දිවි තොර කරන්න ප්ලෑන් පිට ප්ලෑන් ගැහුවත් හරක් කටා පණපිටින්

0
10

හරක් කටා ඝාතනයට සැලසුම් හතරක් තිබිලා

අල්ලපු ලුතිනන් කර්නල්වරයා පාතාලයට අවස්ථා හයකදී උණ්ඩ දීලා

මෙරට පාතාලයේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානම පෙළේ අපරාධකාරයන් දෙදෙනෙක් වන හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ අතර පවතින්නේ බද්ධ වෛරයකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ ආධිපත්‍යය තමන් සතුකර ගැනීම මෙන්ම පාතාල කිරුළ දිනා ගැනීම වෙනුවෙන් මොවුන් අතර පවතින්නේ ලොකු සටනකි. එහෙත් මේ පාතාල මැරයන් දෙදෙනා අතර පවතින වෛරය දෙගුණ තෙගුණ වන්නට හේතු වූයේ ගෑනු හුටපටයක් බවද මේ වනවිට හෙළි වී තිබෙයි.

මේ වෛරය එකිනෙකා මරා ගන්නා තරමේ ගැටුමක් දක්වා උත්සන්න වී ගොස් තිබෙයි.

කෙහෙල්බද්දර පද්මේ තම ප්‍රතිවාදියා එහෙමත් නැත්නම් බද්ධ වෛරක්කාරයා ඝාතනය කිරීමට කළ සැලසුම් ඉතිහාසයේ කිසි දිනක පාතාල මැරයන් විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහයක්වත් දැරූ ඒවා නොවීම විශේෂත්වයකි.

මේ සියලු ප්‍රහාරක සැලසුම් පිටුපස සිටි මහමොළකරු එහෙමත් නැත්නම් පද්මේගේ පාතාල කල්ලියේ නායකවරයා ලෙස කටයුතු කළේ කොමාන්ඩෝ සලින්තය. දීර්ඝ කාලයක් තිස්සේ යුදහමුදා කොමාන්ඩෝ බළකායේ සේවය කරමින් හසල දැනුමක් සහ අත්දැකීම් ලබාගෙන සිටි සලින්ත පසු කලෙක ඒ දැනුම මහා පාතාල අපරාධ සඳහා යොදා ගත්තේය.

ගණේමුල්ලේ සංජීව අධිකරණ ශාලාව තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට ක්‍රියාත්මක කළ පාතාල මෙහෙයුමේ මහ මොළකරු වූයේ ද කොමාන්ඩෝ සලින්තය. සංජීව ඝාතනයට ක්‍රියාත්මක කළ මෙහෙයුම පාතාල කල්ලියක් විසින් ඉතිහාසයේ එල්ල කළ ඉතාම සැලසුම් සහගතව ප්‍රහාර කීපයෙන් එකක් ලෙස ඉතිහාසගත වුණේය.

පද්මේ සහ හරක් කටා අතර පැවති වෛරය උඩු දුවන්නට හේතු වී තිබුණේ අනියම් ඇසුරක් සම්බන්ධයෙන් ඇති වී තිබූ ආරවුලකි. හරක් කටා ඇතුළු පාතාල කල්ලිය මැඩගස්කරයේදී එරට ආගමන විගමන නිලධාරීන් ඝාතනයට පත්වනවිට ඔහුගේ අනියම් බිරිඳ ද ඔවුන් සමග එකට සිටියාය. ඒ වනවිට ජාත්‍යන්තර රතුවරෙන්තු නිකුත් කර තිබුණේ හරක් කටාට සහ කුඩු සලිඳුට පමණක් නිසා ඔවුන් දෙදෙනා රඳවාගෙන සෙසු පිරිස මුදාහැරීමට මැඩගස්කර ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබුණේය. හරක් කටාගේ අනියම් බිරිඳ මෙන්ම ඇය සමග සිටි තවත් කීපදෙනකු ඩුබායි රාජ්‍යය වෙත නැවත පිටුවහල් කර තිබිණි.

හරක් කටාගේ අනියම් බිරිඳ ද ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටියාය. හරක් කටා ශ්‍රී ලංකාවට රැගෙන යෑමෙන් පසු ඔහුගේ අනියම් බිරිඳ ඩුබායි රාජ්‍යයේ තනි වූවාය. යළි කිසි දිනක හරක් කටාට ඩුබායි රාජ්‍යයට පැමිණීමට නොහැකි බව හොඳාකාරවම දැන සිටි අනියම් බිරිඳ තමන්ට සහකරුවකු හොයන්නට විය.

