මාලිමාව ආණ්ඩු බලය ලබා ගත්තේ මෙතෙක් සිටි මුග්ධ පාලකයන්ට යළි බලය ලබා දෙන්න නොවෙයි ! – ජගත් මනුවර්ණ

0
7


මාලිමාව ආණ්ඩු බලය ලබා ගත්තේ මෙතෙක් සිටි මුග්ධ පාලකයන්ට යළි බලය ලබා දෙන්න නොවේ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජගත් මනුවර්ණ අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ගාලුමුවදොර පිටියේ ඊයේ (01) පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් මැයි දින රැලිය ඇමතූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජගත් මනුවර්ණ,
“දැනට අවුරුදු දෙකකට කලින් දෙදහස්විසිදෙකේ දී මේ ගාලුමුවදොර පිටියේ වෙනත් ආකාරයක මැයි දිනයක් සැමරුවා. ගෝල්ෆේස් හෝටලය ආසන්නයේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට යන තෙක් මැයි පෙළපාළියක් ගෝල්ෆේස් අරගලකරුවන් විසින් පැවැත්වූවා. දිවයිනේ නන් දෙසින් පැමිණි සහෝදර, සහෝදරියන්, සියලු ජාතිකත්වයන්ගෙන් සැදුම්ලත් ජන සමූහයක්, සියලු ආගම්වලින් සැදුම්ලත් ජන සමාජයක් ගෝල්ෆේස් අරගලයට එක් වී සිටියා. කලාකරුවන්, විද්වතුන් ඇතුළු සියලුම දෙනා එද 2022 මැයි දිනයේ දී කීවේ වැඩ කරන ජනතාව අතට මේ රටේ බලය යන්න ඕනෑ බවයි. එය සැබෑවක් බවට පත් කරමින්, ජාතික ජන බලවේගය මේ රටේ බලයට පත් වී ගොවි, කම්කරු, වැඩ කරන ජනතාවට එක්ව මැයි දිනය සැමරිය හැකි වටාපිටාවක් ගොඩනඟා තිබෙනවා. මැයි දිනය අවසන් වී දවස් නවයක් ගත වන විට පොහොට්ටුවේ මැරයන් යොදවා අරගලකරුවන්ට පහර දුන්නත්, අරගලය නොනවත්වා ඉදිරියට ගෙන ගොස් ජූලි 09 වැනිදා ජනාධිපතිවරයාත් පලවාහැරියා.
ජාතික ජන බලවේගයේ බලය අවතක්සේරු කරන හෑල්ලු කරන පැරැණි දේශපාලන අවතාරවලට අපි මතක් කර දෙන්නේ එදා තිබුණු ඒ බලය අද ආණ්ඩු බලය සහ රාජ්‍ය බලයත් එක්ක අදත් ගෝල්ෆේස් පිටියට රැස් වී සිටින බවයි. මේ රටේ අනාගතය ගැන තමන්ගේ දරුවාගේ අනාගතය ගොඩනඟන්න සුබ සිහින දැක්ක මිනිස්සු මේ ආණ්ඩුව පත් කරගෙන මාස හයක් ගත වන විට පරාජිත බලවේග අපි මොනවා ද කළේ කියලා ප්‍රශ්න කරනවා. ඔවුන් ජනතාවගේ බලය 2022 සිට බලයෙන් අත්පත් කරගෙන සිටීමෙන් පසු ඇපත් නැතිව ගෙදර ගිහින් විවිධ අවලාද නඟන්න පටන්ගෙන තිබෙනවා.
අපි ආණ්ඩු බලය ලබාගෙන ගත වුණු මාස හය තුළ පැරැණි අවතාර විසින් විනාශ කළ යම් යම් ක්‍ෂේත්‍ර නිසා ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කළ නොහැකි වූ තැන් තිබෙනවා. ඒ අතර, මෙරට ඉතිහාසයේ පළමුවැනි වතාවට පාලකයන් සහ ජනතාව අතර සමාන ජීවිත ගත කරමින්, අප සියලු දෙනාට අහිමි කළ සංස්කෘතික ජීවිතය නැවත අත්පත් කර ගන්න සූදානමින් ක්‍රියා කරන බව අවධාරණය කරනවා. මාලිමාව ආණ්ඩු බලය ලබා ගත්තේ මෙතෙක් සිටි මුග්ධ පාලකයන් අතට බලය යළි ලබා නොදෙන්න බව අවධාරණය කරනවා. රට දිනවන්න, ජනතාව දිනවන්න අපේ පාලනය ක්‍රියා කරන බව අවධාරණය කරනවා.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here