කඩවත – මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීම නතර කළේ පඬු කරඳ ගස නොවේ…රටේ ආර්ථික කඩාවැටීමයි

0
10

කෲඩියා ගැන, දේවානිලා ගැන යළිත් සමහරු කතාකරනු පෙනේ. ඒ ජනාධිපති අනුර කුමාරගේ සහභාගිත්වයෙන් 17 දා නැවත මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් පටන් ගැනීම නිසා ය. සමහරු චෝදනා කරනු පෙනෙන්නේ ‘කෲඩියා’(Crudia ceylanica) ගහ නොහොත් ‘පඬු කරඳ’ (පණු කරඳ) ගහක් බදාගන නටපු නාඩගමක් නිසා කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නැවතුණ බවකි.

“කෝ මේ දේවානි ලා” යැයි සමහරු අසති. නමුත් මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් නතරවීම හා බැඳුණු සත්‍යය එයද ? සත්‍යය එය නොවේ. මැරිලා ඉපදුණු මෙවැනි කතා කියන ගොන්වහන්සේලාට අපට කියන්නට ඇත්තේ සත්‍ය වශයෙන්ම, සිදුකරමින් පැවති කඩවත – මීරිගම අධිවේග මාර්ගයේ ඉදිකිරීම් නැවතුණේ රටේ ආර්ථික කඩාවැටීමත් සමග සියලු විදෙස් ණය ව්‍යාපෘති මේ රටේ නවතා දැමීම නිසා බවය. චීන එක්සිම් බැංකුවේ ණය ව්‍යාපෘති ඇතුළු ජපන්-ජයිකා ව්‍යාපෘති 15 කට ආසන්න ගණනක් වහාම නවතා දැමීම සිදුවිය. එතෙක් ලහි ලහියේ චීනුන් විසින් ඉදිකරමින් පැවති මෙම අධිවේග මාර්ගයේ එතෙක් කරමින් සිටි කණු මත කොන්ක්‍රීට් ‘බීම්’ එළීම නතර වූවා පමණක් නොව, විටෙක එවැනි කොන්ක්‍රීට් ‘බීම්’ කඩා වැටීම් ගැනද මාධ්‍ය වාර්තා කළේය. කොටින්ම කොන්ක්‍රීට් ‘බීම්’ සාදන ගම්පහ කඳවුරු බිම -(Site), ‘බෙම්මුල්ල කඳවුරු බිම’’ මීරිගම කඳවුරු බිම ඇතුළු වැඩබිම් කිහිපයක්ම වල් වැදී ගියේ කණු අතර එළන්නට සාදන ලද එවැනි ‘බීම්’ රාශියක්ද එහෙමම වල්වදින්නට ඉඩහැරය. ඒවා මේ කියන මොහොත වන විටත් අදාළ වැඩ බිම් තුළ දකින්නට ඇත්තේ ඒ සඳහා භාවිත කරන යෝධ අච්චු පවා දිරා යන පසුබිමක ය.