ඒ වනවිට කෙහෙල්බද්දර පද්මේ පාතාලයේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ ද කෙළිකාරයකු බවට පත්ව සිටියේය. තතුදත් ආරංචිමාර්ග පවසන්නේ හරක් කටාගේ අනියම් බිරිඳ කෙහෙල්බද්දර පද්මේගේ කුඩු රාජධානියේ අගමෙහෙසිය වූ බවයි.

ඒ වනවිට හරක් කටා මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගෙන තිබූ අතිවිශාල ධනස්කන්ධයෙන් වැඩි කොටසක් තිබුණේ ඔහුගේ අනියම් බිරිඳ සතුවය. ඒ සියලු ධනයත් සමග ඇය පද්මෙගේ අනියම් බිරිඳ බවට පත්වීම හරක් කටාට දරාගත නොහැකි කෝපයක් ගෙනදුන් සිදුවීමක් විය.

ඒ වනවිට හරක් කටා බන්ධනාගාරගතව සිටිය ද ඔහු දන්නා සෙල්ලනං දමමින් පද්මේට පාඩමක් ඉගැන්වීමට උත්සාහ ගත්තේය. ඒ බව දැන සිටි කෙහෙල්බද්දර පද්මේ ද හරක් කටා පරලොව යැවීමට සුපිරි ප්‍රහාරක සැලසුම් කීපයක්ම සකස් කළේය. මේ පාතාල සෙල්ලමේ ඉස්සර වූ එකා දිනන බව ඔවුන් දෙදෙනා හොඳාකාරවම දැන සිටියෝය.

හරක් කටා පරලොව යැවීමේ සියලු සැලසුම් සකස්වන්නේ කොමාන්ඩෝ සලින්තගේ උපදෙස් මතය.

ගණේමුල්ලේ සංජීව මරා දැමීමට ක්‍රියාත්මක කළ ප්‍රහාරක සැලසුමට නොදෙවෙනි එකක් සකස් කිරීමට ඔවුන්ට අවශ්‍ය විය.

හරක් කටා මරණ සැලසුම් වැලක්

කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත මුලින්ම උත්සාහ කළේ හරක්කටා බන්ධනාගාරයේ රඳවා සිටිය දී ඉතාම සූක්‍ෂම ආකාරයට ඔහු මරා දැමීමටය.

කෙහෙල්බද්දර පද්මේගේ සහචරයන් කොයි මොහොතක හෝ තමා ඝාතනය කරන බව දැන සිටි හරක් කටා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ හැකි හැම ක්‍රමෝපායක්ම ක්‍රියාත්මක කර ගත්තේය. ඒ සඳහා තම නීතිඥවරුන්ගේ සහාය ද අධිකරණය හරහා ලබාගැනීමට ඔහු නොගත් උත්සාහයක් නැත.

තමන් ගන්නා ආහාරවලට වස එක්කර තමන් මරා දැමීමට පද්මේ ඇතුළු පාතාල කල්ලිය උත්සාහ කරන බව හරක් කටාට කලින්ම ආරංචි වී තිබුණේය. ඒ නිසා ඔහු පිටින් ආහාර ගන්නට අධිකරණයෙන් ඉල්ලීමක් ද කර තිබුණේය.

කෙසේ වෙතත් පද්මෙලාගේ සැලසුම වී තිබුණේ විෂ එන්නත් කර හරක් කටා ඝාතනය කිරීමටය. ඒ සඳහා සිය ගෝලබාලයන් යොදා අවස්ථා කීපයක දීම උත්සාහයන් කර තිබුණ ද හරක් කටාට ලබා දී තිබූ විශේෂ ආරක්ෂාව නිසා එය කල නොහැකි විය.

බන්ධනාගාරය තුළ දී හරක් කටාට ප්‍රහාරයක් එල්ල කිරීම පහසු කටයුත්තක් නොවන බව පද්මේ සලින්ත ඇතුළු පාතාල සගයන් හොඳාකාරවම දැන සිටියහ. හරක් කටා ඝාතනය කරනවානම් ඒ එකම අවස්ථාව ඔහු අධිකරණයට රැගෙන එන අවස්ථාවේ ඔහු මරා දැමීම බව පද්මේ දැන සිටියේය.

