අනුර කුමාර දිසානායක මෙරටේ විධායක ජනාධිපති ධුරයට පත්ව වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සමාජ – දේශපාලන අංශවල උද්ගතව තිබෙන සංවාදය කිසිවකුට නොතකා හැරිය නොහැකි ය. ජාජබ ආණ්ඩුවේ හිතවතුන්, අනුගාමිකයන් ඒ සම්බන්ධයෙන් කෙරෙන ප්‍රශංසාත්මක විශ්ලේෂණ මෙන්ම විපක්ෂ නායක ඇතුළු අනෙක් අය විසින් දක්වන අදහස් හා විවේචන ද බොහෝ ය. අනුර කුමාර මේ රටේ ජනාධිපති වීමත් ඔහු නියෝජනය කරන ජාජබයත් සම්බන්ධයෙන් සමාජගත වී තිබෙන ප්‍රකට මෙන්ම ජනප්‍රිය අදහසක් ද වේ. ඒ වූ කලී, මෙරටේ දේශපාලන බලය හා එහි ආධිපත්‍යය හිමිව තිබුණු ප්‍රභූ තන්ත්‍රය පරදවා පොදු ජනතාවට සමීප නිර්ප්‍රභූ දේශපාලනයකට රාජ්‍ය බලය හිමිවීම ය. මෙයට පෙර අප විසින් ද සඳහන් කළ පරිදිම වමේ සන්නාමයක් සහිත අනුර කුමාර නායකත්වය දුන් ජාජබයට මෙරටේ රාජ්‍ය බලය හිමිවීම සම්ප්‍රදායි වැඩවසම් දේශපාලන ප්‍රභූවරුන්ට අත්වූ ඛේදජනක පරාජයකි. 1956දී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් වමේ සක්‍රීය දායකත්වය ඇතිව එදා පරාජයට පත් කරන ලද්දේ වරප්‍රසාද සහිත ප්‍රභූ පන්තියක බලයත් හිමිකාරත්වයත් ය. ඒ ඓතිහාසික ජයග්‍රහණය මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හැඳින්වූයේ බමුණු කුලයේ බිඳවැටීම ලෙස ය.
2024දී එනම්, පනස්හයේ සමාජ – දේශපාලනයෙන් පසු අනුර කුමාරගේ වමේ සන්නාමයක් සහිත දේශපාලන මෙහෙයුමකින් පරාජයට පත්වූයේ වික්‍රමසිංහයන් සඳහන් කළ ආකාරයේ බමුණු කුලයක් නොවේ. එය වූ කලී, අතිශය වංචා දූෂණවලින් කිලිටි වී ගිය චෞර වළල්ලක් ද සහිත අලුත් ධනපතියන්ගෙන් ද සමන්විත දේශපාලන බල අධිකාරයකි. කලකට පෙර ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර විසින් ඒ පෙළැන්තිය හඳුන්වන ලද්දේ ‘ඔටුනු පලන් චෞරයන්’ ලෙස ය. (1984 මැයි 10 ‘දිවයින’ කර්තෘව සිටි එඩ්මන් රණසිංහ මහතාට එවූ ලිපියක එසේ දැක්විණි). එසේම එය එදා බණ්ඩාරනායකට කතිරය ගැසූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ සංයුතියට ද වඩා වෙනස් ජනතා බලවේගයක් ද විය.
මේ අනුව ද අපගේ විශ්ලේෂණයට අනුව ද ජනාධිපති අනුර කුමාරගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර පිළිබඳ කතිකාව ගොඩනැඟිය යුත්තේ මේ සමාජ – දේශපාලන රාමුව පිළිබඳ යථා අවබෝධයකින් ද යුතුව ය. ජනාධිපති අනුරගේ වසරක කාලසීමාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ විවේචනය වී ඇත්තේ, අද වනවිට මෙරටේ සියයට පනහකින් දුප්පතුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොසින් තිබෙන බව ය. ගොවියන්ට, ධීවරයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට ද අභාග්‍ය සම්පන්න ජීවිත හිමිව තිබෙන බව ය. රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරන බව පැවසූ මාලිමාවේ නායකයන් අද ඔවුන්ට දක්වන ප්‍රතිචාරය කනගාටුදායක බවද සජිත්ගේ අනෙක් විවේචනයයි.
