Friday, May 16, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මාතර එළියකන්දේ වෙසක් බලද්දී හදිසි අනතුරින් මියගිය පෙම් යුවළ එමල්සි හා...

මාතර එළියකන්දේ වෙසක් බලද්දී හදිසි අනතුරින් මියගිය පෙම් යුවළ එමල්සි හා මිලාන්

0
5


emelsi-and-milan-died-in-an-accident-while-observing-vesak-at-eliyakande-matara

වෙසක් සිරි නරඹමින් විනෝද චාරිකාවක නිරත වූ තරුණ පෙම්වතුන් දෙදෙනෙකු මාතර එළියකන්ද ප්‍රදේශයේදී සිදුවූ භයානක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ කනගාටුදායක සිද්ධියක් පසුගියදා (13) වාර්තා විය. තෙලිජ්ජවිල සතොස ආයතනයේ මුදල් අයකැමි ලෙස සේවය කළ කිරිමැටිමුල්ල, අලස්වත්ත පදිංචි වික්‍රමසිංහ ගමාචිගේ මිලාන් සමීර (30) සහ පොල්හේන කාසිවත්තපුර පදිංචි එදිරිසිංහ එමල්සි හවිෂ්කා ඩයස් (23) යන තරුණ පෙම්වතුන් දෙදෙනා මෙම අනතුරේදී ජීවිතක්ෂයට පත්වූහ.

“තාත්තා නැති වුණාට පස්සේ අයියා තමයි අපිව බලා ගත්තේ. මට ඉගෙන ගන්න උදව් කළෙත්, ගෙදර කටයුතු සොයා බැලුවෙත් ලොකු අයියා තමයි. ඊයේ උදේ අම්මා එපා කියද්දී තමයි අයියා ඇවිත් තියෙන්නේ. මට අයියා නැතිවුණා කියා ආරංචි වෙන විට මම හිටියේ වවුනියාව විශ්වවිද්‍යාලයේ. මගේ අම්මා හෘද රෝගියෙක්. අයියා නැතිවුණා කියලා ආරංචි වුණු ගමන් අම්මා ක්ලාන්තය දාලා ඇදගෙන වැටිලා. දැන් අම්මා ඉන්නෙත් මාතර මහ රෝහලේ. පවුල බලා ගත් අයියා තමයි අපට මේ නැති වුණේ,” යනුවෙන් මිලාන් සමීරගේ බාල සහෝදරයා වන වවුනියා විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පාඨමාලාවේ අවසන් වසර සිසුවෙක් සුසුම් හෙළමින් පැවසීය.
මාතර මූලස්ථාන පොලිසිය සඳහන් කරන අන්දමට සිද්ධිය වූයේ පසුගිය දහතුන්වැනිදා සවස 6.55ට පමණය. අදාළ දිනයේ පෙරවරුවේ, මිලාන් සහ එමල්සි යතුරුපැදියක නැගී වෙසක් සිරි නරඹමින්, දන්සල්වලින් ආහාර ගනිමින් විනෝදයෙන් සිටීමේ අරමුණින් ගමන ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, එදින උදෑසන ගෙදරින් පිටත්ව යාමට පෙර මිලාන්ගේ මව “අද නම් ඇවිදින්න යන්න එපා. අද සෙනඟත් වැඩියි. වාහනත් වැඩියි. ගෙදරට වෙලා ඉන්න” යැයි ඉල්ලා සිට ඇත. එහෙත් පෙර දින සැලසුම් කළ ගමන යාමට සිත් ගත් මිලාන් යතුරුපැදියේ නැගී වේගයෙන් මාතර දෙසට ගමන් කර ඇත්තේ පොල්හේනේ සිටින තම පෙම්වතිය වන එමල්සි හමුවීමටය.