නීතිඥවරයකුගේ වෙස් ගෙන අධිකරණය තුළට සිය ගෝලයකු යවා ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට කළ ඒ සැලසුම නැවත කළ නොහැකි බව ඔවුන් දැන සිටියහ. ඒ නිසා අධිකරණය වෙත රැගෙන එද්දී ප්‍රහාරයක් එල්ල කිරීම ඔවුන්ගේ සැලස්ම විය. හරක් කටා අධිකරණයට රැගෙන එද්දී ඔහුට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා යොදා සිටියහ. මේ දැඩි ආරක්ෂාව නිසා කිසිවකුටත් හරක් කටා සමීපයට යා නොහැකි බව පද්මේ මෙන්ම සලින්තද දැන සිටියෝය.

හරක් කටා අධිකරණය වෙත රැගෙන යද්දි මාධ්‍යවේදීන් පොරකමින් ඔහු ආසන්නයට යන ආකාරය පද්මේ රූපවාහිනියේ ප්‍රවෘත්ති ඔස්සේ නැරඹුවේය. හරක් කටා මාධ්‍ය හරහා නොයෙකුත් වීරකම් කියමින් යන ආකාරය ඔහු දුටුවේය. හරක් කටා ඝාතනය කිරීමේ අලුත් සැලසුමක් පද්මේගේ ඔළුවට එන්නේ ඔය අතරතුර දීය.

අධිකරණය වෙත හරක්කටා රැගෙන එද්දි ඔහු සමීපයට යාහැකි එකම පිරිස වන්නේ මධ්‍යවේදීන් පමණක් බව පද්මේ දුටුවේය. මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගෙන ගොස් හරක් කටා ඝාතනය කිරීමේ සැලසුම පද්මේගේ ඔළුවට ආවේය. ඔහු ඒ බව තාම සමීපතම සගයා වූ කොමාන්ඩෝ සලින්තට ද කීවේය. සලින්තද ඒ සැලසුම එක පයින් අනුමත කළේය.

මේ ප්‍රහාරය සඳහා බැකෝ සමන්තගේ ද සහාය ලබාගන්නට පද්මේ තීරණය කළේය. ඒ වනවිට පද්මේ ඇතුළු පාතාල නඩය සිටියේ ඩුබායි රාජ්‍යයේය. පද්මේ සිය පාතාල කල්ලියේ මෙරට ප්‍රධානියකු වන බැකෝ සමන්තට දුරකථනයෙන් කතා කර සිය සැලසුම පිළිබඳ විස්තර කළේය.

ප්‍රහාරය එල්ල කරන ආකාරයත් ඊට නියම පුද්ගලයන් සම්බන්ධ කරගන්නා ආකාරයත් පැහැදිලි කළේ කොමාන්ඩෝ සලින්ත විසින්ය. මෙවැනි ප්‍රහාරය එල්ල වූවොත් එය පාතාල ඉතිහාසයේ සිදු වූ මුල්ම ප්‍රහාරය ලෙස ඉතිහාසගත වනු ඇත්තේය. මේ ප්‍රහාරය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබාගැනීම සඳහා අන්තර්ජාලය පරිශීලනය කරන ලෙස සලින්ත පස්දේවාට උපදෙස් දුන්නේය.

සලින්තගේ සැලසුම වී තිබුණේ කැමරාවක් තුළ පිස්තෝලය ඉතාම සූක්ෂමව ලෙස සවිකර කැමරා මාධ්‍යවේදියකු ලෙස ගොස් හරක් කටාට වෙඩි තබා ඝාතනය කිරීමය.

ප්‍රහාරය එල්ලකිරීම සඳහා කොමාන්ඩෝ බළකායෙන් පලා ගිය සෙබළකු යොදා ගැනීමට සලින්ත සැලසුම් කළේය. මේ අතර මෙම ප්‍රහාරයේ තවත් මෙහෙයුම්කරුවකු ලෙස පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටින පුද්ගලයකු ද එකතු කර ගත්තේය.