ජනාධිපති අනුර කුමාරගේ වසරක පාලන කාලය තුළ මේ රටේ ජනතාවට ජයග්‍රහණ රැසක් අත්පත් කර දී තිබෙන බව ආණ්ඩුවේ කාර්යසාධන වාර්තාවලින් ප්‍රකාශයට පත් කර තිබේ. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, විදේශ වත්කම් ඉහළ නැංවීම, උතුරේ ඉඩම් නිදහස් කිරීම, මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයේ විශේෂ ජයග්‍රහණ ජනතාවට ලබාදීම, ආර්ථික විනය හා මූල්‍ය ස්ථාවරත්වය, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම, ජාතික ඒකාබද්ධතාව හා සංහිඳියාව උදෙසා කැපවීම මෙන්ම ත්‍රස්තවාදී පනත අහෝසි කිරීම සඳහා පනතක් ගෙනඒම ආදී කරුණු රාශියක් එහි ඇතුළත් කර තිබේ. එසේම දූෂණ වංචා, අල්ලස් ආදියෙන් චෝදනා ලත් මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් නීතිය ඉදිරියට ගෙනඒමට ද ආණ්ඩුව සමත්වූ බවද මේ කාලයේ ප්‍රමුඛ මෙන්ම වටිනා ක්‍රියාන්විතය ලෙස ද හැඳින්විය යුතුය.
දේශපාලන බලය, රාජ්‍ය බලය සම්බන්ධයෙන් කෙරෙන අර්ථකථනයේදී එය හිමිකාරත්වයක් නොව භාරකාරත්වයක් ලෙස හැඳින්වේ. එහෙත් මෙරටේ සිදුවූයේ භාරකාරත්වයට පත්ව හිමිකාරත්වයේ හොර ඔප්පුවක් ලියාගෙන ජාතික සම්පත් මංකොල්ල කෑමකි. ඒ හොර නඩවල දූෂණ – වංචා හෙළිකර ගැනීමට මේ ආණ්ඩුව නොපැකිළිව ක්‍රියාකිරීම පැසසිය යුතු සද්ක්‍රියාවකි. ඇමැති පවුල් පිටින් නීතිය ඉදිරියට පමුණුවනු ලැබ සිටියි. ඉතිහාසයේ ප්‍රථමවරට ජනාධිපතිවරයකු ලෙස ක්‍රියාකළ ප්‍රබල දේශපාලන චරිතයක් වන රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් ද ආණ්ඩුව තහවුරු කළේ නීතියට උඩින් කිසිවකු නොමැති බව ය.
දේශපාලනඥයන්ගේ සෙවණ යට මෙරටේ බොහෝ අනීතික ක්‍රියාකාරකම් සිදුවන බව කව්රුත් දනිති. එසේම ජාතික ධනයෙන්ම දේශපාලනඥයන් නඩත්තු කිරීම සම්බන්ධයෙන් ද ජනතාව තුළ ඇත්තේ විරෝධයකි. ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමෙන් ඉතිරි කරගත් මුදල රටේ ජනගහනයෙන් බෙදා දක්වන දේශපාලන ගණිතඥයන් ගැන අපට ඇත්තේ නිර්දය විවේචනයකි. මේ මොන වර්ගයේ චරිතද? මේ ආකාරයෙන් ජනතාව මුළා කිරීම දේශපාලන බංකොලොත්කමට වඩා අමනකමකැයි නොපෙනේද? මහින්ද, රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රි හා ගෝඨාභය පිළිබඳ අප හැම කෙනකුටම විවේචනයක් තිබේ. ඔවුන්ගේ සාධනීය ක්‍රියා සමග අපට ද එකඟ විය හැකි ය. එහෙත් ඔවුන් විසින් සිදු කරන ලද නිෂේධනීය ක්‍රියාකාරකම් මේ රටට සිදු කරන ලද විනාශයන් ද අපට පෙනේ.
මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් පිළිබඳ සංවාදය විපක්ෂයට අලුත් උත්තේජනයක් ලබාදෙන ආකාරය ජනතාව ද දකිති. ඒ අණපනත් සම්මත කර නීතිය බලාත්මක කළේ අප නොවේදැයි විමසන අය ද සිටිති. ජවිපෙ සහෝදරවරුන් ‘ජයශාන්ත අයියා’ පමණක් නොව ජනතාවම රවටනු ලැබ ඇතැයි චෝදනා කරන අය ද සිටිති. ජාජබයේ පැහැදිලි කිරීම්, විපක්ෂයේ විවේචන ආදී හැම දෙයක්ම කිරා බලා දේශපාලනය ගැන සවිඥානික නිගමනවලට එළැඹීම ජනතාවට භාර වූවකි. මෙරටේ කීප වරක්ම අගමැති ධුරය හෙබවූ ඩඩ්ලි සේනානායක, ඇමැතිවරයකු වූ ඇම්.ඩී. බණ්ඩා ආදීන්ගේ අව්‍යාජ, නිරහංකාර දේශපාලන පරමාදර්ශ ගැන රටම දනී. මාධ්‍ය හමු කැඳවා දෙසාබාන චරිත බොහොමයක ඇතුළත කෙබඳුදැයි දන්නා ස්වල්ප දෙනෙක් හෝ මෙරටේ සිටිති.
මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ වත්කම් ගැන අභියෝග කිරීමට කිසිවකුට බාධාවක් ද නැත. දේශපාලන සදාචාරය වෙනුවෙන් පෙනීසිටීම යහපත් දෙයකි. එහෙත් දේශපාලනයෙන් අගතියට ගිය අයත්, එයින් මඩි තර කරගත් අයත් අනිත් අයට ඇඟිලි දිගු කිරීම ප්‍රකට උපමාවෙන් පැවසුවහොත් ‘මුට්ටියේ කළු පාට ගැන හට්ටිය හිනාවීමක්’ පමණි. මේ ලියන මොහොත වනවිටත් වත්කම් – බැරකම් වාර්තා ලබා නොදුන් හිටපු ඇමැති – නියෝජ්‍ය ඇමැති හා නිලධාරීන්ගේ ලැයිස්තුවක් ද ප්‍රකාශයට පත්වී තිබේ. එසේම නිසි පරිදි ඒ වත්කම් ලබාදී නැති කීපදෙනෙක් ගැන ද වාර්තා වේ. ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම ආදී දුප්පතාට දෙන සහන හොරා කෑ අය ද සිටිති. වසර ගණනක් නීතිය ක්‍රියාත්මක නොවූ අලි හොරු ද දැන් දඬුවම්වලට යටත් කර සිටිති. ඒවා මේ ආණ්ඩුවේ හපන්කම් නොවූවද අද රටේ නීතිය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟී තිබෙන බවද කිව යුතු ය. කොහොමටත් මේ ආණ්ඩුව ක්‍රියාකළ යුත්තේ මේ වන විට සම්මත කර තිබෙන නීති රාමුව තුළ ය. ආණ්ඩුව අලුතින් සම්මත කළ නීති අතර ඇත්තේ හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීම වැනි කීපයක් විය හැකි ය. ත්‍රස්තවාදී පනත අහෝසි කිරීම පවා තවම පොරොන්දුවක් පමණි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද තවමත් ගාටමින් තිබෙන ව්‍යාපෘතියකි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු, තකහනියේ කඩිමුඩිය් කළ නොහැකි දෙයක් බව සැබෑ ය. එබඳු බැරෑරුම් කාර්යයක් සඳහා උචිත බුද්ධිමය