ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයෙකුට දඬුවම් 

0
6


හත් හැවිරිදි සිය දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය  අනුමැතිය ලබාදීම සඳහා තිස් හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවි නැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20 ක් සිර දඬුවම් නියම කළා.

එහෙත් එම සිර දඬුවම වසර 10 කින් ගෙවී යා යුතු බවත් තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළා. 

ඊට අමතරව විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කළා.

එමෙන්ම විත්තිකරුට රුපියල් 20000/- දඩයක්ද නියම කෙරුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරු රජයේ නිලධාරියෙකු වශයෙන් තම වගකීම ඉටු කිරීම සඳහා මේ ආකාරයෙන් අසරණ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. 

මෙම වරදේ බරපතලභාවය සැලකිල්ලට ගැනීමේදී ලිහිල් දඬුවම් නියම කිරීමට හැකියාවක් නොමැති බවත්  ඒ අනුව මෙම දඩුවම නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා

2015 වසරේ මාර්තු මස 31 වනදා වකුගඩු ආබාධයෙන් පෙළන සිය හත් හැවිරිදි දරුවාට සැත්කමක් සිදු කිරීම සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය  අනුමැතිය ලබාදීම සඳහා තිස් හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා  ඇයව තිස්සමහාරාම  ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේදී රුවන් මදුශංක නමැති විත්තිකරු අල්ලස් කොඩිසමේ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන තිබුණා. 

ඉන් අනතුරුව මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින්  කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුර තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බව නියෝග කලා. 

ඒ අනුව මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here