ඔහු නමින් විමල්ය. රාජකාරි කළේ පහත්බිම් සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ රියැදුරකු ලෙසය. විමල් බැකෝ සමන්ගේ පාසල් මිතුරෙකි. මිද්දෙණියේ පදිංචිකරවකු වූ විමල් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ කාමරයක නවාතැන් ගෙන රැකියාව කළේය. රියැදුරු රැකියාවට අමතරව විමල් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියේය. ඔහු අලෙවි කළේ කෙහෙල්බද්දර පද්මේ එවූ මත්ද්‍රව්‍යය. මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා පද්මේ විමල් සමග සමීපව ගනුදෙනු කළේය.

හරක් කටා ඝාතනය කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ප්‍රහාරක සැලසුමේ බරපතළම කාර්යයන් භාර වී තිබුණේ විමල් වෙතය. ඒ වනවිට පස් දේවා ද මේ ප්‍රහාරය සඳහා අවශ්‍ය කරන දැනුම මෙන්ම ඊට වුවමනා සියල්ල රැස් කරගෙන සිටියේය.

කුරුණෑගල ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ වීඩියෝ කැමරාවක් මිලදී ගත් පස් දේවා එය විමල්ට භාර දී තිබුණේය. එමෙන්ම ප්‍රහාරයට අවශ්‍ය කරන කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් පස්දේවා අතට පත් කිරීමට කටයුතු කර තිබුණේ බැකෝ සමන් විසින්ය.

පස් දේවා සහ විමල් එක්ව වීඩියෝ කැමරාව ඇතුළත කොටස් කීපයක් ඉවත් කර ඒ තුළ පිස්තෝලය සවිකිරීමේ කටයුතු කළහ. පිස්තෝලයේ මිට ප්‍රදේශය ඉවත් කර එය කැමරාව තුළ සූක්ෂම ලෙස සවි කිරීමට ඔහුට හැකි විය. කැමරාව තුළ සවිකර තිබෙන පිස්තෝලයේ නූලක් ඇද කොකා ගැස්සවීම හැකි අයුරින් එය සකස් කළේය.

ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා නීතිඥවරයකු ලෙස වෙස්වලාගෙන යෑම කොමාන්ඩෝ සලිඳුට නීතිඥ හැඳුනුම්පතක් ද සකස් කර දීමට කොමාන්ඩෝ සලින්ත කටයුතු කර තිබුණේය. ඒ ආකාරයට මාධ්‍යවේදියකු ලෙස ඝාතකයාට අධිකරණය වෙත යෑම සඳහා මාධ්‍ය හැඳුනුම්පතක් ද සකස් කර දීමට සලින්ත කටයුතු කළේය. ඒ සියලු කටයුතු කර තිබුණේ විමල් විසින්ය.

ප්‍රහාරක සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර පස් දේවා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේය. පස් දේවා කොටු වී සති කීපයක් ගතවන්නට මත්තෙන් කෙහෙල්බද්දර පද්මේ ප්‍රමුඛ පාතාල නඩයම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූහ.

මාධ්‍යවේදියකු ලෙස ගොස් හරක් කටා ඝාතනය කිරීමේ ප්‍රහාරක සැලසුම එතැනින් අවසන් විය. පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ සිටි බැකෝ සමන් මේ සියලු තොරතුරු එකින් එක හෙළි කරන්නට පටන් ගත්තේය.

මාධ්‍යවේදියකු ලෙස ගොස් හරක් කටා ඝාතනය කළ සියලුම සැලසුම් අනාවරණය කරගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි විමල් පදිංචි කුලී නිවස වට කළේය. අන්තිමේදී විමල් පොලිසියට කොටු වන්නේ හරක් කටා ඝාතනයට සූදානම් කර තිබූ පිස්තෝලය ද සමගය.

විමල්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සියලු තොරතුරු අනාවරණය වන්නට විය. පද්මෙයි සලින්තයි පොලිසියට කොටු වුණා කියලා දැනගත්තට පස්සේ හරක් කටා මරන්න කරපු ප්ලෑන් එක නතර කළා. මාධ්‍යවේදියෙක් විදිහට යන්න ලෑස්ති කරපු කැමරාවයි හොරෙන් හදපු මාධ්‍ය හැඳුනුම්පතයි දෙකම පුච්චලා දැම්මා. විමල් සියලු තොරතුරු හෙළි කළේය. පුළුස්සා දමා තිබූ කැමරාවේ කොටස් සහ ව්‍යාජ මාධ්‍ය හැඳුනුම්පතේ කොටස් පොලිසිය විසින් සොයා ගත්හ. හරක් කටා අධිකරණය තුළට රැගෙන එද්දී ඔහු මරා දැමීමට පද්මේ ඇතුළු පාතාල මැරයන් සකස් කළ ඉතාම සූක්‍ෂම මෙහෙයුම පිළිබඳ සියලු තොරතුරු සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු නිලධාරීන් විසින් හෙළි කර ගත්හ.

