මේ දැවැන්ත ජන ගඟ කියන්නේ, මේ ආණ්ඩුවට අත තියන්න කිසිවකුටත් බැරි බවයි ! – ටිල්වින් සිල්වා සහෝදරයා

0
5


මේ දැවැන්ත ජන ගඟ කියන්නේ, මේ ආණ්ඩුවට අත තියන්න කිසිවකුටත් බැරි බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ගාලුමුවදොර පිටියේ ඊයේ (01) පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් මැයි දින රැලිය ඇමතූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ශක්තිමත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා,
“ජාත්‍යන්තර මැයි දිනය සමරන්න රටේ නන්දෙසින් ගෝල්ෆේස් පිටියට පැමිණි ජනතාව ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ලබා දී තිබෙන පණිවුඩය තමයි, අපි ආරම්භ කර තිබෙන මේ ගමන කිසිවකුටත් නවත්වන්න බැහැයි කියන එක. අපි හැදුව ජන බලය මෙතැනට පැමිණ සිටිනවා. මේ රටේ තිබෙන ජන බලය අද පෙළගැසී සිටින්නේ ජාතික ජන බලවේගය වටා බව, මහජනයාගේ ආණ්ඩුව යටතේ බව අද ඔප්පු කර තිබෙනවා. රට විනාශ කළ දේශපාලන පක්‍ෂ අද විනාශ වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්‍ෂයට මැයි දිනයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිප දෙනෙක් පක්‍ෂ කාර්යාලයට එකතු වී සාකච්ඡා කර විසිරී ගොස් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂගේ පොහොට්ටු පක්‍ෂයත් පුංචි තැනකට එකතු වෙලා. සජිත් ප්‍රේමදාස කොළඹින් ඈතට ගිහින් ටික දෙනෙක් එකතු කරගෙන පැවැත්වූ රැස්වීම අතර ජනතාව ආපසු යන එක වළක්වන්න නිවේදකයන් රැස්වීම අවසන් නැති බව කියනවා. ජාතික ජන බලවේගය ඉතිරි වී මේ රට විනාශ කළ අනෙකුත් සියලු ම පක්‍ෂ වඳ වෙන්න පටන්ගෙන තිබෙනවා. මේ මාසයේ හය වැනිදායින් පසු මාලිමාව පළාත් පාලන ආයතනවල දැවැන්ත, ඓතිහාසික ජයක් ලබා ගැනීමෙන් පසුව ඒ පක්‍ෂ ඉතිරි වෙන්නේ රතු දත්ත පොතේ බව කියන්න ඕනෑ. අගෝස්තු, දෙසැම්බර් වෙන කොට අලුත් ජනාධිපතිලා එනවා කියන එක හීනයක් විතරයි, ඒ අයට. අපේ රටේ ජනතාවගේ ඡන්දයෙන් අවුරුදු පහකට බලය ලබා දුන් අනුර සහෝදරයාව හොල්ලන්න කාටවත් බැහැ. මේ දැවැන්ත ජන ගඟ කියන්නේ, මේ ආණ්ඩුවට අත තියන්න කිසිවකුටත් බැරි බවයි.
මුල් වසර පහෙන් පසුවත්, ඊ ළඟ අවුරුදු පහටත් පත් වෙන්නේ මාලිමාව ම තමයි. මේ විදියට අවුරුදු පහෙන් පහට කල්පයකට හොල්ලන්න බැරි ආණ්ඩුවක් අපි ගොඩනඟා තිබෙනවා. හීන දකින කට්ටිය හීන දැකපුවාවේ.
ලෝකය පුරා ම වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනා ගත් දවස හැටියට මැයි දිනය සමරනවා. ලෝකයේ සියලු ම රටවල වැඩ කරන ජනතාවට ජාතික ජන බලවේගයේ මැයි දින වේදිකාවේ සිට අපි අපේ සහෝදරත්වය පළ කර සිටිනවා. ලෝකයත් එක්ක එකතු වී ඉදිරියට යන්න අපි ලෑස්තියි. අපි විශාල කාලයක් කැප කර අරගල කරමින්, වැඩ කරමින්, අරමුණක් කරා ගමන් කර දුෂ්කරතාවල දී, පරාජයන් හි දී වැටෙන්නේ නැතිව වැනෙන්නේ නැතිව සියල්ල දරා ගනිමින්, ලංකා ඉතිහාසයේ පළමුවරට ජනතාවාදී ආණ්ඩුව පිහිටුවා ඉතිහාසයේ දැවැන්ත ම මැයි දින රැලිය පවත්වන්න සමත් වෙලා තිබෙනවා.
