තුන්වේලටම පාන් පිටි; අතුරුපසට කසිප්පු(ශ්‍රී ලංකාවේ වතුකම්කරු ඛේදවාචකය)

0
10

2025 සැප්තැම්බර් මස 21 වැනිදා ඉරිදා

කෝපි ගස ලංකාවට ආවේණික ශාකයකි. ලංකාවට සමාන්තරව ආසියාවේ වෙනත් රටවල ද අරාබිකරයේ සමහර ප්‍රදේශවල ද කෝපි ගස වනගත ශාකයක් ලෙස වැඩිණ. කෝපි ඇටය වියළා කබලේ දමා බැද උතුරන වතුර යොදා පානය කරන විට පොඩි කික්එකක් ගත හැකි බව මෙයට අවුරුදු දහසකට පෙර විසූ මොරොක්කෝ ජාතිකයෝ දැන සිටියහ. පසුව කෝපි ආතල් එක වෙනත් රටවලට ද බෝ වූ බැවින් එය වාණිජ වගාවක් බවට පත්විය. යටත්විජිතවාදීන් ලංකාව ආක්‍රමණය කරන විටත් කෝපි දේශීය වාණිජ වැවිල්ලකි. ඉංග්‍රීසි ජාතිකයන් ලංකාව ආක්‍රමණය කළ පසු මෙරට කෝපි රට පටවන ලදී. 1860 ගණන්වලදී කෝපි වගාවට හෙණගෙඩියක් පහත් විය. එනම් එම වගාවට බැක්ටීරියාවක් බෝවිය. මේ නිසා ලංකාවේ කෝපි තවදුරටත් රට පැටවීමට නොහැකි විය. ඒ අතර ජේම්ස් ටේලර් නමැති වැවිලිකාර සුද්දෙක් ලංකාවට එයි. මෙරටට තේ හඳුන්වාදෙන ඔහු, තේ වතු පටන් ගන්නට අදහස් කර සිංහල ගැමියන් හමුවී තම තේ වතුවල වැඩ කරන්නට එන ලෙසත්, එසේ වැඩ කරනවාට දෛනිකව පඩි ගෙවන බවත් කීවේ ය. එහෙත් මුදලට වැඩ කොට පුරුද්දක් සිංහලයාට තිබුණේ නැත. ඔවුහු කුලියට වැඩ කිරීම ප්‍රතික්‍ෂේප කර අත්තමට වැඩ කරමු යැයි සුද්දන්ට යෝජනා කළහ.
එනම්, සිංහල ගැමියෝ සුද්දාගේ වත්තේ නොමිලේ වැඩ කරති. සිංහලයා කුඹුරු වැඩ කරන කාලයට සුද්දන් පැමිණ කුඹුරු කෙටිය යුතු ය. මෙය ඇසූ ජේම්ස් ටේලර් හොල්මන් විය. කලිසම් අඳින, ටයිකෝට් ගසන සුද්දා දණක් මඩේ බැස කුඹුරු කරන හැටි දැන සිටියේ නැත. එබැවින් ලංකාවේ ආණ්ඩුකාරයා හමු වූ ජේම්ස් ටේලර් කම්කරු අර්බුදය ගැන ආණ්ඩුකාරයා දැනුවත් කර ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන ඒමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම් සහිත සංදේශයක් බ්‍රිතාන්‍යයේ සිටි යටත්විජිත භාර ලේකම්ට යවන ලදුව අනුමැතිය ලැබිණ. ඉන් පසු ජේම්ස් ටේලර්ගේ මිනිස්සු තමිල්නාඩුවට ගොස් දුප්පත් අහිංසක දෙමළ මිනිසුන් 500ක් පමණ රුවල් නැවක පටවාගෙන ලංකාවට පැමිණියහ. ඔවුන් මෙරටට ගෙනෙන ලද්දේ ඉතා ධනවත් සහ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ලබාදෙන බව කියමිනි.

පළමු වැනි දෙමළ කම්කරුවන් පිරිස මන්නාරමට ගොඩබස්සන ලදී. එතැන් සිට පා ගමනින් ඔවුහු වතුකරයේ පිහිටි ජේම්ස් ටේලර්ගේ තේ වත්තට පයින්ම ගියහ. මේ ගමනට දෙමාසයක් ගත විය. ගමනේ දී වසූරිය, උණසන්නිපාතය, පැපොල, සරම්ප යන රෝග වැලඳී අසරණ කම්කරුවෝ මියගියහ. ඔවුන්ගේ මළසිරුරු කැලෑවලට වීසි කරන ලදී. අන්තිමේ දී වතුකරයට ළඟා වූ දෙමළ කම්කරු පිරිස දෙසීයකි. එනම් තුන්සියයක්ම මඟදී මියගොස් තිබිණ. මන්නාරමේ සිට වතුකරයට යන ගමනට එක්වූ සුද්දන්ගෙන් ද බාගෙට බාගයක් මේ රෝග බෝවී මියගියහ. ඊළඟ වතාවේ දී පන්සියයක් අවශ්‍ය තැනට කම්කරුවන් දහසක් ඉන්දියාවෙන් ගෙන්වීමට ජේම්ස් ටේලර් පියවර ගත්තේ ය. වතුකරයට එන විට ඔවුන්ගෙන් භාගයක් මගදී මියගියහ. ඉතුරු පන්සියයෙන් ජේම්ස් ටේලර්ට තම අවශ්‍යතාව පිරිමසා ගත හැකි විය. ඉතිහාසයේ පටන්ම මේ රටේ තේ වතු ව්‍යාපාරිකයන් දෙමළ වතුකම්කරු ජනතාවට සලකන ලද්දේ තිරිසන් සතුන්ට මෙනි. අද මෙරට වතුකරයේ කම්කරු ජනතාව දෙමළ, සිංහල, මුස්ලිම් යන ජනවර්ග තුනෙන්ම නිර්මාණය වී ඇත. මේ නිසා ඒ සියලු දෙනාම එක රොත්තේ දුක්විඳිති.