ප්‍රහාරය එල්ල කිරීමට සූදානමින් සිටි යුද හමුදා කොමාන්ඩෝ බළකායෙන් පලා ආ සෙබළා පමණක් මේ වනතුරු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.

මාධ්‍යවේදියකු ලෙස ගොස් හරක් කටා ඝාතනය කිරීමට සැලසුම් කළ ගේම් 01 මෙහෙයුම අසාර්ථක වූවොත් ‘ගේම් 02’ ලෙස තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට කොමාන්ඩෝ සලින්ත සැලසුම් කර තිබුණේය.

ඒ සැලසුම පිළිබඳ සියලු තොරතුරු අනාවරණය වන්නේ කොමාන්ඩෝ සලින්තට යුද හමුදා අවි ආයුධ විකිණූ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදීය.

කොමාන්ඩෝ සලින්තට ආයුධ විකිණීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයා පිළිබඳ තොතුරු ලැබෙන්නේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ‘වලස් කටා’ නමැති පාතාල ප්‍රබලයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මතය.

‘වලස් කටා’ අත්අඩංගුවට ගත් මුල් දිනවල ඔහු කියා තිබුණේ යුද හමුදා ජීප් රථයක පැමිණි හමුදා නිලධාරියෙක් තමන්ට ටී 56 ජීව උණ්ඩ තොගයක් සහ ආයුධයක් ලබාදුන් බවයි.

මේ තොරතුරු ඔස්සේ විමර්ශන කළ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් වලස් කටාට ආයුධ ලබාදුන් හමුදා නිලධාරියා පැමිණි ජීප් රථය හඳුනාගත්හ. දැඩි පරිශ්‍රමයකින් පසු ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් මෙම ජීප් රථය සහ එය පාවිච්චි කරන හමුදා නිලධාරියා පිළිබඳ තොරතුරු දැනගන්නට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට හැකි විය.

ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් මේ හමුදා නිලධාරියාගේ පැටිකිරිය සොයන්නට පටන් ගත්තේය. හමුදා නිලධාරියා කලක් යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සිටි දක්‍ෂ නිලධාරියකු විය. ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු රාත්‍රී සමාජ ශාලාවලට නිතර යන්නට එන්න ඇබ්බැහි වූ පුද්ගලයකු විය. එමෙන්ම මොහු කැසිනෝ ක්‍රීඩාවට ද තදින් ඇබ්බැහි වූවකු බව පොලිසිය සොයා ගත්තේය.

මේ වනවිට මේ හමුදා නිලධාරියා යාපනය මල්ලාවි ප්‍රදේශයේ කඳවුරක අණදෙන නිලධාරියකු ලෙස කටයුතු කරන ලුතිනන් කර්නල්වරයකු බවද පොලිස් නිලධාරීන් අනාවරණය කර ගත්හ.

ඒ අනුව මේ හමුදා නිලධාරියාට පෑලියගොඩ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර තිබිණි. පොලිස් නියෝගවලට කන්දුන් හමුදා ලුතිනන් කර්නල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය. ඒ වනවිට මොහුගේ පැටිකිරියෙන් බොහෝ දේ ලින්ටන් සිල්වා මෙන්ම රොහාන් ඕලුගල ද සොයාගෙන සිටියහ.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ලුතිනන් කර්නල්වරයා අත්අඩංගුවට ගත්තේය. පරීක්‍ෂණවලින් හෙළි වී තිබුණේ අවස්ථා හයකදී මේ ලුතිනන් කර්නල්වරයා ටී 56 ජීව උණ්ඩ 1000කට අධික ප්‍රමාණයක් සහ ගිනි අවි කොමාන්ඩෝ සලින්තට අලෙවි කර ඇති බවයි. ඒ වෙනුවෙන් කොමාන්ඩෝ සලින්ත අවස්ථා හයක දී ලුතිනන් කර්නල්වරයාගේ බැංකු ගිණුම වෙත රුපියල් ලක්‍ෂ හයහමාරක මුදලක් බැර කර ඇති බවද පොලිසිය සොයා ගත්තේය.