කෙසේ හෝ මෙම කෲඩියා ගස සහ අදාළ සිද්ධිය ගැන දිගින් දිගටම කතා කළ මාධ්‍යකරුවකු ලෙස වර්තමානයේ ව්‍යාජය පතුරුවන ගොන්වහන්සේලාගේ එම කතාව පැහැදිලි සිංහලෙන් යළිත් සමාජයට කියන්නට අවශ්‍ය බව සිතන්නේ ඊට පාදක වූ සත්‍යය කියන්නට ඕනෑ නිසාය. නැතහොත් මොවුන් දෙසන වැරදි සමාජගත වන නිසාය. මේ දක්වා කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නැවතී තිබුණු අතර, මෙම මාර්ග ව්‍යාපෘතියට සමාන්තරව තැනින් තැනදී සමීප වන දුම්රිය මාර්ගයේ දුම්රිය තුළ උදේ-සවස ගමන් ගන්නා මගීන් ඉතා හොඳින් දන්නා කාරණය නම්, ගම්පහ – වේයන්ගොඩ අතර අධිවේගයේ කණු උඩ ඉදිව තිබුණු කොටස්වල දමා ඇති කොන්ක්‍රීට් බීම් මත යම් ආස්තරණයක් එළීමේ කටයුතු මාස දෙක – තුනක පමණ සිට සිදුවෙමින් පවතින බවයි. ශ්‍රී ලාංකික ඉදිකිරීම්කරුවන් සහ චීන ජාතිකයන්ගෙන් සමන්විත මෙම ඉදිකිරීම් කණ්ඩායම් එතෙකින් නොනැවතී දැනට මාසයක කාලයක් ඇතුළත අත්තනගලු ඔය (දාරළුව දුම්රිය ස්ථානය අසළ) දෙපස ඉවුරුවල ෆයිල් ගසා, එහෙත් වතුරට යටව තිබුණු යකඩ කම්බි පාදා ඒ මත ඉදි නොකළ කණු සම්පූර්ණ කරනු ද දක්නට ලැබේ. එනිසා නුදුරු අනාගතයේදී මධ්‍යම අධිවේග මාර්ගයේ කඩවත – මීරිගම කොටස සම්පූර්ණ කිරීමේ ඉඟි පහළ වී තිබිණි. 17 දා නැවත මාර්ගයේ නව රජය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා අතින් වැඩ ආරම්භ වන්නේ මෙවන් පසුබිමක ය.

නමුත් කතාව එය නොවේ. ඇතැමුන් කියන පරිදි මෙම අධිවේග මාර්ග කොටසේ වැඩ නතර වූයේ ‘කෲඩියා’ නොහොත් ‘පඬු කරඳ’ ගසට දක්වන ලද විරෝධතාව නිසාද යන්න ය. සැබැවින්ම මෙරට පරිසරවේදීන් සහ වන සංරක්ෂණයට අදාළ නිලධාරීන් අතළොස්සක් සහ තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම ගස බේරාගන්නට වෙර වීරිය දැරුවේ ඒ වන විට මෙම ‘පඬු කරඳ’ ශාක විශේෂය වසර 50 කින් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවී, වඳවී ගොස් ඇති බවට ලෝකයේ ලිපි ලේඛනවලට ඇතුළත්ව තිබුණු නිසා ය. එනම්, ජාතික රතු දත්ත වාර්තාව පමණක් නොව, උසස් පෙළ ජීව විද්‍යා පොතේ පවා මෙම ගස නම්කර තිබුණේ ශ්‍රී ලංකාවෙන් වඳවී ගිය ශාකයක් ලෙස ය. එවන් විටෙක නැවත මෙම ශාකය අධිවේගී මාර්ග ව්‍යාපෘතිය තුළින් වාර්තාවීම ලෝක ජයග්‍රහණයකි. මෙම ශාකය නැවත වර්තාකරන්නට සමත් වූයේ ප්‍රකට ශාක විද්වතෙක්, පර්යේෂකයෙක් වන හිමේෂ් ජයසිංහ විසිනි. ඒ අප දන්නා තරමින් මාර්ග ව්‍යාපෘතිය නිසා අභියෝගයට ලක්වන වෙනත් ශාක විශේෂ කිහිපයක් පිළිබඳව සොයාබැලීම සඳහා ඔහු තවත් ජීව විද්වතුන් පිරිසක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමග ගම්පහ – දාරළුව දුම්රිය ස්ථානයට යාබදව (එනම් කෲඩියා ගස තිබුණු වගුරු කැලෑ මණ්ඩිය තුළ) සොයා බැලීමක නිරතව සිටීම නිසා ය.