සම්පත්, විශේෂඥ උපදෙස් නිවැරදිව හඳුනා ගෙන ඒ අභියෝගයට මුහුණ දිය යුතු ය. එහෙත් මේ කාර්යයේදී එබඳු තත්ත්වයක් තිබුණු බවක් නොපෙනුණි. මෙහිදී එම ක්ෂේත්‍රයෙහි විවිධ නියෝජනයන් හඳුනා ගැනීම ද වැදගත් ය. අප බොහෝ දෙනෙක් පැහැදිලිව දන්නා පරිදි මේ රටේ නිදහස් අධ්‍යාපනය යනු, විවාදයකට හොඳම මාතෘකාවකි. අපේ අධ්‍යාපනයේ මුදුන නැතහොත් ඉහළම තට්ටුවට අයත් වන්නේ යම් ප්‍රමාණයක හෝ වරප්‍රසාදිත දරුවෝ ය. එහි පත්ල ග්‍රාමීය හා දරිද්‍රතාවේ කටුකත්වය උරුම කරගත් දරුවන්ගෙන් සැදුණකි. මැද කොටස සාමාන්‍ය දරුවන්ගෙන් යුතු ය. සුපිරි පාසල් සඳහා නිත්‍ය හිමිකම් ලැබෙන ආකාරයට සම්මත කරගත් විධිවිධාන, එකඟතා ද වෙනම තිබේ. පහේ ශිෂ්‍යත්වයට ද ඒවායේ ඉඩක් වෙන් වී තිබේ. පළමුවැනි ශ්‍රේණියට දරුවකු ඇතුළත් කරගැනීමේ ක්‍රියාදාමය විස්තර කිරීමට පොතක් ලිවිය යුතු ය. ලංකාවේ සමාජ අසාධාරණයේ හා විෂමතාවේ ශෝකාන්තය එතැනින් පටන් ගනු ලැබේ. කොහොමටත් මෙරටේ අධ්‍යාපනය ඇති හැකි අයට හා වෙනම විශේෂ කණ්ඩායම් (ආදි සිසු, උසස් නිලධාරි, දේශපාලන ධනය හිමි) සතු හිමිකමකි. ප්‍රධාන නගර, උපනගර හා ග්‍රාමීය ආදී ප්‍රභේදවලට අයත් පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෛවය, ඉරණම මොනතරම් වෙනස් හා සරදම් සහිත එකක්දැයි ජනතාව ද දනී. අධ්‍යාපනයේ පහළම කොටසට අයත් බහුතරයක් සමාජගත වීමෙන් පසු යොමුවන ජනප්‍රියම වෘත්තිය ත්‍රීවීල් රියැදුරන් වීම ය.
උසස් අධ්‍යාපනය, ප්‍රාථමික හා ළදරු (මොන්ටිසෝරි) අධ්‍යාපනය ගැන යහපත් සැලසුම් මෙන්ම නවීන පාඨමාලා භාෂා, අධ්‍යයනය වැනි දේවල් ගැන ද අලුතින්ම සිතිය යුතු ය. විශ්වවිද්‍යාල බුද්ධි පරිහානියේ කේන්ද්‍ර බවට පත් වෙමින් තිබෙන බවක් ද සමහරු කියති. නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය ඇතුළු ජනතාවට හිමිවිය යුතු මූලික හිමිකම් අද අහිමිවෙමින් තිබේ යැයි පැවසීමට ඉක්මන් විය යුතු නැත. විපක්ෂයේ බොහෝ විට කෙරෙන සිල්ලර දේශපාලන විවේචනවල තත්ත්වයට අපි වැටිය යුතු නැත. කිසිදු හරිහමං අධ්‍යාපනයක් තබා විනයක්, සදාචාරයක් නැති ඇතැම් දේශපාලන පංචස්කඳු වැනි හිස් මිනිසුන්ගේ විවේචන ගනන්ගත යුතු නැති වුවද තවමත් මේ ආණ්ඩුව දෙස අපේක්ෂාවෙන් බලා සිටින ජනතා හඬට කන්දීම ද ආණ්ඩුවේ වගකීමකි. තවමත් කථානායකවරයකුගේ ආචාර්ය උපාධිය ප්‍රශ්න කරන අය ද සිටිති. එහෙත් ජනතාවගේ ප්‍රශ්න ඒවාට බෙහෙවින් වෙනස් ය.
