උසාවියට අපහාස කළ හිටපු ආගමන විගමන පාලක වසර 2ක් හිරේ

0
7

ඊ වීසා සිද්ධියේදී ‘කැබිනට්’ තීරණය මතම රැඳෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර

නඩු තුනට වෙන් වෙන්ව නියම කළ වසර 3ක සිර දඬුවමෙන් රිමාන්ඩ් භාරයේ සිටි කාලයට වසරක් අඩුකරයි

ඉකුත් රාජ්‍ය සමයේ විද්‍යුත් වීසා ක්‍රමය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමේ කැබිනට් තීරණය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ඇතුළු නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23දා) වසර දෙකක සිරදඬුවමක් නියම කළේය.

ජනක් ද සිල්වා හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ලියා සකස් කළ එම තීන්දුව ඊයේ (23දා) විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024.08.22 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝග ඇතුළු නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් වගඋත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ ලෙස අපහාසයක් සිදුකර ඇති බවත් මොහු එකී නියෝග හිතාමතාම ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බව ඉදිරිපත් වූ කරුණු අනුව වහාම පෙනී යන බවත් සිය තීන්දුව නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කීය.

රටේ ඉහළම අධිකරණය පමණක් නොව ඕනෑම අධිකරණයක් විසින් ලබාදෙනු ලබන නියෝගයක් පැහැර හැරීම ඉතාම බරපතළ කරුණක් බවත් නීතියේ ආධිපත්‍යය සුරැකීමේ වගකීම පැවැරී ඇති තම අධිකරණයට එවැනි අවස්ථාවලදී නිහඬව සිටිය නොහැකි බවත් තීන්දුව නිකුත් කරමින් පැවසූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය එකී අතුරු තහනම් නියෝගය ඇතුළු නියෝග නිකුත් කර මාස එකහමාරක් ගතවන තුරුත් ඒ අනුව කටයුතු කිරීමට වගඋත්තරකරු කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධාරීන් ලබාදුන් සාක්‍ෂි අනුව සනාථ වන්නේ යැයිද කීය.

විද්‍යුත් වීසා ක්‍රමය පුද්ගලික සමාගම් දෙකකට පැවැරීමට පසුගිය රාජ්‍ය සමයේ කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි නව විද්‍යුත් වීසා ක්‍රමය බලරහිත කරනා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර පැරණි ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට පියවර ගන්නැයි 2024.08.22 වැනිදා එවකට ආගමන විගමන පාලකවරයා ලෙස කටයුතු කළ හර්ෂ ඉලුක්පිටිය මහතාට නියෝග කොට තිබිණි. එසේ නමුත් එකී නියෝග ක්‍රියාත්මක කර නොමැති බවට 2024.09.13 වැනිදා එකී පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අනාවරණයවීම නිසා හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණය හමුවට වහාම කැඳවමින් නියෝගයක් නිකුත් කළේය. නමුත් ඒ වනවිට ඔහු විදේශගතවී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එදින අධිකරණය විසින් ලබාදුන් නියෝගය ප්‍රකාරව හර්ෂ ඉලුක්පිටිය මහතා 2024.09.25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටියේය. පෙර නඩු දිනයේ අධිකරණය විසින් කරන ලද නියෝගයක් ප්‍රකාරව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඇතුළත් නඩු තුනක් වෙන් වෙන්ව ගොනු කිරීමට පියවර ගෙන තිබූ අතර පෙත්සම්කාර පාර්ශ්වය විසින් ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා කෙටුම්පත් තුන හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් විවෘත අධිකරණය හමුවේදී කියවා දුන්නේය. එකී චෝදනාවලට නිවැරදිකරු බව පැවසූ හර්ෂ ඉලුක්පිටිය මහතාව එකී නඩු තුන විභාග කොට අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රීති පද්මන් සූරසේන, කුමුදිනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එදින නියෝග කොට තිබිණි. ඉන්පසුව ඔහු ඇපමත මුදාහරින ලෙසට ඉදිරිපත් වූ ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කොට තිබූ ශ්‍රේෂ්ඨාධිකරණය පුරා වසරකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාර භාරයේ පසුවූ හර්ෂ ඉලුක්පිටිය මහතාට එලෙස සිරදඬුවම් නියම කළේය.

එකී නඩු තුනට වගඋත්තරකරුට වෙන් වෙන්ව වසර තුනක සිරදඬුවම් නියම කරනා බවත් ඔහු රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි කාලය වෙනුවෙන් ඉන් එක් වසරක් අඩුකර සෙසු වසර දෙකක සක්‍රීය සිරදඬුවමක් නියම කරනා බවත් එකී තීන්දුව මගින් පෙන්වා දුන්නේය.

මෙම නඩු තුන පසගිය ජූලි 1 වැනිදා කැඳවූ අවස්ථාවේදී අදාළ චෝදනාවලට තමන් නිවැරදිකරු යැයි පෙර කළ විත්තිවාචකය ඉල්ලා අස්කර ගන්නා බවත් තමන් එකී චෝදනාවලට වරද පිළිගන්නා බවත් වගඋත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට පෙන්වා දී තිබිණි. තමාට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් වන බව වටහාගත් වගඋත්තරකරු උපක්‍රමශීලීව වරද පිළිගෙන ඇති බවත් සිය තීන්දුව මගින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල වගඋත්තරකරු එකී ක්‍රියාව මගින්ද අධිකරණය නොමග යැවීමට තැත්කර අපහාසයක් සිදුකර ඇති බවද පේනවා දුන්නේය.

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ එම්. ඒ. සුමන්දිරන්, රවුෆ් හකීම් හා පාඨලී චම්පික රණවක එකී පෙත්සම් ගොනු කර තිබිණි.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට එවක අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළ අධිකරණයට අපහාසයක් වූ බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here