ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා (15) මේ වසරේ (2025) දෙවන කාර්තුවේ (අප්‍රේල් 01 සිට ජූනි 30 දක්වා) නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කළේය. මේ අනුව 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2749504 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, මේ වසරේ (2025) දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 2883559 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ ඉහළ යාම අනුව මේ වසරේ (2025) දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. එනම් 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9 ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බවයි. මේ වසරේ (2025) පළමු කාර්තුවේ වාර්තා කර තිබූ ආර්ථික වර්ධනය සියයට 4.8 කි. මේ අනුව මේ වසරේ (2025) පළමු කාර්තුවේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව දෙවන කාර්තුවේ දී සුළු වශයෙන් ආර්ථික වර්ධනයේ ඉහළ යෑමක් සිදුව ඇත. 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙළින් සියයට 2.0, සියයට 5.8 ක් සහ සියයට 3.9 ක් වශයෙන් ධන වර්ධනයන් ද වාර්තා කර ඇත.
2018 සිට 2025 වර්ෂය දක්වා
2018 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා අතර කාලයේ දී දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වී ඇති ආකාරය සැලකීමේ දී 2018 වසරට සාපේක්ෂව අප සිටින තැන ගැන වටහාගත හැකිය. එනම් 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 3121.5 කි. එහෙත් මේ වසරේ (2025) මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 2883.6 ක් වන අතර මේ අනුව තවමත් රටේ දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය තිබෙන්නේ, 2018 වර්ෂයට වඩා පසුපසින් බව පැහැදිලි වේ. 2019 වසරේ වාර්තා කළ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 3066.8 කි. 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව නිසා, එම වසරේ (2019) ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑම් එල්ල විය. විශේෂයෙන්ම සංචාරක පැමිණීම්වලට බලවත් බලපෑම් සිදු විය. ඒ නිසා 2018 වර්ෂයට වඩා, 2019 වසරේ දෙවන කාර්තුවේ මූර්ත නිෂ්පාදිතය අඩු වී ඇත. 2020 වසරේ දෙවන කාර්තුවේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 2541.2 ක් දක්වා තවත් අඩු විය. ඉන් පසු 2021 වසරේ දෙවන කාර්තුවේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 2541.2 සිට රු. බිලියන 2877.1 දක්වා වැඩි වී ඇත. ඉන් පසුව 2022 වසරේ දෙවන කාර්තුවේ දී නැවත මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු. බිලියන 2724.4 ක් දක්වා පහත වැටී ඇත. ඉන් පසු පිළිවෙළින් 2023 සහ 2024 යන වසර දෙකේ දෙවන කාර්තුවේ දී රු.බිලියන 2641.1 ක් සහ රු.බිලියන 2749.5 ක් ලෙස වාර්තා වී අවසාන වශයෙන් මේ වසරේ (2025) දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 2883.6 ක් දක්වා වර්ධනය වී තිබේ.
දෙවන කාර්තුවේ 4.9 % ක ආර්ථික වර්ධනයක්
මේ ඉහළ යෑම අනුව 2024 වසරේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, මේ වසරේ (2025) දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත. එනම් මේ වසරේ (2025) දෙවන කාර්තුවේ දී සියයට 4.9 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බවයි. එහෙත් රටේ පසුගිය වසරවල නිෂ්පාදිත දත්තවලට අනුව 2018 වසරට වඩා තවමත් දේශීය නිෂ්පාදිතය තිබෙන්නේ පහළ මට්ටමකය. පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ 2022 වසරේ දී රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් අපේ ආර්ථිකය බලවත් පසුබෑම්වලට ලක්වීමෙන් රටේ නිෂ්පාදනය අඩු විය. මේ නිසා 2022 වසරේ දී සියයට 7.3 ක බලවත් ඍණ ආර්ථික වර්ධනයක් ද වාර්තා කරන ලදී. මේ වන විට ආර්ථිකය එම ඍණ ආර්ථික වර්ධන තත්ත්වයෙන් අත්මිදී ධනාත්මකව වර්ධනය වෙමින් තිබුණත් ඇත්ත කතාව නම් තවමත් අපේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2018 වසරේ වාර්තා කළ අගය පසුකර යෑමට සමත්ව නැත. මේ කරුණු අනුව අපට පැහැදිලි වන්නේ අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් වර්ධනයක් වාර්තා කරමින් තිබෙන නමුත් අපේ ආර්ථිකය තවමත් තිබෙන්නේ 2018 වසරට වඩා පසුගාමී තත්ත්වයකය. මේ පසුබිම තුළ කිව යුතු වන්නේ 2022 වසරේ දී අප වැටුණු ආර්ථික අගාධයට සාපේක්ෂව අපේ ආර්ථිකයේ ඇතිව තිබෙන ස්ථාවරත්වය ගැන අපට සතුටු විය හැකි නමුත් රටේ ජනයා සිටින්නේ ඉතා අමාරුවෙන් බවයි.
