සියලු දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

0
4


පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ එම දැනුම්දීම සිදුකරන බවයි.

මේ අතර කාන්තා නියෝජනය පිළිබඳව තීන්දු කිරීමෙන් පසු පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වූ සභික නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

පක්ෂවලින් තෝරාගත යුතු කාන්තා සභික සංඛ්‍යාව තීන්දු කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ. 

ඔහු සඳහන් කළේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25ක් විය යුතු බවයි.
 

ඒ අනුව ජයග්‍රහණය කළ පක්ෂවල ඡන්ද ප්‍රතිශත මත සූත්‍රයක් හරහා පක්ෂවල කාන්තා නියෝජිත සංඛ්‍යාව පිළිබඳව තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. 

ඔහු පැවසුවේ ඉන් අනතුරුව අදාළ කාන්තා නියෝජිතවරියන් නම්කර එවන්නැයි දේශපාලන පක්ෂවලට දැනුම්දෙන බවයි. 
 

ඊට අදාළ සියලු කටයුතු අවසන් වූ පසු 2025 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභික නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරන බවද සභාපතිවරයා සඳහන් කළා. 
 

සභාපතිවරුන්, උප සභාපතිවරුන් ඇතුලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරෙන්නේ ඉන් අනතුරුව බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගැසට් නිවේදන කිහිපයක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here