රටේ ඉහළින්ම සිටින්නේ ආචාර්ය මහාචාර්යවරු ද එසේත් නැත්නම් ලපයි සිපයි යන විශේෂණයෙන් හැඳින්විය හැකි අය ද යන්නත් අපට අදාළ නැත. දේශපාලන සදාචාරයක් සහිත, විනයක් සහිත පාලන තන්ත්‍රයක් රටට අවශ්‍යව තිබේ. මේ ආණ්ඩුවේ බහුතරය දේශපාලනයට සම්බන්ධ වූ අය වුවද රටේ නීතිය හදන, රට කරවන ආයතන මෙහෙයවීම වැනි දේවල්වලට ආධුනික බව රහසක් නොවේ. ජනාධිපතිවරයා හා ඇමැතිවරු තර්ජනය කරතියි විපක්ෂයේ සමහරුන්ගේ චෝදනාවකි. වැඩ කිරීමට නොහැකි, යමක් අලුතින් හිතීමට ද බැරි අය ගෙදර යායුතු යැයි කීම වැරදි නැත. රාජ්‍ය ආයතන වැඩි හරියක්ම පිරී ඇත්තේ වැඩක් නොකරන, පඩි කන අයගෙන් බවද ඇත්ත ය. ඇමැතිවරයකුගේ ඉල්ලීමක් වුවද ඔව්හු තඹයකට මායිම් නොකරති. වෙනස් වීමට අකැමැති, අකීකරු රාජ්‍ය සේවකයන් සමග මේ ගමන යාමට ද බැරි ය.
ජනාධිපතිවරයාගේ වසරක ශේෂ පත්‍රයෙහි අනිවාර්යෙන්ම ඉටු කළ යුතු වැදගත්ම දේවල් ද තිබේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැනි බරපතළ ප්‍රතිසංස්කරණයන් ය. දේශපාලන වරප්‍රසාද අහෝසි කළ ආකාරයටම මේ රටට නොගැළපෙන, දූෂණයට – වංචාවට විවෘත වූ මනාප ඡන්ද ක්‍රමය ද වෙනස් විය යුතු ය. මේ රටේ තිබෙන ජාතික ලැයිස්තු ක්‍රමයම අන්ත දූෂණයකට විවෘත වූවකි. මන්ත්‍රීකම් විකිණෙන කතා ද ඇසෙයි. මුදලට පිල් පනින ක්‍රමය ද තවම සක්‍රීය වූවකි. දේශපාලන සංස්කෘතියක් සඳහා ඒ හැම දෙයක්ම අත්‍යවශ්‍ය ය. ජනතාවට ලස්සන හෙටක් දිය හැක්කේ මේ සියලු අවලස්සන සම්මතයන්, පුරුදු පුහුණු හා ඇබ්බැහිකම් ද අහෝසි කිරීමෙන් පමණි.
මේ ආණ්ඩුව කිතුනු ප්‍රජාවටත් රටටත් ලබාදුන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළි කිරීමේ අභියෝගය තවම ජයගෙන නැත. ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට ජිනීවා ගිය වින්දිතයකුගේ පුවතක් ද ඇසුණි. ඔහු පවසා තිබුණේ, ඒ කාර්ය ඉටු කරදීමේ උද්‍යෝගය අඩුවී ඇති බවකි. මේ සම්බන්ධයෙන් කිතුනු ප්‍රජාවගේ ද අපේක්ෂා සසල වී තිබෙන බවක් ද පෙනේ. ආණ්ඩුවට මේ කාර්යය සැඟවීමට හෝ වසං කිරීමට වුවමනාවක් ඇතැයි කිව නොහැක. එහෙත් ජිනීවා ගොස් අයදින යුක්තිය මේ රටින් ලබාදීමට ආණ්ඩුව බැඳී සිටියි.
