රටේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී, ගමේ ඡන්දය ජයගැනීම ඉතාම වැදගත් – වෛද්‍ය නිහාල් අබේසිංහ

0
4


රටේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී, ගමේ ඡන්දය ජයගැනීම ඉතාම වැදගත් බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 27 වනදා බේරුවලදී පැවති පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ “ජය නියතයි – ගම අපටයි” ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ,
“මේ රටේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් අත්පත් කරගෙනයි බේරුවල රැස්වීමට අපි සහභාගී වෙන්නේ. මේ වගේම ඔක්තෝබර් මාසේ 27වැනිදා, මේ ස්ථානයේ මෙවැනිම රැස්වීමක් පැවැත්වුවා. ජනාධිපතිවරණයේදී පනස්අටලක්ෂයකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබුවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී හැටඅටලක්ෂය ඉක්මවා ඡන්ද ලැබුවා. කළුතර දිස්ත්‍රික්කයෙන් හාරලක්ෂ පනස්දෙදාහකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලැබුවා. ඒක 66%ක්. ප්‍රතිවාදී සමගි ජන බලවේගය ලැබුවේ 18%ක ප්‍රතිශතයක්. අපි මේ පළාත් පාලන 17ම අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. අපි බාරගත්ත බංකොලොත් රට මේ වෙනකොට බංකොලොත්භාවයෙන් මුදාගෙන තිබෙනවා. ඒ වගේම දුක්විඳින ජනතාවගේ මූලික ප්‍රශ්න මේ වෙනකොට විශාල ප්‍රමාණයක් විසඳමින් ඉන්නවා. ගොවි ජනතාවට පොහොර සහනාධාරය, ධීවර ජනතාවට භූමිතෙල් සහනාධාරය, විශ්‍රාමිකයන්ට ඉහළ වැටුප්, රජයේ සේවකයන්ට අවුරුදු ගණනකට පස්සේ වැඩිම මූලික වැටුපක්, 2028 දී රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප රුපියල් හතළිස්දාහට වැඩිවෙනවා. අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනාද වැඩිවෙනවා.
අපට ඊළඟ කාර්යයන්ට එළඹෙන්න තිබෙනවා. අපේ පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරමින්, තීන්දු තීරණ ගනිමින්, මේ රටේ ජනතාව නිවැරදි දිසාවට ගෙන යමින් ඉන්නවා. ඊළඟ පියවර වෙන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා ශක්තිමත් කරන එක. මන්ත්‍රීවරයෙකුට විශාල කාර්ය මණ්ඩලයක් නැහැ. අපට ඉන්නේ ලේකම්වරයෙක්, රියදුරෙක් සහ  පුංචි කාර්ය මණ්ඩලයක්. මේ අය වැඩ කරන්නේ ප්‍රාදේශීය සභා, නගර සභාවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන් සමග. මේ ආයතනවලින් කෙරෙන කාර්යයන් ජනතා සේවය උදෙසා ක්‍රමවත්ව මෙහෙයවන එක. අපි ප්‍රාදේශීය සංවර්ධන කමිටු කැඳවමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සමග උරෙනුර ගැටෙමින් ගමේ යටිතල පහසුකම් ටික දියුණු කිරීම, ඔබේ ආර්ථික වැඩපිළිවෙළ දියුණු කිරීම වැනි කටයුතුවල යෙදෙමින් ඉන්නවා. ඒ නිසාම තමයි මේ පළාත් පාලන මැතිවරණය ඉතාම වැදගත් වෙන්නේ. ඔබේ ඡන්දය තීරණාත්මකයි. ඔබේ එදිනෙදා ජීවිතයට සම්බන්ධව පාරවල් පිළිසකර කිරීම, විදුලි පහන් සවිකිරීම, කුණු කසළ ඉවත් කිරීම, පෙර පාසල් ශක්තිමත් කිරීම, දරුවන්ගේ සෞඛ්‍ය කටයුතු දියුණු කිරීම මේ වැනි නොයෙක් ආකාරයේ කටයුතු පළාත් පාලන ආයතනවලින් කෙරෙනවා. පළාත් පාලන ආයතන 17ම ජයග්‍රහණය කරවා දුන්නොත් අපේ මන්ත්‍රීවරුන්ට ගමේ වැඩේ හරියටම කරන්න අපට ලොකු ශක්තියක් වෙනවා. මේ මැතිවරණය ඔබට, අපිට තීරණාත්මකයි. අපගේ ජීවිතවල ඉතා සමීපම කටයුතු කරගන්න වෙන්නේ මේ නියොජිතයන් මගිනුයි. ඒකට නායකත්වය දෙන්න ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සූදානම්ව ඉන්නවා. ඒ නිසා 06 වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස් මාලිමාව ඉදිරියෙන් කතිරය ගසමින් ඔබේ යුතුකම ඉටුකරන හැටියට ඉල්ලා සිටිනවා.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here