අදාළ දිනයේ මිලාන් සහ එමල්සි විවිධ ගම්මානවලට ගොස් වෙසක් සිරි නරඹමින්, දන්සල්වලින් ආහාර ගනිමින් දිනය ගත කර ඇත. දවස ගෙවී ගොස් අඩ අඳුර වැටෙද්දී වැසි පොද ඇද හැළෙමින් තිබෙද්දී, ඔවුන් දෙදෙනා මාතර නගරයේ සිට වෙරළ පාර ඔස්සේ එළියකන්ද මාර්ගයෙන් දෙවිනුවර දෙසට ගමන් කරමින් සිටියහ.
මාතර දිසාපති මැදුරට ගමන් කරන ගේට්ටුව පසුකර බෑවුම් සහිත පෙදෙස දෙසට ගමන් කරද්දී මාතර සිට තිස්සමහාරාමය දෙසට ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් පසුකර යාමට මිලාන් උත්සාහ ගෙන ඇත. එහිදී යතුරුපැදිය මාර්ගයේ සුදු කඩ ඉරි මතින් ධාවනය කරද්දී, වැසි පොදට තෙමී තිබූ එම සුදු කඩ ඉරි මත ලිස්සා ගොස් යතුරුපැදිය එක් පසෙකට ඇද වැටී ඇත.
අවාසනාවකට, මිලාන් සහ එමල්සි බස් රථය දෙසට ඇද වැටුණු අතර මිලාන්ගේ හිස පැළඳ සිටි ආරක්ෂිත හිස් වැසුම ගැලවී විසිවී ඇත. එමල්සිගේ හිස් වැසුමද සහිතව ඇඳ වැටුණේය. ඒ සමඟ වේගයෙන් ධාවනය වෙමින් තිබූ බස් රථයේ පිටුපස රෝදය මිලාන්ගේ හා එමල්සිගේ හිස් හරහා ගමන් කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම ධාවනය වෙමින් තිබූ බස් රථය යටට හසුවී ඇත. බියට පත් බස් රථයේ රියදුරු එය නොනවත්වාම ඉදිරියට ධාවනය කර ඇති අතර අවසානයේ බස් රථය නතර කර ඇත්තේ ගන්දර පොලිසිය ඉදිරිපිටදීය.
අනතුරෙන් පසු මිලාන් සහ එමල්සි සිහිසුන්ව සිටියදී ප්‍රදේශවාසීන් හා මාර්ගයේ ගමන් කරමින් සිටි රථවාහනවල පිරිස් ඔවුනට උදව් කිරීමට උත්සාහ ගත්තද, ඒ වන විටත් ඇතිව තිබූ බරපතළ තත්ත්වය හේතුවෙන් සියලු දෙනා මැදිහත් වීමට බියෙන් පසුවී ඇත.
මේ අතර, 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරක් මත, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. සුදුසිංහ, රථ වාහන අංශයේ ස්ථානාධිපති සනත් රෝහිත ඇතුළු පොලිස් කණ්ඩායම් දෙකක් අනතුර වූ ස්ථානයට වහා ළඟා වී ඇත. පොලීසිය විසින් තුවාල ලබා සිටි මිලාන් සහ එමල්සි වහා මාතර මහ රෝහලට රැගෙන ගිය නමුත්, රෝහල වෙත ඇතුළු කරන විටත් දෙදෙනාම මියගොස් සිටියහ.


සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇති පරිදි, තෙලිජ්ජවිල සතොස ආයතනයේ මුදල් අයකැමි ලෙස සේවය කළ මිලාන් සමීර සහෝදරයන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහලා විය. ඔහුගේ පියා මියගොස් සිටි අතර, ඔහු තම මව සහ සහෝදරයින් සමඟ දිවි ගෙවමින් සිට ඇත.
එමල්සි හවිෂ්කා ඩයස් පෞද්ගලික ආයතනයක පරිගණක ශිල්පිනියක් ලෙස සේවය කර ඇති අතර, ඇය දූ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වූ අතර ඇයට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සිටිති. මවුපිය සෙවණේ හැදී වැඩුණු එමල්සිගේ හා මිලාන්ගේ ආදර සම්බන්ධතාවය මීට වසර එක හමාරකට පෙර එමල්සිගේ මවුපියන් දැනගෙන සිට ඇති බව පොලිස් විමර්ශන අනුව අනාවරණය වී තිබේ.
පොලිස් විමර්ශන වලින් හෙළිදරව් වූ අන්දමට, එමල්සි විසින් මිලාන්ට අවසන් වරට යවන ලද පෙම් හසුනක “ඕනෑම දෙයකට ඔයා මගේ ළඟ සිටින බව මට විශ්වාසයි. මමත් හැමදාම ඔයාගේ සෙවණැල්ල වගේ ඉන්නවා” යනුවෙන් සටහන් කර තිබී ඇත. මෙලෙස පෙම්වතුන් දෙදෙනා එකම අවස්ථාවක අවසන් ගමන් ගොස් ඇති අතර, එය ඔවුන්ගේ පෙම් සම්බන්ධයට යම් ආකාරයක පරිපූර්ණ අවසානයක් වූවාද යන්න ප්‍රදේශවාසීන් කතා බහට ලක්ව ඇත.
අනතුරෙන් පසු, ඊයේ පස්වරුවේ මාතර මහ රෝහලේදී පැවති පශ්චාත් හා හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මියගිය දෙදෙනාගේ දේහ ඔවුන්ගේ පවුල්වල භාරකරුවන්ට භාරදීමට පියවර ගෙන තිබේ. සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු වූ වීරවිල පදිංචි 47 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මාතර මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙම සිදුවීම විශේෂයෙන් වෙසක් උත්සව සමයේ සිදුවීම හේතුවෙන් මුළු ප්‍රදේශයේම ජනතාව අතර දැඩි කම්පනයක් ඇති කර ඇති අතර, වාහන ධාවනයේදී ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය මෙම සිදුවීම හේතුවෙන් නැවත වරක් අවධාරණය කර ඇත. විශේෂයෙන් වර්ෂාව පවතින අවස්ථාවල, මාර්ග තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වමින් වාහන පදවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මියගිය දෙදෙනාගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ නිවාස ප්‍රදේශවල දී සිදු කිරීමට නියමිත අතර, ඊට දෙදෙනාගේම පවුල්වල සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

gossiplanka image 1


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here