අතරමග නතර වූ අධිවේගය

මෙහිදී මෙම ශාකය ‘කෲඩියා සිලනිකා’ නොහොත් ‘පඬු කරඳ’ ශාකය ලෙස ඔහු විසින්ද ඍජුවම හඳුනා නොගන්නා නමුදු නොදන්නා ශාකයක් නිසා මෙම ගස පිළිබඳව ඔහු තුළ හටගන්නා කුකුසක් ලබාගන්නා ප්‍රතිඵලයක් ලෙසිනි. එනම්, දාරළුවේ මෙම නොහඳුනන ගස අසළින් නික්මෙන හිමේෂ් ජයසිංහ නැවත තනි පංගලමේ මෙම වගුරු බිමේ වන වදුලට වදින්නේ මෙම නොහඳුනන ගසේ මල් පිපී තිබේ යැයි කියා මිතුරකු ඔහුට දෙන ආරංචිය අනුව ය. එම, මල්, පත්‍ර, ඵල යනාදිය රැගෙන ගොස් පේරාදෙණියේ ‘ජාතික ශාකාගාරයේ’ පැරණි පොත් පෙරළනවිට සැසඳුණු සාම්පල් පරීක්ෂාව අනුව මෙසේ වසර 50 කට පෙර වඳව ගිය ‘කෲඩියා සිලනිකා’ නොහොත් ‘පඬු කරඳ’ නාමය නැවත ලෝක උද්භිද ලේඛනවල සටහන් වන්නේ ශ්‍රී ලංකාවේදී වඳවී ගිය ශාකයක් නැවත දාරළුව අධිවේගී මාර්ග වැඩබිමෙන් වාර්තා වේ’ යනුවෙනි.

නමුත් ගැටලුව වූයේ එසේ නැවත සොයාගන්නා ලද ‘පඬු කරඳ’ ශාකය හරියටම සළකුණු කර ඇති අධිවේගී මාර්ගය මැදින්ම පිහිටීම නිසා මාර්ගය ඉදිකරන විට හානියට ලක්වීමේ අභියෝගයයි. සමාජ කථිකාවතක් ඇතිවන්නේ එතැන් පටන් ය. රතු දත්ත වාර්තාවෙන් මෙසේ තර්ජනයට ලක්ව ඇති බවට හෝ වඳවී ගොස් නැවත හමුවූ හෝ බවට දැක්වෙන ශාකයක නීතිමය ආරක්ෂාව භාර වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. මේ බව දැනගන්නා එවක ගම්පහ වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, ඉන්ද්‍රජිත් මහතා මේ බව තම දෙපාර්තමේන්තු ප්‍රධානියාට, මධ්‍යම පරිසර අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කර මෙම ශාකය ආරක්ෂා කරන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලිඛිතව ඉල්ලා සිටියේ ය. ඒ වන විට කඩවත – මීරිගම කොටසේ අධිවේගී මාර්ගය කිසිසේත් ආරම්භව නොතිබුණු අතර මාර්ගය මැන තැන තැන සිටුවන ලද මායිම් කණු පමණක් තිබිණි. ඝන කැලෑවෙන් ගහන දාරළුව ප්‍රදේශය එවකට අවශ්‍ය නම් මේ සිද්ධිය නිසා පඬු කරඳ ගස මදක් මගහැර මාර්ගය නැවත මැන සකස් කරන්නට හොඳටම කාලය තිබුණු වකවානුවකි.

