පාසල් තුළ ළමුන්ට සිදු කරනු ලබන ශාරීරික, මානසික හා ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් නොදීම පාසලේ කීර්ති නාමය ආරක්ෂා කිරීමේ අරමුණෙන් හෝ පැමිණිලිකාර පාර්ශවයන් අධෛර්යට පත් කිරීම වැනි විවිධ කරුණු නිසා සිදුවන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
ඒ අනුව එම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අපයෝජන අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.
යම් ළමා අපයෝජන සිද්ධියක් පාසල තුළ වාර්තා වූ වහාම විදුහල්පතිවරයා විසින් හෝ වගකිව යුතු පාර්ශවයක් විසින් ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කළ යුතුයි.
එමෙන්ම ළමා අපයෝජනයට සැකකරුවන් යැයි චෝදනා ලබන විදුහල්පතිවරු හෝ ගුරුවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
අවසාන නඩු තීන්දුව ලැබෙන තෙක් ඔවුන්ට තවදුරටත් ළමයින් සමග කටයුතු කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගැනීමට සහ අදාළ අධ්‍යාපන බලධාරින් වෙත උපදෙස් ලබාදිය යුතුයි.
එම වගඋත්තරකරුවන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පවත්වන අවස්ථාවලදී වින්දිත ළමයින් තවදුරටත් පීඩාවට පත් නොවන පරිදි එකී පරීක්ෂණ පැවැත්විය යුතු බවට අදාළ බලධාරින් දැනුවත් කළ යුතු වනවා.
එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් හෝ පොලීසිය මගින් ළමා අපයෝජනවල සැකකරුවන්ට එරෙහිව නීතිය බලාත්මක කරන විට පැමිණිලිකාර ළමයි පාසලෙන් ඉවත් කිරීම හෝ ළමයින්ට බලපෑම් සිදු කිරීම, එම ළමයින් කොන් කිරීම හෝ ලේබල් කිරීම යන අගතිගාමී ක්‍රියාමාර්ගවලින් වැළැකී සිටිය යුතු බවට අදාළ අධ්‍යාපන බලධාරින් දැනුවත් කළ යුතු බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙනවා.
කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචිව සිටි වයස අවුරුදු 16ක පමණ දැරියක් එම මහල් නිවාසයෙන් පැන පසුගිය අප්‍රේල් 29 වනදා සියදිවි හානිකර ගෙන තිබුණා.
ඇය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතවරයකට ලක් වී ඇති බවට අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 08 වන දින බම්බලපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව සිදුකල විමර්ශනයකින් අනතුරුව සැකකාර ගුරුවරයා පසුගිය ජනවාරි 08 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධියට අදාළ නඩුව ලබන 19 වනදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ද මතු වුණා. ඊට එරෙහිව පසුගියදා කොළඹ ස්ථාන කිහිපයකදී විරෝධතා ද පැවැත් වුණා.
මේ අතර අදාළ සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු ලබා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයට ලැබී ඇති පොලිස් ‘බී’ වාර්තාව පදනම් කර ගනිමින් අදාළ ගුරුවරයා අනිවාර්ය නිවාඩු යැවූ බවයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.
Saru FM Media