මේ ආණ්ඩුව පාණ්ඩුක්දැයි හිටපු ජනාධිපතිවරයකු වූ මහින්ද අසා තිබුණි. ජනාධිපති ධුරයෙන් රටට වැඩ කළ හැකි ආකාරය ද ඔහුගෙන් ඉගෙනගත යුතු යැයි පවසන අය ද සිටිති. විපක්ෂ නායක සජිත්ගේ විවේචනය වෙනස් ය. ඔහු සඳහන් කරන ආකාරයට මේ ආණ්ඩුව ගැන විශ්වාසය තබා බලය ලබාදුන් පොදු ජනයාගෙන් බහුතරය ඔවුන්ට වහ කදුරු වී ඇතැයි කිව හැකිද? විපක්ෂ නායක සජිත් ගොවියන් ආමන්ත්‍රණය කරයි. ගොවි දුක් අසයි. එය අගය කළ යුතු ය. ඒ ගොවියන්, ධීවරයන් වැඩකරන ජනයන් අතර මේ ආණ්ඩුව විවේචනය කරන අය සිටිත් නම් එය ආණ්ඩුවේ වරදකි. අඩුවකි. වී ගොවියාගේ ගැටලු විසඳිය යුතු ය. වගා හානි කරන රිළවුන් ආදී සතුන්ගෙන් ඒ වගා රැකදිය හැකි මගක් පෙන්වා දීම ද කෘෂිකර්ම ඇමැතිලාගේ වගකීමකි. වන අලි, සම්පතකි. විවාදයක් නැත. එහෙත් ඒ අලින්ට මාරයා ආවේශ වී, කරන විනාශය නැවැත්විය යුතු ය.
අපේක්ෂා භංගත්වයට පත්ව දිවි නසාගැනීමට පුරවැසියන් පෙලඹීම හොඳ දෙයක් නොවේ. මේ මරණ හෙට අනිද්දා දේශපාලනය වෙනුවෙන් භාවිත විය හැකි ය. එහෙත් ප්‍රශ්නය එය නොවේ. සුබසාධන ආර්ථිකයක සහනයවත් නොලබන අන්ත දිළිඳු කොටස් තවම ගම්වල සිටිති. උඩුදුම්බර, දඹගහපිටියේ වස බී දිවි නසාගත් අම්මාත් නොකල්හි ජීවිතයෙන් සමුගත් තාත්තාත් සමාජයට දුන් දුක්බර පණිවුඩයට අමතරව සමාජය මත තබා ගිය ජීවිත තුනක් ද වේ. කුහුඹුවකුට තරම්වත් වරදක් නොකළ ඒ දරු තිදෙනා රූපවාහිනියෙන් දුටු සීතල හදවත් ඇත්තෝ ඉකි ගසා හැඬූහ. අම්මා දුන් අමුතු කිරි කෝප්පය තිත්ත නොවන්නට මේ දරුවන් ද මළවුන් අතර ය. මේ විපතට පත් දරු පවුල වෙනුවෙන් උඩුදුම්බර පොලිසියත් ඒ රෝහලත් දැක්වූ කාරුණික සේවාවන් ගැන ද මාධ්‍යවල සඳහන් විය. මේ දරුවන් ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව ද වාර්තා වී තිබේ. ළමා කටයුතු භාර යහපත් ඇමැතිතුමියටත් මේ දුක කියමු.