එනම් පසුගිය ආර්ථික අර්බුද කාලයේ සියයට 70 ද ඉක්මවා උද්ධමනය ඉහළ යමින් බඩු මිල ගණන් විශාල ලෙස වට කිහිපයකින් ඉහළ ගියත්, ඊට සාපේක්ෂව තවමත් ජනයාගේ ආදායම් මට්ටම් ඉහළ ගොස් නැත. මේ නිසා පසුගිය වසරවල, එනම් විශේෂයෙන් වර්ෂ 2022 සහ 2023 කාලයේ සිදු වූ ජීවන වියදමේ සැලකිය යුතු වැඩිවීමට සාපේක්ෂව ජනයාගේ ආදායම් මට්ටම්වල වැඩිවීමක් සිදුව නැති නිසා ජනයා අමාරුවෙන් ජීවත් වන බව තේරුම් ගැනීමට අපහසුවක් නැත. මේ නිසා රටේ බොහෝ ජනයා දුප්පත්කමට ද ඇද වැටී ඇත. ලෝක බැංකුව පසුගිය කාලයේ නිකුත් කළ වාර්තාවකින් කියා තිබුණේ ද රටේ ජනයාගෙන් තුනෙන් එකක් පමණ දුප්පත්කමට ඇද වැටී ඇති බවයි. අස්වැසුම හෝ වෙනත් ජීවනාධාර දී මේ දුප්පත්කම අවම කළ නොහැකිය. මේ නිසා අප සිතන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය මීට වඩා වේගවත් කර ගැනීමට රජය මැදිහත් විය යුතු බවයි. රජයට ආර්ථිකයේ හැමදෙයක්ම කළ නොහැකිය. රටේ ශ්‍රම බලකායට වසරින් වසර එකතු වන තරුණ තරුණියන් සියලු දෙනාට රජයේ රැකියා සැපයීමට ද හැකියාවක් නැත. මේ නිසා රජය කළ යුතු වන්නේ ව්‍යාපාර කරන අයට, නිෂ්පාදකයන්ට සහ කර්මාන්තකරුවන්ට පහසුකම් සැලසීමයි. ඔවුන් ආර්ථික කටයුතු සහ ආයෝජන සඳහා දිරිගන්වමින් ව්‍යාපාර කිරීමට පහසු පරිසරයක් ඇති කිරීමයි. ඒ හරහා රටේ ආර්ථික කටයුතු දිරි ගැන්වීමයි. එසේම ඒ තුළින් දැනට තිබෙන (මන්දගාමී) ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමයි. එසේ කරගත යුතුය. ඒ සඳහා රජයේ මීට වඩා වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මේ අනුව රටේ බොහෝ ආර්ථික විද්වතුන්, ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරති. එසේ නොකර මේ මන්දගාමී ආර්ථික වර්ධනය මගින් රටේ දුප්පත්කමේ ප්‍රශ්නයට පිළියම් නොලැබෙනු ඇත. ජනයා දැන් සිටින අමාරු තත්ත්වයෙන් කෙටිකාලයකින් ගොඩ ගැනීමට ද අපහසු වනු ඇත. මේ නිසා පෞද්ගලික අංශය දිරි ගැන්වීමේ අවශ්‍යතාව ගැන පසුගියදා ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක ද සඳහන් විය.
ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුව නිකුත් කළ මේ නවතම වාර්තාවේ සඳහන් වූයේ ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට මිලියනයකට ආසන්න තරුණ පිරිසක් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එම කාලයේ දී ජනිත වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති නව රැකියා ප්‍රමාණය 300,000 ක් පමණක් වනු ඇති බවයි. අප සිතන්නේ මෙය රජය විසින් බරපතල අනතුරු ඇඟවීමක් ලෙස තේරුම්ගත යුතු වන බවයි. මේ නිසා රැකියා උත්පාදනය සඳහා පෞද්ගලික අංශයේ වර්ධනය දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව ලෝක බැංකුවේ උප සභාපති Johannes Zutt මහතා පවසා ඇති බව ද එහි සඳහන් විය. පසුගියදා ලෝක බැංකු උප සභාපතිවරයාගේ ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරය අවසන් වීමෙන් පසුව ලෝක බැංකුව නිකුත් කළ නිල ප්‍රකාශයේ මේ බව දැක්වේ. පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම, තරගකාරිත්වය ශක්තිමත් කිරීම සහ සේවා සැපයීම සහ රට පුරා රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ලෝක බැංකු සමූහය රජය සමග හවුල්කාරිත්වයෙන් දිගටම කටයුතු කරනු ඇති බව ද එහි සඳහන් විය.
ලෝක බැංකු උප සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව දුෂ්කර උත්සාහයකින් දිනාගත් ආර්ථික ස්ථාවරත්වය ගැන ප්‍රශංසා කර ඇති අතර රැකියා නිර්මාණය කරන, පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගන්නා සහ ප්‍රධාන අංශ නවීකරණය කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී රජයට අඛණ්ඩව සහාය දක්වන බව ද සඳහන් කර ඇත. එහිදී ලෝක බැංකු උප සභාපතිවරයා මෙසේ ද කියා ඇත.
“ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සඳහා අඩිතාලම දමා ඇත. රැකියා, ආයෝජන සහ සියල්ල පැතිරුණු සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් කාලයයි. සේවා පුළුල් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනය බලමුළු ගැන්වීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දෙමින්, මෙම ගමනේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ලෝක බැංකු සමූහය සූදානම්.”
මේ අනුව බරපතල රැකියා හිඟයක් ඇති වීමට ඉඩ තිබෙන අතර එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා පෞද්ගලික අංශය දිරි ගන්වමින් රටේ ආර්ථික කටයුතු වේගවත් කරගත යුතු වනු ඇත. එනම් ලෝක බැංකුව මේ කියන්නේ රැකියා උත්පාදනය සඳහා පෞද්ගලික අංශයේ වර්ධනය දිරිගැන්වීම අත්‍යවශ්‍ය බවයි. මේ බව අපගේ පෙර ලිපිවල ද සඳහන් කර ඇත. එසේම ව්‍යාපාර හා ආර්ථික ලෝකයේ බොහෝ දෙනෙක් ද මේ අදහස දරන බව ද කිව යුතුවේ. මේ නිසා ඉදිරි කාලයේ දී පෞද්ගලික අංශයේ වර්ධනය දිරිගැන්වෙන පරිසරයක් කඩිනමින් ඇතිකර ගැනීමට අවශ්‍ය උපායමාර්ග රජය මගින් දියත් කිරීම ඉතාමත් වැදගත් වේ.
