ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙක් ලෙස 2017 – 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (29) තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 478307.03ක් වටිනා අයි ෆෝන් දුරකතනයක්, අයි පෑඩයක් හා චාජරයක් මෙන්ම ඇපල් මැක්බුක් පරිගණකයක් සහ එහි චාජරය සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කරන විමර්ශනයකට අදාළ ව කොටුව පොලිසිය මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමකට අනුව යි.
කොටුව පොලිසිය විසින් මෝසම ගොනු කරමින් පසුගියදා සැකකරුට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසියක් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මේ නියෝගය නිකුත් කළා.
සැකකාර තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට ද මින් පෙර නියෝග කර තිබුණා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි පාලනය විසින් 2024 ඔක්තෝම්බර් මස 21 වැනිදා කොටුව පොලිසියට කළ පැමිණීල්ලක් ප්‍රකාරව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
2019 නොවැම්බර් 19 දින සැකකරු සේවයෙන් ඉවත් යන අවස්ථාවේදී මේ භාණ්ඩ භාර දී නොමැති බවට පැමිණිල්ල ලැබී තිබුණා.
2024 නොවැම්බර් 01 වැනි දා සැකකරු කොටුව පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඉහත භාණ්ඩවලට අදාළ මුදල මනි ඔඩර් මගින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත යොමු කළ ද එය භාර නොගෙන නැවත් ඔහු වෙත යොමු කර ඇති බව ද ප්‍රකාශ කළා.
ඒ අනුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු සිදු කර ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට දැනුම්දෙන ලෙස කොටුව පොලීසයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළා.
Saru FM Media