මෙය භික්‍ෂුන් වහන්සේලා වැඩියෙන් අත්‍යවශ්‍ය යුගයකි…

0
6

කුරුණෑගල පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන භික්‍ෂුන් වහන්සේලා සත්නමක් උන්වහන්සේලා වැඩම කළ කේබල් ඩක්කුව කඩාවැටීමෙන් අපවත් වූ බව දැනගන්නට තිබේ. මේ ඩක්කුවේ ගමන් කළ හැකි උපරිම පිරිස පස් දෙනකු වුවද අනතුර සිදුවන අවස්ථාවේදී භික්‍ෂුන් වහන්සේලා දහතුන් නමක් එහි වැඩසිට ඇත. අපට හැඟෙන පරිදි ඩක්කුව කඩාවැටී ඇත්තේ එයට යොදා ඇති කේබල් එකේ නඩත්තුව නිසි සෝදිසියට ලක් නොකිරීම නිසා එය කැඩී යෑමෙන්ද? එසේ නැතිනම් ඩක්කුව මත සියයට එකසිය එකයි දශම දෙකකට වැඩි බරක් රැගෙන යෑම නිසාද? කෙසේ වෙතත් කාලවේලාවේ හැටියට එහි තිබෙන අවම පහසුකම් මත එහි ගමන් කිරීමට ඔවුනට සිදු වූ නිසාද? පෙරකී ආරණ්‍යයේ වැඩවාසය කරන භික්‍ෂුන් වහන්සේලා යාබදව පිහිටි කඳුමුදුනට වැඩම කිරීම සඳහා මේ කියන කේබල් ඩක්කුව යොදා ගනිති. එහි සුන්බුන්වල පින්තූර මාධ්‍යවල පළවිය. මේ පින්තූරවලට අනුව එම කේබල් ඩක්කුව ඉතා පැරණි සහ මළකඩ කෑ මළමඟුලකි. අනතුරින් තවත් භික්‍ෂුන් වහන්සේලා හයදෙනකු තුවාල ලැබූහ. මේ අපවත්වීම් සම්බන්ධයෙන් අපගේ සාතිශය කනගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිමු.

ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේලා යනු විහාරවාසී භික්‍ෂුන් වහන්සේලාට වඩා වෙනස් පිරිසකි. උන්වහන්සේලා ඉතා කටුක ජීවිත භුක්තිවිඳිති. උන්වහන්සේලා වාසය කරන්නේ ගල්ගුහා හෝ වෙනත් අබලන් කුටිවල ය. කිසිවකු විසින් දානයක් පිළිගැන්වුවහොත් හැර වෙනත් කිසිම අයුරකින් දානයක් ලබාගැනීමට උන්වහන්සේලාට අවසර නැත. උන්වහන්සේ නිරාහාරව වැඩම කරන්නේ නම් වනමඟෙහි වැටී තිබෙන ඉදුණු අඹයක් පවා වැළඳීම තහනම් ය. එය විනයානුකූල දානයක් වන්නේ කිසිවකු විසින් එය උන්වහන්සේට පිළිගැන්වුවහොත් පමණි. ඇතැම් ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේලාගේ කුටි තුළ බිස්කට් වැනි කෙටි කෑම ඇත. ඒවා දායකයන් විසින් පිරිනමන ලද ආහාර වර්ග ය. එහෙත් මේවා උදේ දානයට හෝ දවල් දානය පිණිස කිසිවකු විසින් නොපිළිගන්වන්නේ නම් උන්වහන්සේලා ඒවා නොවළඳිති. මහ කැලේ මැද දානය පිළිගැන්වීම පිණිස මනුෂ්‍යයන් නැත. එබැවින් ඇතැම්විට ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේලා දවස් ගණන් කුසගින්නෙහි පසුවෙති. බුදුන් වහන්සේ ආරණ්‍යවාසීව සිටින සමයේදී කිසියම් වන සතකු විසින් දඬුවැල් බෑයක් දානය වශයෙන් පූජා කළ බව ධර්ම ග්‍රන්ථවල එයි. තවත් විටෙක හස්තියකු විසින් උන්වහන්සේට උක්දණ්ඩක් පූජා කරන ලදී. මේ වනවිට එවැනි සිදුවීම් හට නොගනී. මේ නිසා ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේලාට සිදුවන්නේ ධර්මය පිණිසම දිවි පූජා කිරීමේ අදිටනින් නිරාහාරව සිටීමට ය.

