ඩොලර් බිලියනයේ වන්දිය ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් බැහැ කියයි

0
6

2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය සමග පැවති සංවාදයකදී එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂුමෙල් යෝස්කොවිට්ස් පවසා ඇත්තේ මෙම වන්දිය ගෙවීම කළහොත් එයින් පවතින සමුද්‍රීය සම්මුතීන්ට දැඩි බලපෑමක් ඇති කරන බවයි. එමෙන්ම සමුද්‍රීය වෙළෙඳාම්, නැව්ගත කිරීම් සහ ප්‍රවාහනය යන කටයුතුවලදී සිදුවන අනතුරු සඳහා සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව වන්දි ගෙවීම් සිදු කරන නමුත් මෙම වන්දි ඉල්ලීම අදාළ සීමාවන් පැන ඇති බවද ඔහු සංවාදයේදී පවසා ඇත. මෙම ගෙවීම කළහොත් එය අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයන බව ඔහු එහිදී පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ සිදු වූ හානිය සම්බන්ධයෙන් කනගාටු වන අතර මෙම අනතුර වෙනුවෙන් වන්දි ගෙවීම කිසිවිටෙකත් පැහැරහැරීමක් සිදු නොකරන නමුත් වන්දි ගෙවීම් සිදු කරන්නේ අදාළ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීම් මුදලක් ගණනය කිරීමෙන් පසුව බවය.

පසුගිය ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු වූ හානිය වෙනුවෙන් අදාළ නෞකා සමාගමට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසට නියම කර තිබුණි.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා තිබූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්‘ නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ 2021 මැයි මස 20 වැනිදාය. නෞකාව දිගින් මීටර් 186ක් සහ පළලින් මීටර 34කි.

චතුර පමුණුව

උසාවි නියෝගයට ගරු කරමින් එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් නියෝජිත සමාගම රු. මිලියන 300ක් ගෙවයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නමැති රසායනික පිරවූ නෞකාවෙන් සිදුවූ පරිසර විනාශයට වන්දි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ සිංගප්පූරු නැව් සමාගමට නියම කළ ඩොලර් බිලියනයක වන්දියක් ගෙවීමේ තීන්දුවට ගරු කරමින් “සී කොන්සෝර්ටියම් ලංකා” සමාගම මගින් ඉකුත් 22 වන විට ලංකා රුපියල් මිලියන 300ක මුදලක් මහා භාණ්ඩාගාරයට ගෙවා ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහතා නිවේදනය කරයි.

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් සමාගමේ දේශීය සමාගම වන මෙම ලංකා සමාගම අදාළ වන්දි මුදල 22 ගෙවා ඇත්තේ සැප්තැම්බර් මස 23දාට පෙර අදාළ වන්දියෙන් හතරෙන් එකක් ගෙවන ලෙස නැව් සමාගමට කරන ලද නියෝගයට අනුවය. සමාගම සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බැවින් ඩොලර් මිලියන 250ක මුදල වෙනුවට ලංකා රුපියල් මිලියන 300ක් ගෙවන බව එම සමාගම ඊයේ (23දා) පරිසර යුක්ති කේන්ද්‍රයට ලබා දී ඇති ලියවිල්ලක සඳහන් වෙතැයි විතානගේ මහතා ‘දිවයින’ට පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය මගිනි. නඩුව හෙට (25දා) යළි කැඳවීමට නියමිතය.

ජගත් කණහැරආරච්චි

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ගැන එ. ජා. කාර්යාලය කනස්සල්ලෙන්

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක වන්දිය ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම ප්‍රතික්ෂේප කිරීම ගැන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය කනස්සල්ල පළ කර තිබේ.

එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ හි පළ කරන ලද නිවේදනයක් මගින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසා තිබුණේ නෞකා සමාගම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කිරීම ප්‍රතික්ෂේප කිරීම ‘ඇත්තෙන්ම කනස්සල්ලට කරුණක්’ බවයි.

‘මිනිසුන්ට, වෙරළ තීරයන්ට සහ සමුද්‍ර ජීවීන්ට සිදු වූ හානිවල පරිමාණය සමාලෝචනය කරන ලෙසත්, එම ප්‍රජාවන්ට සහ පරිසර පද්ධතියට යුක්තිය තහවුරු කරන ලෙසත් අපි නැව් සමාගමෙන් ඉල්ලා සිටිමු’ යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here