අවසන් වශයෙන් දින කීපයකට පෙර (20දා) පැවති එජාපයේ 79 වැනි සංවත්සර උළෙලත් සමග යළිත් මතු වී තිබෙන සමාජ – දේශපාලන කතිකාව ගැන ද යමක් කිව යුතු ය. ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ද ප්‍රථම අගමැතිවරයා බිහිකරමින් ද දශක හතකටත් වැඩි සාඩම්බර දේශපාලන උරුමයකට හිමිකම් කියන එජාපය මේ වනවිට පත්ව තිබෙන තත්ත්වය ගැන එහි නායක කාරකාදීන්ට සතුටු විය හැකිදැයි අපි නොදනිමු. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් ඛේදනීය පරාජයක් හිමි වූ එජාපයට වත්මන් පාර්ලිමේන්තුවේ හෝ නියෝජනයක් නැත. සිය පක්ෂයේ නමත් ලකුණත් දෙකම හැර ගෑස් සිලින්ඩරයක් සමග ජනතාව ඉදිරියට ගිය එජාප නායකයාගේ පක්ෂයට ලැබුණේ එක අසුනක් හා ජාතික ලැයිස්තු නියෝජන 2ක් පමණි. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද ඒ පක්ෂය මෙන්ම මෙරටේ අනෙක් පැරණිම පක්ෂය වන ශ්‍රීලනිපය ද අද ගමනක අවසානයේදැයි සිතේ.
කුමක වුවත් එජාප – ශ්‍රීලනිප මෙන්ම යන්තම් ජාම බේරාගත් පොදුජන පෙරමුණ හා එජාපයෙන් බිඳී ආ සජබය ද අද අලුත් දේශපාලන තේමාවක් ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කරන බව ද කියති. ජනාධිපති එක්ව වසරක් පිරෙන විට සීසීකඩ විසිවී ගිය විපක්ෂය එක පෙරමුණකට සංවිධානය වී ආණ්ඩුවට අභියෝගයක් එල්ල කිරීමට ඔව්හු සමත් වෙත්ද? හිටපු ජනාධිපති රනිල් සමග පෙරට යෑම සඳහා ඔහුත් සමග එදා දේශපාලන පොර ඇල්ලූ පිරිස් ද එක්ව සිටිති. කුමක් වුවත් සජිත් හා නාමල් ඒ වේදිකාව ගොඩ නොවූහ. එහෙත් ඔවුන්ගේ පක්ෂ දෙකෙහිම මහ ලේකම්වරු එයට එක්ව සිටියහ.
මේ ඒකාබද්ධ විපක්ෂයෙහි තේමා පාඨය වී ඇත්තේ, ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කිරීමත් බහු පක්ෂ ක්‍රමය රැකගැනීමත් බව සඳහන් වේ. 1948දී ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකගත යුතු කාලය එළැඹ තිබෙන බවද ඒ වේදිකාවෙන් ඇසුණි. රට ඉදිරියේ භයානක තත්ත්වයක් තිබෙන බවත් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කරන පාලකයන්ට එරෙහිව පෙළ ගැසිය යුතු බවත් තවත් කෙනෙක් කීහ. මේ අය පවසන ව්‍යවස්ථාපති ඒකාධිපතිවාදය මෙරටේ ස්ථාපිත කළෝ කවරහුදැයි වෙන වෙනම නිවී සැනසිල්ලේ සිතා බැලීම ද උචිත ය. ඒ බලය, අධිපතිවාදය භාවිත කරමින් තම තමන්ගේ නායකයන් ක්‍රියාකරද්දී තුෂ්ණීම්භූතව සිටි අයත් ඇතැම් ජනතා විරෝධී ක්‍රියාවන් අනුමත කළ අයත් මේ ඒකාබද්ධ විපක්ෂයේ සිටිත් ද යන්නත් විමසා බැලීම ජනතාවට භාර වූවකි.
ජනාධිපති අනුර කුමාර මේ වනවිට සිටින්නේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගි වීමට සූදානම්ව ය. රට වෙනුවෙන් ඔහු කරන කතාව කුමක් විය හැකිද? විපක්ෂය ද ඒ ගැන කුහුලින් සිටිනු විය හැකි ය. එහෙත් ලංවිමය නම් සිටින්නේ වෘත්තීය සටනකින් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් තම බලය පෙන්වීමටද?
ගාමිණි සුමනසේකර
Saru FM Media