ප්‍රවාහනය පිණිස ඩක්කු පාවිච්චි කළ යුගයක් ශ්‍රී ලංකාවේ තිබිණ. ඒ සුදු ජාතික අධිරාජ්‍යවාදීන් විසින් කඳු මුදුන්වල ඇති තේ වතුවල සිට කඳු පහළ ඇති ෆැක්ටරියට තේ එවීම සඳහා පාවිච්චි කළ ඩක්කු ය. කඳු මුදුනේ සිට තේ ෆැක්ටරියට අදින ලද යකඩ කේබලයක මේ ඩක්කුව එල්ලූ පසු එය රූටාගෙන පහළට යයි. එය නවතින්නේ තේ ෆැක්ටරි භූමියේ ය. මේ ඩක්කු ක්‍රමයේ වඩාත් දියුණු අවස්ථාව කේබල් කාර් ලෙස හඳුන්වනු ලැබේ. කේබල් කාර් එකක් යනු ඉතා දියුණු යාන්ත්‍රණයක් සහිතව, කඳු මුදුන් දෙකක් අතර සවි කරන ලද ඉතා ශක්තිමත් කේබලයක එල්ලී විදුලිබලයෙන් ගමන් කරන ප්‍රවාහන ඒකකයකි. මේවා කලාතුරකින් මිස කඩා වැටෙන්නේ නැත. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සමීක්‍ෂණ ලෙස බැලීමේ දී අවුරුද්දකට කඩාවැටෙන කේබල් කාර් ප්‍රමාණය 3% ක් ඉක්මවන්නේ නැත. හැබැයි ඒ 3% පවා කඩා වැටුණු විට ඒවායේ ගමන් කරන අයගේ බඩු බනිස් වේ. කේබල් කාර් එකක ගමන් කිරීම ත්‍රාසජනක ක්‍රියාවකි. මෙවැනි කේබල් කාර් සවිකිරීමේ ව්‍යාපෘති කිහිපයක්ම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ උත්සාහයක් තිබුණු නමුදු එම උත්සාහය කවදාවත් හරිගියේ නැත. ජනාධිපති ප්‍රේමදාස ආණ්ඩු කළ සමයේදී කතරගම වැඩසිටිකන්ද මුදුනට කේබල් කාර් ව්‍යාපෘතියක් දැමීමට උත්සාහයක් තිබිණ. එහෙත් එවකට වැඩසිටි කන්දේ සිටි නායක හාමුදුරුවන් වහන්සේ එයට බලවත් සේ අකැමැති වීම නිසා ව්‍යාපෘතිය නැවතිණ. කේබල් කාර් එකක් යනු දියුණු සංචාරක කර්මාන්තයක ලකුණකි. මේවා නවීන ලෝකයට අත්‍යවශ්‍ය දේවල් ය. එහෙත් හරියට නඩත්තු නොකළොත් කේබල් කාර් එකේ යන මිනිසා එක අතකින් මාරයා අල්ලාගෙන සිටින්නේ ය.. එවිට ප්‍රපාතයට වැටී මිනිහා නහී. කේබල් ඩක්කුව යනු කේබල් කාර් එක මෙන් කිසිදු සුව පහසුකමක් ඇති වාහනයක් නොවේ. අපට පෙනෙන පරිදි මෙම කතුවැකියට අදාළ කේබල් ඩක්කුව නූතන යාන්ත්‍රණයක කිසිදු සම්බන්ධයක් නැත. එහි තිරිංග හෝ සස්පෙන්ෂන් ඇති බවක් අපට නොපෙනේ. එසේම මේ කේබල් කාර් එක විදුලි මෝටරයකින් ක්‍රියාකරන බවක් ද අපට නොපෙනේ. එසේ නම් මෙය ඉතාම ප්‍රාථමික වාහනයකි. ආරණ්‍ය සේනාසනවල සිට ඇති තරම් දුක්විඳින භික්‍ෂුන් වහන්සේලාට මෙවැනි මර උගුලකින් ගමන් කරන්නට සිදුවීම ඛේදවාචකයකි. මේ වූ කලී මේ රටට වැඩි වැඩියෙන් භික්‍ෂුන් වහන්සේලා අවශ්‍ය කරන යුගයකි. බුදුන් වහන්සේගේ මෛත්‍රී චින්තාවේ සුභ පණිවිඩය රට තුළට ගෙන යෑමට සිල්වත් භික්‍ෂුන් අත්‍යවශ්‍ය ය. ඇතැම් විහාරවාසී භික්‍ෂුන් මෙන් අල්මාරි තුළ සල්ලි දමාගෙන සිටි හෝ සැප කාර් පැදීම ආරණ්‍යවාසී භික්‍ෂූහු නොකරති. ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේලා මුදල් ඇල්ලීමක් පවා කරන්නේ නැත. එවැනි සුසිල්වත් භික්‍ෂුන් වහන්සේලා පිරිසක් මේ ආකාරයෙන් අපවත්වීම ගැන අපි නැවත වරක් සාතිශය සංවේගය පළකරමු. උන්වහන්සේලාට උතුම් වූ අමාමහ නිවන් සැප ලැබේවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here