සීනිමෝදර නිවසක තුන්දෙනාගේ මරණ ඝාතනද?

0
7

නිවසේ තිබූ බට්ටා රථයෙන් අයිස් මත්ද්‍රව්‍යයත් හමුවෙයි
නිවස අයිස් මත්ද්‍රව්‍ය හදන තැනක්

‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනාගේ අබිරහස් මරණ පිළිබඳව පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එක් පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් මියගොස් ඇත්තේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් බවට හෙළීවී තිබේ.

එම නිවස පරීක්‍ෂා කිරීමේදී හමුවූ අනෙක් මළසිරුරු දෙක විෂ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් ද එසේත් නොමැති නම් ඝාතනය කිරීමක් ද යන්න පිළිබඳව ද පොලිස් පරීක්‍ෂණ ආරම්භ වී ඇත.

මෙසේ මියගිය තිදෙනාම තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පුත්‍රයකු විසින් තම පියා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබුණේ හදිසි රෝගී තත්ත්වයක් ඇතිවූ බව කියමින්ය. එසේ රෝහල්ගත කළ පියා පසුව මියගොස් තිබිණි.

මරුමුවට පත්වූ පුද්ගලයාගේ පුත්‍රයා ඒ පිළිබඳව තංගල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එහි නිලධාරීන් මෙම පුද්ගලයා රැඳී සිටි නිවස ඊයේ පෙරවරුවේ පරීක්‍ෂා කර ඇත.

එහිදී එම නිවස තුළ වැටී මියගොස් සිටි තවත් පුද්ගලයන් දෙදෙනකුගේ මළසිරුරු පොලිසියට සොයා ගැනීමට හැකි විය. එම පුද්ගලයන් දෙදෙනා එහි මත්පැන් පානය කරමින් සිට ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

එම නිවසේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් රසායන ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් ද පොලිසිය පසුව සොයාගෙන ඇත. මේ අතර නිවස ඉදිරිපිට නතර කර තිබූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරියක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ප්ලාස්ටික් ඇසුරුම් දහයක් සොයාගෙන ඇත. එක් ඇසුරුමක තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගැනීමට පොලිසියට හැකිවිය. සෙසු පෙට්ටිවල තිබූ ‘අයිස්’ මත්ද්‍රව්‍ය බවට සැකකරන ද්‍රව්‍ය දියවී ගොස් තිබී ඇත.

පොලිසිය සැකපළ කරන්නේ මෙම නිවස තුළ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදා හරින්නට ඇති බවයි.

මෙම පුද්ගලයන් තිදෙනා මිය යන්නට ඇත්තේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා විෂ රසායන ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වීමෙන් බවට පොලිසිය සැක පළ කරයි.

මෙම නිවස තුළ නිෂ්පාදනය කළ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ලොරි රථය මගින් බෙදා හරින්නට ඇති බවටද පොලිසිය සැකකරයි.

මෙම නිවස මීට මාස කිහිපයකට පෙර විකුණා දමා ඇති අතර එය මිලදී ගත් පුද්ගලයා නිවස අලුත්වැඩියා කිරීම ආරම්භ කර ඇත. මෙම ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ ජාලයට තවත් පිරිසක් සම්බන්ධ වන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු හා නුවන් ජයසේකර – සූරියවැව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here