ඉන්දියාවේ සහ චීනය ඇතුළුව විදේශීය සංචාර අටක්
නව නේපාල නායකත්වයට ජනාධිපතිවරයාගෙන් උණුසුම් සුබපැතුම්
ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් 7ක්
ආර්ථික පරිවර්තන පනත හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බැඳීම ස්ථිරයි
වසර 20ක බලපත්‍රයක් සමග කොළඹට සුපිරි කැසිනෝවක්
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමුවන අවුරුද්දේ කිසිදා කිසිවකුට අමතක නොවන සිද්ධීන් ගණනාවක් සිදුවිය. දූෂිත ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමුවරට හිටපු අමාත්‍යවරුන් දෙදෙනකුට 2025 මැයි 29 වන දින බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සාමාජිකයන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) මැතිසබය නියෝජනය කළ මහින්දානන්ද අලුත්ගමගේට සහ නලින් ප්‍රනාන්දුට දූෂණ චෝදනා මත පිළිවෙළින් නියම කළ වසර 20 සහ 25 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් පාර්ලිමේන්තු දේශපාලනය පිළිබඳව මහජන විශ්වාසය නැත්තටම නැති කර තිබෙන බව අවධාරණය කළේය.
ඉතිහාසයේ පළමුවරට හිටපු මහ ඇමැතිවරයකුට දූෂණ චෝදනා මත බරපතළ වැඩ සහිතව වසර 16 ක සිරදඬුවමක් නියම විය. ශ්‍රීලනිප සාමාජික උතුරු මැද පළාත් සභාවේ එජනිස නියෝජනය කළ එස්. එම්. රංජිත් සමරකෝන් (හිටපු කැබිනට් අමාත්‍ය, ශ්‍රීලනිප සාමාජික සහ එජනිස පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්. එම්. චන්ද්‍රසේනගේ බාල සහෝදරයා) සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේනට කොළඹ මහාධිකරණය විසින් එම දඬුවම් නියම කළේය. ශාන්ති එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිඳයි.
තවත් හිටපු එජනිස ප්‍රබලයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශිනි ඇතුළු පවුලේ සාමාජිකයන් දූෂණ චෝදනා සහ අයථා ආදායම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය තුළ මුහුණ දෙන අභියෝගය මීට පෙර තිබූ කිසිදු ආණ්ඩුවක් යටතේ යථාර්ථයක් වන්නේ නැත.
බංකොළොත් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් ලක්ෂ 160 කට අධික මහජන මුදලක් මහා බ්‍රිතාන්‍යයේ පැය 48 ක පෞද්ගලික සංචාරයකදී වියදම් කිරීම මත රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම (වික්‍රමසිංහ මෙම චෝදනාව අභියෝගයට ලක්කර ඇත), පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බලය අවභාවිතා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් තුළින් ඉවත් කිරීම සහ හිටපු නාවික හමුදාපතිවරයකු සහ කියුබාවේ සිටි ශ්‍රී ලංකා තානාපති නිශාන්ත උළුගේතැන්න ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය අවසන් වූවාට පසුව සිදුවූ පැහැර ගැනීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම විශේෂ සිදුවීම්ය. (මෙම චෝදනාව අභියෝගයට ලක් කර ඇත).
ඊට අමතරව හිටපු කැබිනට් / කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, නාමල් රාජපක්ෂ, මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2011 යාපනයේ සිදුවූ පැහැර ගැනීම් දෙකක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියට ලක්වී ඇත.
මීට හරියටම වසරකට පෙර (2024 සැප්තැම්බර් මාසයේ අද වැනි දිනයක) අතිශය ව්‍යාකූල දේශපාලන-ආර්ථික-සමාජීය තත්ත්වයක් තුළ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක (AKD) එම ධුරයේ තම පළමුවන වසර දේශීය සහ විදේශීය අභියෝග හමුවේ සම්පූර්ණ කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සහ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක ජනාධිපති ධුරයේ පළමුවන වසර නිම කිරීම සමරන්නේ නිව්යෝක් නුවරදීය. ඒ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවීමට නිව්යෝක් නුවරට පැමිණ ඇති පසුබිමකය.
