කෝටි ගාණක පාඩුවක් – ව්‍යාපාරිකයෝ කියති
“සෙනසුරාදා (20දා) සවස 4.00ට විතර වෙළෙඳසල් ගොඩනැඟිල්ලේ ඉහළම මහලෙන් දුමක් එනවා දැක්කා. එහි සේවකයන් පහළට බැස්සාත් එක්කම ගින්න හටගත්තා.
මගේ විදුලි උපකරණ වෙළෙඳසලත් විනාශයි. අපිට දැනටමත් කෝටි 20කට අධික අලාභයක් සිදුවෙලා” යැයි පිටකොටුව පළමු වැනි හරස් වීදිය වෙළෙඳසල් ගොඩනැඟිල්ලක හටගත් ගින්නකින් මුළුමනින්ම විනාශවූ විදුලි උපකරණ වෙළෙඳසලක හිමිකරු වන ෂීක් දාවුඩ් මහතා ඊයේ (21දා) පැවසීය.
පිටකොටුව පළමු වැනි හරස් වීදිය ව්‍යාපාරික ගොඩනැඟිල්ලක හටගත් ගින්න පිළිබඳ තොරතුරු සොයා ඊයේ උදේ අප එම ස්ථානයට ගිය අවස්ථාවේ ඔහු එසේ කීය. අප එහි යනවිට ගින්න පාලනය කර තිබුණ ද එම ගොඩනැඟිල්ලෙන් යළි ප්‍රදේශය පුරා දුමක් පැතිරෙන්නට වීමත් සමග කොළඹ මහ නගර සභා ගිනි නිවීම් ඒකකයේ රථ පැමිණ එම දුම් මැඬපැවැත්වීමට කටයුතු කරන අයුරු දැකගත හැකි විය.

සිද්ධිය තවදුරටත් විස්තර කළ දාවුඩ් මහතා මෙසේ ද කීය.
“ගින්න හටගත්තේ ගොඩනැඟිල්ලේ 5 වැනි මහලෙන්. මගේ විදුලි උපකරණ වෙළෙඳසල තියෙන්නෙ පහළම මහලේ. සෙනසුරාදා සවස 4.00ට විතර ඉහළම මාලයෙන් දුම් පිටවෙන්න ගත්තා. ඉහළම මාලයේ තිබුණෙත් විදුලි උපකරණ වෙළෙඳසලක්. අපි මේ ගැන පොලිසිය සහ ගිනි නිවන ඒකකය දැනුවත් කළා. ඔවුන් ඉක්මනින් ආවා. ඔවුන් එනකොට ගින්න වේගයෙන් පැතිරෙමින් තිබුණා. ඊට පස්සේ ගිනි නිවන භටයන්, ගුවන් හමුදා, නාවික හමුදා නිලධාරීන්, වරායෙ නිලධාරීන්, පිටකොටුව පොලිසිය මේ සියලුදෙනා ගින්න මැඬපවත්වන්න පුදුම වෙහෙසක් ගත්තා.”
එම ස්ථානයේ සිටි තවත් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් රම්සාන් මහතා මෙසේ කීය.
“මේ ගින්න නිසා වෙළෙඳසල් 7ක් විනාශයි. රුපියල් කෝටි ගාණක පාඩුවක්. කොහොම වුණත් විශාල විනාශයක් වළකා ගන්න හැකි වුණා. පිටකොටුව පොලිසිය, ගිනි නිවන හමුදාව, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, වරායේ නිලධාරීන් මේ ගින්න නිවන්න රෑ එළිවෙනතුරු සෑහෙන වෙහෙසක් ගත්තා. ඒ ගොල්ලන්ගේ ජීවිත පරදුවට තියලා ගත්තු වෙහෙසට ස්තූතියි.
