ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මේ හේතුවෙන් මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් හාරලක්ෂ තිස් දහසකට (430,000) ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇත.
රුපියල් ලක්ෂ හතරේ සීමාව ඉක්මවා ගියේ ඉතිහාසයේ මුල් වරටය.
ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ (29) ඇමරිකානු ඩොලර් 5511 සීමාව ද ඉක්මවා ගියේය.
ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඉහළ යාමට මූලික වශයෙන් බලපා ඇත්තේ රටවල් රැසක මහ බැංකු ඩොලර් සංචිත රැස්කරනවාට වඩා රත්තරන් රැස් කිරීමට වැඩි අවධානයක් යොමු කිරීම බව ආර්ථික විශ්ලේෂකයෝ කියා සිටිති.
මේ වනවිට රටවල් රැසක මහ බැංකුවල දෙවනුවට වැඩිම ප්‍රමාණයක් ඇත්තේ රත්තරන්ය.
තවද ලොව රටවල්වල මහ බැංකු විසින් ඉකුත් වසරේදී (2025) පමණක් රත්තරන් ටොන් 863ක් පමණ දළ වශයෙන් සිය සංචිත ලෙස රැස්කරගෙන තිබේ.
රුසියාව, බ්‍රසීලය, චීනය, ඉරානය, කසකස්තානය, පෝලන්තය ආදී රටවල්වල මහ බැංකු පමණක් නොව අසල්වාසී ඉන්දියාවේ මහ බැංකුව ද මෙලෙස ලෝක වෙළෙඳපොළ හරහා රන් සංචිත මිලදී ගැනීම වැඩි වශයෙන් සිදුකර තිබේ.
තවද ඇමරිකාව විසින් රටවල් ආක්‍රමණය කරමින් එම රටවල විදේශ සංචිත ආදිය කොල්ලකමින් ඉතා අගතිගාමී ලෙස හැසිරීම ආදි කාරණා හේතුවෙන් රටවල් රැසක් මෙලෙස ඩොලර් මිලදී ගැනීම අතහැර රත්තරන්වලින් සිය සංචිත වැඩිකර ගැනීමට වැඩි අවධානයක් යොමුකර ඇතැයි ද ආර්ථික විශ්ලේෂකයෝ චෝදනා කරති.
මීට අමතරව ලෝකයේ ප්‍රබල ආයෝජකයන් ද ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් සහ ඩොලර් රැස් කරනවා වෙනුවට රන් සංචිත මිලදී ගැනීමට වැඩි නැඹුරුවක් යොමු කිරීමද ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමට බලපා ඇත.
මේ අතර ඉදිරියේදී තවදුරටත් රත්තරන් මිල ගණන් ඉහළ යාහැකි බවද ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
Saru News