රුපියල් 1300 ක් වන සිය දෛනික වැටුප රුපියල් දෙදහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා මෙරට වතුකරයේ කම්කරුවෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තාහ. මෙය ඉතාම සාධාරණ ඉල්ලීමකි. අද කොළඹ වෙසෙන කම්කරුවකු දවසක් වැඩකළොත් රුපියල් හාරදහසක වැටුපක් ඉල්ලයි. පළපුරුදු මේසන් බාස් මහත්මයකුට දවසට රුපියල් හයදහසක්වත් ගෙවිය යුතුය. අත්වැඩ දෙන ශ්‍රමිකයෝ දිනකට රුපියල් තුන්දහසක් ඉල්ලති. ලංකාවේ ජීවන වියදම ඉතා ඉහළ ගොස් ඇති බැවින් ඔවුන් ඉල්ලන ගණන් ඉතා සාධාරණ ය. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දෙදහසක් බවට පත් කිරීමට මෙයට පෙර පැවැති ආණ්ඩු දෙකක්ම තීන්දු කළේ ය. එපමණක් නොව එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට උත්සාහ ද කළේ ය. එහෙත් තමන්ට තේවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නැති බව කියමින් තේ වතු අයිතිකාරයෝ රුපියල් දෙදහස ගෙවීම ප්‍රතික්‍ෂේප කළහ. මේ ආණ්ඩුව මීට අවුරුද්දකට පෙර බලයට පත්වීමට කලින් වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 2000 ක් කරන බවට ඡන්ද පොරොන්දුවක් පවා දුන්නේ ය. එහෙත් වතු අයිතිකාරයන් කන්ට්‍රෝල් කිරීමට ආණ්ඩුවලට බැරිය. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලූ සැණින් තේ වතු වසාදමන බවට ඔවුහු තර්ජනය කරති. තේ වතු වැසීම ද හරියන වැඩක් නොවේ. තේවලින් ලංකාවට විදේශ විනිමය ලැබේ. මීට අවුරුදු 200 කට පෙර ලන්ඩනයේ ජීවත් වූ කම්කරු පන්තිය නූගත්කමින් ද දරිද්‍රතාවයෙන් ද පෙළුණාහ. ඔවුන්ගේ ස්වභාවය විග්‍රහ කළ කාල් මාක්ස් බ්‍රිතාන්‍ය කම්කරුවන්ගේ ආහාරය පළමුවත් අර්තාපල්, දෙවනුවත් අර්තාපල්, තෙවනුවත් අර්තාපල් යනුවෙන් කීවේ ය.

බ්‍රිතාන්‍ය කම්කරුවෝ උදේට අල තම්බා කෑහ. දවල්ට අල පුලුස්සා කෑහ. රෑට අලවලින් සුප් හදා අනුභව කළහ. මේ නිසා කාබෝහයිඩ්‍රේට මිස මොළේ වැඩීමට අවශ්‍ය කිසිදු විටමිනයක් ඔවුන්ට ලැබුණේ නැත. ලංකාවේ වතු කම්කරුවන්ගේ ජීවිතය ද බොහෝ කාලයක් යනතුරු පැවැතියේ ඒ ආකාරයෙනි. ඔවුන් උදේට කන්නේත් රොටී ය. දවල්ට කන්නේත් රොටී ය. රෑට කන්නේත් රොටී ය. වතුකම්කරු ව්‍යාපාරය ආරම්භයේ දී සුද්දෝ තේ බීමට කම්කරුවන් හුරු කළහ. ඊට අමතරව කසිප්පු බීමට ද හුරු කළහ. අන්තිමේ දී තේ වත්තටම ජංගම අරක්කු කරත්තයක් ගෙන්වා කම්කරුවන්ට අරක්කු බීමට සුද්දෝ පුරුදු කළහ. වතුකම්කරුවන්ගේ ආදායම ප්‍රමාණවත් නොවුණොත් එය ඔවුන්ගේ ආහාරයටත්, සෞඛ්‍යයටත්, අධ්‍යාපනයටත් බරපතළ හානියක් ඇති කරන බව අපගේ විශ්වාසය වේ. දෙමළ දේශපාලනඥයන් එදා සිටම කළේ වතුකම්කරුවන් රවටා ඔවුන්ගේ ඡන්දයෙන් බලයට පත් වීමය. ඊට අමතරව එම දේශපාලනඥයෝ වතු අයිතිකාරයන්ගෙන් ජරාව කෑහ. මේ වනවිට සුද්දෝ ද සිංහලයෝ ද ධනවත් දෙමළ ජාතිකයෝ ද මේ රටේ වතු ටික බෙදාගෙන සිටිති. එතැනදී ඔවුන් සියලුම දෙනා එකතු වී අසරණ කම්කරුවන් සූරා කන බව පෙනේ. මේ ඛේදවාචකය විසඳීමට මේ රජයවත් පියවර ගත යුතු ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here