ගොඩනැඟිල්ලේ සේවකයන්ගේ ජීවිතවලට කිසිම හානියක් වුණේ නැහැ. තාමත් දුම් පිටවෙනවා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද මොකක්ද කියලා තාම හරියටම කියන්න දන්නෙ නැහැ. ප්‍රදේශයම දුමෙන් වැහුණා. ගොඩනැඟිලිවල තත්ත්වය නිරන්තරයෙන්ම බලධාරීන් සොයා බලනවා නම් වටිනවා.”
පිටකොටුව පළමු හරස්වීදියේ ගොඩනැඟිල්ලක පෙරේදා (20දා) සවස හටගත් විශාල ගින්න පැය 16ක දැවැන්ත මෙහෙයුමකින් පසු ගින්න මැඬපැවැත්වූ බව කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (21දා) පැවසීය.
මෙම ගින්න පෙරේදා සවස 4.00ට පමණ හටගත් බවත් එය එම ගොඩනැඟිල්ලේ 5 වැනි මහලේ පිහිටි විදුලි උපකරණ වෙළෙඳසලක් තුළින් හටගෙන තිබූ බවත් හෙතෙම කීය.
ගින්න නිවීමේ කටයුතු සඳහා කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවට අයත් රථ 16ක් සහ ගිනි නිවීමේ භටයන් 70කට අධික පිරිසක් ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ ගිනි නිවන රථ ද වරාය ගිනි නිවන රථයක් ද කෝට්ටේ හා දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවලට අයත් ගිනි නිවීමේ රථ ද ඇතුළුව සමස්ත ගිනි නිවීමේ රථ 20කට අධික සංඛ්‍යාවක් සමග ගිනි නිවන භටයන් 120කට අධික පිරිසක් ද ප්‍රදේශවාසීන් ද සම්බන්ධ වූ බව හෙතෙම සඳහන් කළේය.
එසේම ගින්න මැඬ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් ද යොදාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා ‘දිවයින’ට පැවසීය.
ගින්න වේගයෙන් පැතිර යෑම නිසා ගින්න මැඬ පැවැත්වීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වූ බව කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා කීය.
මෙම ගින්න හටගැනීමෙන් පසු මුළු කොළඹ නගරයම දුමෙන් වැසී ගිය අතර මාර්ගයේ වාහන ධාවනයට ද බාධා එල්ල විය.
ගොඩනැඟිල්ලේ 5 වැනි මහලේ පිහිටි විදුලි උපකරණ වෙළෙඳසලේ දුමක් හටගැනීමත් සමග එම සේවකයන් ඉන් වහා ඉවත් වී ඇති අතර යාබද වෙළෙඳසල්වලට ද ගින්න පැතිර තිබූ බව එම ප්‍රකාශකයා කීය.
ගින්න ඊයේ පෙරවරු 6.00 පමණ වනවිට මැඬපැවැත් වුවද පසුව ඇතැම් ස්ථානවලින් යළිත් ගිනි පුපුරු මතුවීමත් සමග ගිනි නිවීමේ නිලධාරීහු ගින්න මැඬපවත්වන්නට යළි කටයුතු කළහ.
ගින්නෙන් එම වෙළෙඳසල්වලට සිදු වූ අලාභය ඊයේ උදෑසන වනවිටත් මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලිසිය පවසයි. ගින්නට නිශ්චිත හේතුව ද ඊයේ උදෑසන වනවිටත් අනාවරණය වී නොතිබිණි.
ගින්න ඇති වූ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා පැමිණීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳ පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලහකෝන් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ගින්න ඇති වූ ස්ථානයට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ද පැමිණියේය. ඔහු එම ස්ථානය නිරීක්ෂණය කරනු ලැබීය.
මෙම ගින්න හට ගැනීමත් සමග පළමු හරස් වීදිය ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධර්මසේන වැලිපිටිය හා ප්‍රදීප් ජයසේකර – කොළඹ
පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත , ධර්මසේන වැලිපිටිය, ප්‍රදීප් ජයසේකර
Saru FM Media