ජීවිත 16ක් අහිමි කළ ඇල්ල බස් රථ අනතුරේ විමර්ශන අවසන්

0
9

ඇල්ල ප්‍රදේශයේ සිදුවු පුද්ගලයින් 16 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවු බස් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර තිබේ.

ඊට අදාළ වාර්තාව මේවන විට සකස් කර ඇති අතර එය ඉදිරි දින දෙක තුල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව අසලදී තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ සාමාජිකයින් පිරිසක් විනෝද චාරිකාවක යමින් සිටි බස් රථයක් පසුගිය 04 වනදා රාත්‍රීයේ ප්‍රපාතයකට පෙරළිමෙන් අනතුරක් සිදුවිය.

එම අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු මියගිය අතර තවත් 16 දෙනෙකු තුවාල ලැබීය.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුව විසින් මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකළ දිර්ඝ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව එහි වාර්තාව සකස් කර ඇති බව කමිටුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අදාළ කමිටු වාර්තාවට අනුව අනතුරට ලක්වු බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බවට අනාවරණය වී ඇති අතර තිරිංග පද්ධතියේ ද දෝෂ පැවති බව හඳුනාගෙන තිබේ.

එමෙන්ම බස් රථයේ රියදුරු අදාළ ප්‍රදේශයේ මාර්ගය පිලිබඳව නිසි දැනුවත් භාවයකින් තොරව කටයුතු කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මේ අතර එම බස් රථ අනතුර සිදුවන අවස්ථාවේ ඉදිරියෙන් පැමිණ අනතුරට ලක්වු සුඛෝපභෝගී මෝටර් රථයේ කැමරා දත්ත පටිගත වීමක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

ඇල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම මෝටර් රථය අයත් සමාගමෙන් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවු අතර එම වාර්තාවට අනුව අදාළ මෝටර් රථයේ කැමරා පද්ධතියේ දත්ත ගබඩා වීමක් සිදු නොවන බවට තහවුරු කර ඇති බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here