අප කවුරුත් දන්නා පරිදි මහින්දගේ රජය බිඳවැටී මෛත්‍රී-රනිල් යහපාලනය පැමිණි කල්හි එම රජයේ මහා මාර්ග ඇමැති ධුරය දරූ ලක්ෂ්මන් කිරිඇල්ල පරිපාලනය යටතේ කුරුණෑගල – මීරිගම අධිවේගී මාර්ග කොටස පවා පරක්කු කරමින් ඉදිකරන කල්හි, කඩවත – මීරිගම කොටසේ පස් පිඩැල්ලක් කපා තිබුණේත් කඩවත පිවිසුම අසළ පමණි. කෲඩියා ගස බේරාගන්නට ගම්පහ දිස්ත්‍රික් වන නිලධාරිනි ‘දේවානි ජයතිලක’ ඇතුළු පරිසරවේදීන්, භික්ෂූන් වහන්සේ, මාධ්‍යවේදීන් මැදිහත් වූයේ ඇත්තටම මේ දුලභ, වසර 50 කට පසු සොයාගත් ගස බේරාගන්නට මිස, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නවතන්නට නොවේ. පෙරකී පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේතුවේ නීතිමය භාරකාරත්වයට ගැනෙන මෙම ශාකය බේරාගන්නට, හඬක් නඟන්නට, ජයග්‍රහණයක් දකින්නට මිස දේවානි ජයතිලක එදා මැදිහත් වූයේ මෙම ගසේ නීතිමය අයිතිය තම දෙපාර්තමේන්තුව වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිබුණු මොහොතකය. ඇය සටන් කළේ, තර්ක කළේ මිහිතලයේ අයිතිය වෙනුවෙන් මිස, මාර්ගයකට විරුද්ධව නොවේ. භික්ෂූන් වහන්සේ පඬු කරඳ ගසට සිවුරු පොරවන ලද්දේ, ගස මහණ කළේ මේ දුලභ ගස, නැවත ලෝක සංඛේතයක් බවට පත්වූ ලෝක උරුමයක් රැකීමට මිස අධිවේගී මාර්ගය නවතා දමන්නට නොවේ. ලෝකයේ අධිවේගී මාර්ග පිළිබඳව පරිසරය ගැන කතාකරන පරිසරවේදීන්ට කියවීමක් ඇති බව සැබෑවකි. පඬු කරඳ ගසට නොහොත් කෲඩියා ගසට එරෙහිව ඇතිවූ විරෝධතා එම ස්ථානයේ මාර්ගය ඉදිකිරීමට බාධාවක් වන්නට ඇතැයිද පැවසීම බොරුවක් නොවේ. නමුත් කිලෝමීටර් 37ක සමස්ත කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම නතර වූයේ රටේ ආර්ථික කඩාවැටීම නිසා බව ඊනියා දේශපාලකයන්, ඊනියා පරිසර විරෝධීන් තේරුම්ගත යුතුව ඇත.

ගලවා විනාශ කිරීමට පෙර පඬුකරඳ ගස “දිවයින” කැමරාවෙන්

යම් හෙයකින් පරිසරවේදීන්ගේ, පරිසර නිලධාරීන්ගේ, භික්ෂූන්ගේ ඉල්ලීමට නිහතමානීව රජය කන්දී මෙම ගස බේරාගෙන මාර්ග සැලසුම සංශෝධනය කර මාර්ගය නැවත මැණුම් සකස් කළේ නම් හෝ මාර්ගය ඉදිකිරීම කළේ නම් ශ්‍රී ලංකාව ලෝක පූජිත වීමට ඉඩ තිබිණි. එනමුත්, යහපාලන ආණ්ඩුවේ මෙන්ම, අනතුරුව පැමිණි ගෝඨාභය, රනිල් ආණ්ඩුවලද (මහා මාර්ග) ඇමැති ධුරය දැරූ බන්දුල ගුණවර්ධන ගේ අනුදැනුම යටතේ දිනක් එළිවෙන පාන්දර මෙම ගස කෲර ලෙස කපා, මුල ඩොසරයකින් උදුරා පස් ගොඩක් තුළ සඟවන්නට තරම් මේ බෞද්ධ යැයි කියන සොර දෙටු පාලකයන්, ප්‍රවාහන ඇමැතියන් සැහැසි වන්නේ ආනන්තරිය පාපකර්මයක් තරම් පවකට කර ගසමිනි. මෙසේ පස යට සඟවා තිබුණු ගසේ මුල් කොටස යළි සොයාගන්නට අධිවේගී මාර්ග ව්‍යාපෘතියට ගම්පහ අධිකරණයේ නියෝගයක් නිකුත් කරන්නට පවා සිදු විය.