කොමාන්ඩෝ සලින්ත සහ ලුතිනන් කර්නල්වරයා අතර ඇති සමීප සබඳතාව හෙළිවන්නේ ඔය අතරතුර දීය.

සලින්ත කොමාන්ඩෝ බළකායේ රාජකාරි කරද්දී ඔහු සිට ඇත්තේ සැකකාර ලුතිනන් කර්නල්වරයාගේ රැකවලා. එහෙමත් නැත්නම් බඩියා ලෙසය. මේ සමීප සම්බන්ධතාව සලින්ත කොමාන්ඩෝ බළකාය හැර ගිය පසුවත් ඒ අයුරින්ම පැවැතිණි. ඒ සම්බන්ධය උපයෝගී කරගෙන කොමාන්ඩෝ සලින්ත ලුතිනන් කර්නල්වරයා සමග අවි ජාවාරමටත් ඉඩකඩ සලසාගෙන තිබුණේ ය.

මේ ප්‍රශ්න කිරීම් අතරතුර ලුතිනන් කර්නල්වරයා තවත් ඉතාම වැදගත් තොරතුරක් අනාවරණය කළේය.

හරක් කටා අධිකරණය වෙත රැගෙන එද්දී ඒ ඉදිරිපිට මාර්ගයේදී ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එලල් කර ඔහු ඝාතනය කිරීමට පද්මේ සහ සලින්ත කර තිබූ සැලසුමක තොරතුරු අනාවරණය වුණේ ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේ දීය.

“කොමාන්ඩෝ සලින්ත මට එම යෝජනාව ගෙනාවේ මීට මාස කිහිපයකට ඉස්සර. මිනිහා මට කතා කරලා ක්ලේමෝ බෝම්බ දෙකක් ඉල්ලුවා. මම දෙන්න බැහැ කිව්වා. ඒත් මිනිසා අවස්ථා ගණනාවකදී මට දුරකථනයෙන් කතා කරලා ක්ලේමෝ බෝම්බ දෙකක් ඉල්ලලා කරදර කළා.

ලුතිනන් කර්නල්වරයා හෙළි කළ තොරතුරු ඉතාම බරපතළ එකක් විය. ක්ලෝමෝ බෝම්බ ඔහු විසින් ලබානොදුන් බව කීවද පොලිසිය සැක පහළ කරන්නේ ඒ බෝම්බ ගනුදෙනුව සිදුවන්නට ඇති බවටයි.

උතුරේ ඇතැම් හමුදා කඳවුරුවල එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අල්ලාගත් අවි ආයුධ සහ බෝම්බවල නිසි සංගණනයක් නොතිබෙන බව නොරහසකි. එවැනි තත්ත්වයක් උඩ ලුතිනන් කර්නල්වරයාට ක්ලේමෝ බෝම්බ දෙකක් යනු අපට පාන් රත්තල් දෙක්ක බඳුයි. ඒ නිසා පොලිසිය සැකකරන්නේ සලින්ත ඉල්ලා සිටි ක්ලෝමෝ බෝම්බ දෙක ඔහුට දෙන්නට ඇති බවය.

කෙසේ වෙතත් පද්මේ සලින්ත ඇතුළු පාතාල නඩය අත්අඩංගුවට පත්වීමත් සමගම හරක් කටා ඝාතනයට කළ ඒ සැලසුම් ද අකර්මණ්‍ය වී ගොස් තිබුණේය. කොමාන්ඩෝ සලින්ත සහ කෙහෙල්බද්දර පද්මේ ආරක්‍ෂක අංශ සාමාජිකයන් සමග පැවැත්වූ සම්බන්ධතා මේ වනවිට එකින් එක හෙළිවෙමින් තිබෙයි.

මේ අපරාධකාරයන් විසින් ඝාතන සිදු කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමට මෙරට ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගෙන් විශාල සහයක් ලබාගෙන තිබෙන බව පැහැදිලිය.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේ කෙහෙල්බද්දර පද්මේ සමග පැවැති සම්බන්ධතාවන් නිසාය. මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මේ උප පොලිස් පරීක්‍ෂකවරයා වසර පහක හයක කාලයක් තිස්සේ රාජකාරි කරන්නේ ගම්පහ ප්‍රදේශයේය.