දුෂ්කරතා දරා ගනිමින්, ඈත ගම්වල පවා ජනතාව බස්වලට මුදල් සොයා ගනිමින්, කැප වීමෙන් මේ පැමිණි ගමනෙන් කියන්නේ, “අපි ආණ්ඩුවක් හැදුවා වාගේ ම රට හදන්නත් අපි කැප වෙන්න ලෑස්තියි, පරිත්‍යාග කරන්න ලෑස්තියි, කිසිවක් පෞද්ගලිකව බලාපොරොත්තු නොවී කැප කිරීම් කරන්න සූදානම්” කියන පණිවුඩයයි.
වරප්‍රසාද ගැන සිතමින්, තනතුරු ගැන සිතමින්, තමන්ගේ අනාගතය ගැන සිතමින්, පෞද්ගලික ප්‍රතිලාභ ගැන සිතමින් වැඩ කරන අයටත්, ඒ වාගේ දේශපාලන ව්‍යාපාරවලටත් වඳ වී යන්නයි සිදු වී තිබෙන්නේ. ඔවුන මේ පළාත් පාලන මැතිවරණය හමුවේ නොයෙක් කතා කියන්න පටන්ගෙන තිබෙනවා. අපි ගොඩනඟා තිබෙන්නේ පොදු ජනයාගේ හද ගැහෙන රිද්මය, හඬ හඳුනා ගත් ආණ්ඩුවක්. හැම දෙනාගේ ම අරමුණු ඉටු කරන දේශප්‍රේමී, මහා ජන ව්‍යාපාරයක ආණ්ඩුවක් අපි ගොඩනඟා තිබෙන්නේ. මාලිමාවේ ආණ්ඩුව කියන්නේ, පක්‍ෂයක ආණ්ඩුවක් නොවෙයි, මහ ජනතාවගේ ආණ්ඩුවක්. අපේ රටේ වැඩ කරන ජනතාවටත්, ගොවි ජනතාවටත්, අපේ රටේ කාන්තාවන්ටත් වාගේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනතාවට අයිති ආණ්ඩුවක් පිහිටුවා තිබෙන්නේ. වචනයේ අර්ථයෙන්ම මෙතෙක් බිහි වූ පොදු ජනයාගේ එකම ආණ්ඩුව මේක. ඒ නිසා මේ ආණ්ඩුව වට්ටන්න පොදු ජනතාව ඉඩ දෙන්නේ නැහැ.
සියලු ක්‍ෂේත්‍ර අවුල් කර විනාශ කළ රටක් ගොඩනඟන කොට සමහර අය වෙනස් වෙන්න කැමැති නැහැ. මහජනතාව වෙනුවෙන් කැප වී, ස්වේච්ඡාවෙන් වැඩ කරන කොට මෙතෙක් පගා ගත්, කොමිස් ගැසූ අය කැමැති නැහැ. අපි වරප්‍රසාද නැතිව කැප වීමෙන් වැඩ කරන කොට මේ දක්වා වරප්‍රසාදවලට ගිජු වී වැඩ කළ අය කැමැති නැහැ. අන්න එවැනි අය අපේ ආණ්ඩුව ඉක්මනින් වට්ටා ගන්න හීන දකිනවා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට නිර්මාණය කර දී තිබෙන අලුත් දේශපාලන සංස්කෘතියට අභියෝග කරන්න පුළුවන් කිසිම බලවේගයක් ලංකාවේ නැහැ. විපක්‍ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ ‘වොයිස් කට්’ විතරයි. බිම් මට්ටමේ කිසිම බලයක් නැහැ. මැයි දිනයක් පවත්වන්නත් බැරි වුණු අය ගමේ බලය අල්ලන බව කියනවා. අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේ දී ඔවුන්ට අවධාරණයෙන් කීවේ, අපිව පරද්දන්න ඕනෑ නම්, මාලිමාවට වඩා ශිෂ්ටසම්පන්න පක්‍ෂයක් ගොඩනඟා ගන්නා ලෙසයි.
නමුත්, ඔවුන් තව තවත් අශිෂ්ටත්වයට, ම්ලේච්ඡත්වයට යන්නේ. අවලාද නඟන, බොරු ගොතන එක විතරයි කරන්නේ. ඔවුන් කියන ලොකු ම බොරුව තමයි, මාලිමාවේ අය බොරු කියනවා කියන එක. අපි ගැන එකින් එක විවේචන කරන්න නැති නිසා ඔවුන් කියන එක ම දෙය තමයි, ආණ්ඩුව බොරු කියන බව. මේ වේදිකාවේ ඉන්න චීනය, ඉන්දියාව අපට උදවු කරන්න ලෑස්තියි. පසුගිය මහා මැතිවරණයේ දී ජනතාව අපට ලබා දුන් බර සාමාන්‍ය එකක් නොවෙයි. මඩකළපුව දිස්ත්‍රික්කය හැර උතුර, දකුණ යා කරලා මාලිමාව ජයග්‍රහණය කරලා ඒ බලය අපට ලබා දුන්නා. ජාතික අසමඟිය, ආගම්වාදය, ජනතාව බෙදීම ඔවුන් අපට ලබා දුන් විනාශකාරී ම දේවල්. ගෙවී ගිය මාස හය තුළ අපි සියලු බෙදීම් අවසන් කර ජාතික සමඟිය සහිත රටක් ලබා දී තිබෙනවා. ඒක ම මඳි ද මාස හයට ? රාජපක්‍ෂලාගේ කාලයේ දිගන, අලුත්ගම ඇතුළු ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට පහර දී හිරිහැර කළ අතීතය වෙනුවට පසුගිය දිනවල දළදා වන්දනාව වෙනුවෙන් පැමිණි ජනතාවට මුස්ලිම් ජනතාව ඒ පල්ලි විවෘත කර සියලු ම පහසුකම් ලබා දුන්නා.
