේෂණ සඳහා ඉගැන්වීමට සහ මගපෙන්වීමට ආචාර්යවරුන් සිටිනවා. එම ආචාර්යවරයා ඔවුන්ගේ පර්යේෂණයට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙනවා.ඒ වගේම විද්‍යාර්ථයින්ගේ වාර්ෂික පර්යේෂණ සමුළු (Annual Research Symposium), පර්යේෂණ සම්මන්ත්‍රණය Undergraduate Research Conferences සංවිධානය කරමින් සිසුන්ට තම සොයාගැනීම් ජාතික තලයට ගෙන යා හැකි අවස්ථා සලසා දෙනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පර්යේෂණ සඳහා යොමු වන්නේ අධ්‍යාපන පාඨමාලා අවශ්‍යතාවන්, ඉගැන්වීම්, මගපෙන්වීම් සහ ගවේෂණාත්මක පුහුණුව මගින්. ඔවුන්ට ලැබෙන පහසුකම් අතර පුස්තකාල, පරීක්ෂණාගාර, අරමුදල්, සම්මන්ත්‍රණ සහ ICT යටිතල පහසුකම් ප්‍රධාන වෙනවා. මීට අමතරව විශ්වවිද්‍යාලය පර්යේෂණ ප්‍රදාන (University Research Grants) වගේ පර්යේෂණයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ද සහය වෙනවා.
මොකක්ද (URCSS 2025) සම්මන්ත්‍රණය? මෙම පර්යේෂණ සම්මන්ත්‍රණයේ අරමුණ?
සමාජීය විද්‍යා උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණ සම්මන්ත්‍රණය (URCSS 2025) දෙවන වරටයි සංවිධානය වෙන්නේ. පසුගිය වසරෙත් අපි මේ සම්මන්ත්‍රණය පැවැත්වුවා. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨය තමයි මෙය සංවිධානය කරන්නේ. සැප්තැම්බර් මස 26 වැනි දින පෙ.ව. 9.00 සිට සමාජීය විද්‍යා පීඨ පරිශ්‍රයේ දී මේ සම්මන්ත්‍රණය පැවැත්වෙනවා. ‘සමාජීය විද්‍යා විෂයයන් තුළින් තිරසර සංවර්ධනය තහවුරු කිරීම’ යන්න මෙම වසරේ සම්මන්ත්‍රණ තේමාව වෙනවා. සමාජීය විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් 258 දෙනකු මෙම සම්මන්ත්‍රණයේ දී සිය පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කර තියෙනවා. මේ සම්මන්ත්‍රණය පැවැත්වීමෙහි ප්‍රධාන අරමුණු වන්නේ සිසුන්ගේ ශාස්ත්‍රීය දැනුම, පර්යේෂණ කෙරෙහි ඇති උනන්දුව සහ නිපුණතා වැඩිදියුණු කිරීම, උපාධි අපේක්ෂකයින්ගේ වෘත්තීය අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම, දැනුම සහ කුසලතා රටේ අනාගත සංවර්ධනය සඳහා ප්‍රායෝගිකව භාවිත කිරීම, සිසුන්ගේ පර්යේෂණ හැකියාවන් වැඩි දියුණු කිරීම, සමාජ විද්‍යා පර්යේෂණවල නව ක්ෂේත්‍ර ගවේෂණය කිරීම, ජාතික සංවර්ධනය උදෙසා වන තරුණ උපාධිධාරීන්ගේ පර්යේෂණ කටයුතු සඳහා මග පෙන්වීම සහ සමාජීය විද්‍යා පීඨ උපාධි අපේක්ෂකයින්ට සිය අදහස් සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට විවෘත වේදිකාවක් නිර්මාණය කිරීමයි. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහභාගි වීමට නියමිතව තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා මහතා විසින් මෙම සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්. එම්. ගුණතිලක මහතා සම්මන්ත්‍රණයෙහි මුලසුන (Conference Chair) හොබවන අතර සමාජීය විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. ජී. අමරසිංහ මහතා සම්මන්ත්‍රණ කැඳවුම්කරු (Conference Converner) වශයෙන් කටයුතු කරනවා.
මේ පර්යේෂණ සමුළුව මඟින් ලැබෙන නව දැනුම ජාතික තලයට ගෙනයෑමේ වැඩපිළිවෙළක් තිබෙනවා ද?
පර්යේෂණ සමුළුවලදී විශ්වවිද්‍යාල සිසුන් හා ගවේෂකයන් සොයා ගන්නා නව දැනුම බොහෝවිට කතාබහකට සීමා වෙලා යනවා. ඒක ජාතික සංවර්ධනයට දායක වන්නේ නම් ඒ දැනුම ප්‍රායෝගික ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් යටතේ ගෙන යා යුතුයි. මෙම සම්මන්ත්‍රණයේදී විද්‍යාර්ථයින් ඉදිරිපත් කරන සියලුම පර්යේෂණ පත්‍රිකා ගවේෂණ සංග්‍රහය පර්යේෂණ සංක්ෂිප්ත ග්‍රන්ථ (abstract book) පර්යේෂණ මුදිත වාර්තා (proceedings) ආකාරයට සකස් කරනවා. එය මුද්‍රිත මාධ්‍යයෙන් සහ අනුවාදන ලෙස සකස් කර සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් වන නව දැනුම ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට යොදා ගත හැකිද යන්න පිළිබඳව තවදුරටත් සොයා බලනවා. මේ ඔස්සේ ලැබෙන වැදගත් නව දැනුම මාධ්‍ය හරහා සමාජයට හඳුන්වා දීමට සහ විශේෂයෙන් පොදු ජනතාවට තේරුම් ගත හැකි භාෂාවෙන් සරල වාර්තා හා නිවේදන නිකුත් කිරීමටත් විශ්වවිද්‍යාලය හැටියට අපි සූදානම් වෙනවා. පර්යේෂණ සමුළුවකින් ලැබෙන දැනුම පමණක් සම්මන්ත්‍රණ ගොනුවක සීමා වෙලා පවතිනවා නම් ඒක රටේ සංවර්ධනයට සෘජුවම දායක වෙන්නේ නැහැ. එම නිසා ජාතික තලයට ගෙන ගොස් ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒවා යොදා ගන්න ඕනේ.
සාකච්ඡා සටහන
රුවන් පුෂ්පකුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය.
Saru FM Media