ඒ කාලය පුරාම මොහු කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පවත්වමින් තොරතුරු ලබාදීම ඇතුළු නොයෙකුත් අකටයුතු ක්‍රියාවන්ට පද්මේට සහාය වී ඇති බව හෙළිවී හමාරය.

මේ අතර කොමාන්ඩෝ සලින්ත සමග සමීප සබඳතා පවත්වමින් ටී56 ජීව උණ්ඩ සහ ආයුධ අලෙවි කිරීමේ චෝදනාව මත ගණේමුල්ල කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයකු ද සී.අයි.ඩී. යට කොටු වුණේය.

මේ ආකාරයට මුදලට ආයුධ විකිණූ සහ තොරතුරු ලබාදුන් ආරක්‍ෂක අංශ සාමාජිකයන් එකා දෙන්නා පොලිසියට කොටුවෙමින් සිටිති.

පද්මේගේ පාතාල ජාලය මොනතරම් ශක්තිමත්ව ක්‍රියාත්මක වී තිබුණේ ද යන්න මේ විමර්ශනයන් හරහා අනාවරණය වෙමින් පවතී.

පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු පාතාල නඩය පොලිසියට කොටුවීමත් සමගම එක දිගට සිදුවූ මිනිස් ඝාතන සහ අපරාධ රැසක් එකවරම පහත වැටුණේය. ඉන් පෙනී ගියේ පසුගිය කාලයේ රටේ සිදුවූ අපරාධ බොහොමයක් පිටුපස සිටියේ පද්මේ ඇතුළු මේ පාතල මැරයන් බවය.

පසුගිය කාලයේ රටේ ආන්දෝලනයට ලක්වූ අපරාධයකට සම්බන්ධ පුද්ගලයකු අද හෙට ම ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය. පද්මේගේ කල්ලියට සම්බන්ධව මේ අපරාධකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් ආරක්‍ෂක අංශ පිඹුරුපත් සකස් කර හමාරය. පද්මේ ඇතුළු පාතාල මැරයන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමේ පුවත මුළු පාතාල ලෝකයම තුෂ්නිම්භූත කරවීමට සමත් වී ඇත්තේය.

විදේශගතව සිටින පාතාල මැරයන් සියලුදෙනා ම පාහේ මේ වනවිට විරසකවී සිටිති. මීට පෙර කිසි කලෙක මේ ආකාරයේ බියක් විදේශගතව සිටින පාතාල මැරයන්ට දැනී තිබුණේ නැත.

මේ අතර පාතාල ලෝකයේ සදාතනික වූ වෛරකාරයන් පවා මේ වනවිට එකතු වෙමින් සිටිති. ඒ ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහාය.

දේශපාලන ලෝකයේ මෙන්ම පාතාල ලෝකයේ ද සදාතනික මිතුරන් නැත. සදාතනික සතුරන් ද නැත. කලක් වෛරකාරයන්ව සිටින පාතාල මැරයන් පසු කලෙක ගජමිතුරෝ බවට පත් වෙති.

මාකඳුරේ මධුෂ් , කංචිපානි ඉම්රාන් ඇතුළු පාතාල මැරයන් පිරිසක් ඩුබායි රාජ්‍යයේදී එරට පොලිසියට අල්ලා දීමට ඔත්තුව දී තිබුණේ අන්නාසි මොරිල් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාය. කලක් කංචිපානි ඉම්රාන්ගේ බද්ධ වෛරක්කාරයාව සිටි මොරිල් මේ වනවිට ඔහුගේ සමීපතම මිතුරකු බවට පත්ව සිටියි. මොරිල් කංචිපානි ඉම්රාන් සහ කොස්ගොඩ සුජී මේ වනවිට සිටින්නේ ප්‍රංශයේ පැරිස් නගරයේය. ඔවුන් එකට එකතු වී පාතාල අපරාධවල මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටිති.

විදේශගතව සිටින මෙරට පාතාලයන්ට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ආරම්භ කරද්දී විරසකවී සිටින මැරයන් එකට එකතු වන්නට පටන් ගත්තේ උන්ගේ ආරක්‍ෂාවටය.

අපරාධ කරමින් විදේශ රටවල සැඟවී සුර සැප විඳින මේ පාතාල මැරයන්ට හෙට දිනයේ සිදුවන්නේ කදමලු බැඳගෙන ගම රට බලා ඒමටය.

හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here