දැන් අපි ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතිය පටන්ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් රැසක් අපට උදවු කරනවා. මැයි හය වැනිදා පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කර ඒ ශක්තියත් එක්ක අපේ රටේ දුප්පත්කම තුරන් කරන්න උදවු වීමට චීන මහජන සමූහාණ්ඩුව සහ කොමියුනිස්ට් පක්‍ෂය අපට පොරොන්දු දී තිබෙනවා. දුෂ්කරතා මැද්දේ ඉතාම දුඃඛිත ජීවිත ගත කළ කඳුකර ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවා, ගෞරවනීය පුරවැසියන් ලෙස අයිතිවාසිකම් සහ පහසුකම් ලබා දෙන්න මේ වනවිට ක්‍රියාමාර්ග දියත් කර තිබෙනවා. ඒ වාගේම උතුරේ ජනතාවගෙන් වැඩිම ආදරය ලබා ගන්න අනුර සහෝදරයාට හැකි වී තිබෙනවා. අපිත් ඒ ජනතාවට හදවතින් ම ආදරය කරන නිසයි. ඒ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් ම ගෙවී ගිය කෙටි කාලය තුළ අපි විසඳා දී තිබෙනවා.
අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය ආසන්නයේ තිබුණු පාරවල් විවෘත කර දී, උතුරේ වසාගෙන තිබුණු පාරවලුත් අපි විවෘත කර දී තිබෙනවා. ආණ්ඩුවක නායකයන් රටක් ගොඩනඟන්න කැප වෙන කොට ඒ ආණ්ඩුවත් එක්ක අත්වැල් බැඳගෙන වැඩ කරන ජනතාවත් කැප කිරීම් කරන්න සූදානම්. දූෂිත බලවේගවල අතකොලු බවට පත් නොවී අපි පටන් ගත් සටන පොහොසත් රටක් ගොඩනඟා ලස්සන ජීවිතයක් උරුම කර දීම දක්වා අත්නොහරින බවට අපි සහතික වෙනවා. ඒ ක්‍රියාමාර්ග හමුවේ නඩු වැටෙනවාට භය වුණු බොහෝ දෙනෙක් ඉන්නවා. හිටපු ජනාධිපති පවා අල්ලස් කොමිසම හමුවේ කටඋත්තර දෙන්න කැඳවමින් සිටිනවා. ඒ නිසා ඔවුන්ගේ නැති වුණු ජනතාවගෙන් කොල්ලකා ගත් වරප්‍රසාද, සැප සම්පත් නැවත ලබා ගන්නා නොයෙක් හීන දකිමින් සිටිනවා. නමුත්, පසුගිය මහා මැතිවරණයටත් වඩා දැවැන්ත ජයග්‍රහණයක් පළාත් පාලන මැතිවරණයෙන් ලබා දෙන්න ජනතාව පෙළගැසීම හමුවේ සතුරන් වැඩි වැඩියෙන් කලබල වී සිටිනවා. සතුරන්ගේ අවලාද, බොරු ප්‍රචාර හමුවේ ඉතාම දුෂ්කර මොහොතේවත් සටන අත්නොහැරි අපි ජනතාවගේ දැවැන්ත බලයක් ලබා දුන්න මොහොතේ ඉදිරියටත් අපේ සහෝදරත්වය, මානව ගුණයන් තව දුරටත් ශක්තිමත් කර ගනිමින්, අත්වැල් බැඳගෙන වැඩ කරමු. අවලාද ගහන අයට අවලාද නඟන්න ඉඩ දීලා, අපේ කාලය නාස්ති නොකර රට හදන ගමනට, පොහොසත් රටක් ගොඩනඟන්න, ලස්සන ජීවිතයක් හදන්න, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි හැමෝට ම එකට ජීවත් වෙන්න පුළුවන් ලස්සන, පොහොසත් ම ලංකාව ගොඩනඟන්න අපි ධෛර්යයෙන් එකට එකතු වී පෙරට ම යමු. ගම්වල ජනතාව එකමිටට එකතු කර හය වැනිදා පළාත් පාලන ඡන්දයෙන් වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගන්න එකතු වෙමු.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here