ජාතික නිෂ්පාදිත දත්ත

මේ ජාතික නිෂ්පාදිත දත්ත ගැන සඳහන් කිරීමේ දී ජාතික ගිණුම් හෝ ජාතික ගිණුම්කරණය යන සංකල්ප ගැන කිසියම් හැඳින්වීමක් කිරීම ද වැදගත්ය. මේ අනුව ජාතික ගිණුම් හෝ ජාතික ගිණුම්කරණය යනු කිසියම් ආර්ථිකයක් සමස්තයක් ලෙස සලකා කිසියම් කාලපරිච්ඡේදයක් තුළ එහි ක්‍රියාකාරීත්වය මූල්‍යමය වටිනාකමක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා යොදාගන්නා සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස සඳහන් කළ හැකිය. මෙමගින් රටේ නිෂ්පාදනය, ආදායම, පරිභෝජනය සහ ආයෝජනය ඇතුළත් සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වල අගය තක්සේරු කරනු ලබයි. නොයෙකුත් ආයතන ව්‍යාපාර ආයතන විසින් ද අවසාන ගිණුම් සකස් කරයි. ඒ ගිණුම්වලට වඩා මේ ජාතික ගිණුම්කරණය වඩා සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස කිව හැකිය. එයට හේතුව නම් එහිදී රටේ මුළු ආර්ථිකයම එකම ගිණුම්කරණ ඒකකයක් ලෙස සලකා ආර්ථිකයේ ක්‍රියාකාරකම්වල අගය තක්සේරු කරනු ලබන බැවිනි. නොයෙකුත් ආයතන, ව්‍යාපාර මෙන් ම කුටුම්බයන් රැසක් ආර්ථිකයක් තුළ පැවතීමත්, ඊටත් අමතරව රජයේ ක්‍රියාකාරිත්වය පැවැතීමත් නිසා මේ ගිණුම්කරණයේ ඇති සංකීර්ණත්වය තවදුරටත් වැඩි වී ඇත. ජාතික ගිණුම්කරණයට සම්බන්ධ ඇති සංකල්ප රැසක් ඇත. මෙයින් අප මෙහිදී ප්‍රධාන වශයෙන් හඳුන්වා දුන්නේ දළ දේශීය නිෂ්පාදිතය සහ ආර්ථික වර්ධනය යන සංකල්පයන් ය.
දළ දේශීය නිෂ්පාදිතය
දළ දේශීය නිෂ්පාදිතය (Gross Domestic Product) යනු රටක තුළ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ නිපදවන ලද සියලුම අවසන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ මුළු වටිනාකමයි. කෙටියෙන් මෙය ද.දේ.නි (GDP) ලෙස හඳුන්වයි. රටක ආර්ථික ප්‍රදේශය හෝ ආර්ථික කලාපය තුළ මේ නිෂ්පාදනය සිදුවේ. එනම් මෙයට එම රටට අයත් භූමි ප්‍රදේශය පමණක් නොව ගුවන් සීමාව සහ මුහුදු සීමාව ද ඇතුළත් වන ඒ රටේ රජය මගින් ඍජුව ම පාලනය කරන සම්පූර්ණ ප්‍රදේශයම අයත් වන බව කිව හැකිය. මේ ද.දේ.නි. ඇස්තමේන්තු කිරීමේ දී සැලකිල්ලට ගන්නේ එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සිදු වූයේ කොහේ දී ද එනම් කුමන රටකට අයත් ආර්ථික ප්‍රදේශයක් තුළ ද යන්නයි. එසේ නැතුව එම නිෂ්පාදනය කළේ කවුරු විසින් ද යන්න නොවේ. මේ නිසා එම රට තුළින්ම පමණක් නොව වෙනත් රටවලින් සපයා ගන්නා අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිදු කළ නිෂ්පාදනවල අගයන් ද මේ දළ දේශීය නිෂ්පාදිතය තුළ අන්තර්ගත වේ.
රටේ දළ දේශීය නිෂ්පාදිතය මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදීමෙන් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (Per Capita GDP) ගණනය කරයි. එනම් මෙහි අදහස වන්නේ රටක සාමාන්‍යයෙන් වසරක් තුළ නිෂ්පාදනය කරන ලද අවසාන භාණ්ඩ හා සේවාවල වටිනාකමින් එක් පුද්ගලයකුට සාමාන්‍ය වශයෙන් ලැබෙන වටිනාකමයි. මෙය අප ගණනය කරන සාමාන්‍ය අගයක් පමණක් වන නිසා රටේ හැම දෙනාටම එම අගය එක සමානව ලැබෙන්නේ නැති බව ද අප තේරුම් ගත යුතු වේ. රටේ ආදායම් බෙදී යෑමේ පුළුල් විෂමතාවක් තිබෙන්නේ නම් බොහෝ දෙනකුට ලැබෙන්නේ මේ ගණනය කරන සාමාන්‍ය අගයට වඩා බොහෝ අඩු ආදායමක් බව කිව යුතුය. මේ නිසාම රටක් විසින් එම රටේ ආර්ථිකය වර්ධනය කර ගන්නා අතරම ආදායම් බෙදී යෑමේ විෂමතාව ද හැකිතාක් අවම කරගත යුතු වේ. එනම් වඩා පැතිරුණු ආර්ථිකයේ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය සහිත තිරසර ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම ඉතාමත් වැදගත් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
Saru FM Media