
ත්‍රිරෝද රථයකින් පැමිණි හඳුනාගත නොහැකි විදේශික කාන්තාවක් මෙරට රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක මැදිරියට අබිරහස් ලෙස ලැප්ටොප් පරිගණකයක් ලබාදී වහාම පලායාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා විසින් කුරුඳුවත්ත පොලිසියට ඊයේ (29 වන දින) විශේෂ නියෝගයක් නිකුත් කරන ලදී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක අංශය විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව අධිකරණයට දැනුම් දෙන ලදී.
කුරුඳුවත්ත පොලිසියේ සැරයන් තිලකරත්න මහතා (අංක 881) විසින් අධිකරණය හමුවේ කරන ලද ඉල්ලීමක් අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය අවසරය ලබාදෙන ලදී.
පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, හඳුනාගත නොහැකි විදේශික කාන්තාවක් ත්‍රිරෝද රථයකින් තානාපති කාර්යාලයට පැමිණ, ආරක්ෂක අංශය වෙත ලැප්ටොප් පරිගණකයක් භාරදී ඇත. කෙසේ වෙතත්, එම පරිගණකය ලබාදිය යුතු නිශ්චිත පුද්ගලයෙකු නම් නොකර ඇති අතර, ලැප්ටොප් එක භාරදීමෙන් අනතුරුව එම කාන්තාව වහාම ත්‍රිරෝද රථයෙන් පලා ගොස් ඇත. මෙම කරුණු මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව සැරයන්වරයා අධිකරණය හමුවේ පැවසීය.
කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ල ලැබීමෙන් පසු, ආරක්ෂක පියවරක් ලෙස බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ අංශයේ නිලධාරීන් යොදවා එම ලැප්ටොප් පරිගණකය පරීක්ෂාවට ලක් කර ඇති බවද අධිකරණයට දන්වන ලදී.
සැරයන් තිලකරත්න මහතා වැඩිදුරටත් අධිකරණයට පැහැදිලි කළේ, රුසියානු තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකුගේ අවසරයක් හෝ දැනුම්දීමක් නොමැතිව
මෙවැනි උපකරණයක් ලබාදීම සැක සහිත කරුණක් වන බැවින්, ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිවීමත් සමඟ, විශේෂයෙන් එම විදේශික කාන්තාවගේ අනන්‍යතාව සහ මෙවැනි ක්‍රියාවක නියැලීමට ඇති හේතු පිළිබඳව පරීක්ෂණ මගින් හෙළිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Saru FM Media