එනමුත් ගලවා දමන ලද ගස පිහිටි තැනවත් කොන්ක්‍රීට් කුලුනු නංවා කොන්ක්‍රීට් බීම් දමන්නට ගිය රජයේ පාලකයන්ට නොහැකි විය. අඩුම තරමේ මෙම ගස තිබුණා නම් ඔක්සිජන් කිලෝග්‍රෑම් කොතරම් ප්‍රමාණයක් මෙම ගස මගින් ජනනය වනවා දැයි අප කල්පනා කළ යුතුය. නමුත් අපට ගස අහිමි වුවත් මාර්ගය ඉදිවූයේ නැත. ඒ අනිකක් නිසා නොව, ආර්ථික කඩාවැටීම නිසා මාර්ග ව්‍යාපෘතිය නතර වීමය. එය පඬු කරඳ ශාකය පිටින් යැවීම කිසිසේත් සුදුසු නොවේ. දේවානි ලෑ සටන් කළේ ලෝක පූජිත ගසක් බවට පඬු කරඳ ශාකය පත්කරගන්නට මිස වෙන න්‍යාය පත්‍රවලට නොවේ. භික්ෂූන් ගස මහණ කළේ ගස බේරාගන්නට මිස මාර්ගයට විරුද්ධව නොවේ. කොටින්ම ලියුම්කරු දිගින් දිගටම කීවේද ගසත් බේරාගෙන, මාර්ගයත් ඉදිකරගෙන, මේ අසළ ඇති ‘දාරළුව’ දුම්රිය ස්ථානය ‘කෲඩියා ස්ටේෂන්’ එකක් බවට Gen Z දැක්මකින් දියුණු කරගෙන සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කර මෙම ගස නැරඹීමට සංචාරකයන් කැඳවිය යුතු බවයි. එය එම ප්‍රදේශයේ ආර්ථික දියුණුව උදාකර ගන්නට තිබුණු අවස්ථාවකි.

පුදුමය නම් එවන් සංකල්පයක් ක්‍රියාවට නැඟිය හැකිව සිටි සංචාරක අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ට එය වැටහෙන්නටත් පෙර ඔහුගේ අතේ දුරෙන් තිබුණු කෲඩියා ගස මහාමාර්ග අමාත්‍ය බන්ධුල ගුණවර්ධන ගේ අනුදැනුමෙන් කපා, රුදුරු ලෙස ඝාතනය කර, මුල් කොටස පවා අතුරුදන් කිරීමය. එම අමිහිරි, ඛේදනීය විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටින අතරතුර, එවන් අතීතයක් අමතක කර දමා නැවත ආරම්භ කරන ලද කඩවත-මීරිගම අධිවේගී මාර්ග සංවර්ධන කටයුතු මේ රජයෙන් ආරම්භ කරන කල්හි රට වළපල්ලට ගිය උදවිය එහි වරද කෲඩියා ගස මුදුණෙන් හෝ එය රැකගන්නට කටයුතු කළ අයගේ ඉහ උඩින් නොතබන ලෙස ඉල්ලා සිටින්නට කැමතිය. එසේම, මෙම මාර්ගය ඉදිකිරීමට පෙර ලක්ෂ ගණනාවක් වැය කර, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පරිසර තක්සේරු වාර්තාව (EIA) තුළට මෙම වඳවී ගියා යැයි කියූ කෲඩියා ගස හඳුනාගෙන ඇතුළත් නොවීමට හේතුව කුමක්ද යන්නත් සොයාබලන ලෙස ඉල්ලා සිටින්නට කැමතිය. ඇතැම් ‘ගොපල්ලන්’ ඊට එරෙහිව යමින් අපට නැවත, නැවත පහර දෙන්නට මෙය අවස්ථාවක් කරගනු ඇතැයිද විශ්වාසය.

ජගත් කණහැරආරච්චි ඡායාරූප –
සුජාතා ජයරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here