ජාජබ අපේක්ෂක ලෙස 2019 ජනාධිපතිවරණයේදී යන්තම් ඡන්ද 418,000 ලබාගත් AKD 2024 දී දැවැන්ත පිම්මක් පැන්නේය. තම ඡන්ද ගොඩ ලක්ෂ 56 නැතහොත් මිලියන 5.6 දක්වා වර්ධනය කර ගත්තේය. ඊට මාස තුනකට පසුව පැවැත්වූ මහ මැතිවරණයේදී (2024 නොවැම්බර් 14) AKD තම පක්ෂයට අදහාගත නොහැකි 2/3 බලයක් ලබා දුන්නේය. මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් ජාතික ලැයිස්තු ආසන 18 ක් සමග 159 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කණ්ඩායමක් ගොඩනැඟීම අසීරු කාර්යයකි. පාර්ලිමේන්තුව ජාජබ මන්ත්‍රීවරුන්ගෙන් පිරවිය යුතු බවට AKD කළ ඉල්ලීමට ඡන්දය දුන් ජනතාවගෙන් වැඩි කොටස අවධානය යොමු කිරීම විශේෂ තත්ත්වයකි. මහ මැතිවරණයේදී ජාජබට ඡන්ද ලක්ෂ 68 නැතහොත් ඡන්ද මිලියන 6.8ක් ලැබිණි. පසුගිය වසරේ පැවැත්වූ ජාතික මැතිවරණ දෙක හරහා සමස්ත දේශපාලනය උඩු යටිකුරු කිරීමට හේතුවූ ප්‍රබල සාධකය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමේ ව්‍යාපාරයයි.
ජාජබ තම අද්විතීය ජයග්‍රහණය සමරන මේ මොහොතේ අවධාරණය කළ යුතු කරුණක් ඇත. විශේෂයෙන් මහ මැතිවරණයේදී ඡන්දය දුන් ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවිය. ඒ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරය අතහැරීමට බල කළ දේශපාලන ව්‍යාපෘතිය (අරගලය) තුළ බලාපොරොත්තු වූ පමණට මැතිවරණ ක්‍රමය තුළ විශ්වාසය ඇති නොවීමයි.
ජාජබ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කළත් ජයග්‍රාහී ජාජබ අපේක්ෂක AKD ට ජනාධිපතිවරණයේදී 50%+1 ඡන්ද ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව ඒ පක්ෂය පමණක් නොව සමස්ත දේශපාලන ව්‍යුහයම සංවේදී විය යුතුය. මැතිවරණ ක්‍රමය පිළිබඳව ජනතාවට ඇති විශ්වාසය හීන වීම ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයකි. එවැනි රටවල් විදේශීය බලපෑම්වලට තෝතැන්නකි. රටට අහිතකර න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට අවස්ථාවකි. එවැනි දුෂ්ට න්‍යාය පත්‍ර ක්‍රියාත්මක රටවල් අතර ශ්‍රී ලංකාවත් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.
ශ්‍රී ලංකාවේ අරගලය හරහා ඇතිවූ දේශපාලන වටපිටාව තුළ AKD ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වීමට සති කිහිපයකට පෙර නේපාල රජය බලයෙන් පහ කිරීම සිදුවිය. ශ්‍රී ලංකාව තුළ පූර්ණ ඇමෙරිකානු ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ අරගලයට (අප්‍රේල් -ජුලි 2022) සාපේක්ෂව නේපාල රජයේ කඩා වැටීම පැය 48ක් තුළ සිදුවිය. ප්‍රචණ්ඩ කණ්ඩායම් විසින් නේපාල පාර්ලිමේන්තුව ගිනි තැබූ අතර රටේ ඉහළම අධිකරණයට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට මෙන්ම පෞද්ගලික දේපළ ද විනාශ කළේය.
නේපාලයේ තත්ත්වය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ශ්‍රී ලංකා රජය ආණ්ඩු පෙරළියෙන් පසුව නව අන්තර්කාලීන ආණ්ඩුවට සුබ පැතීය. AKD ජනාධිපතිවරයා විශ්‍රාමික අගවිනිසුරුවරියක වූ තාවකාලික අග්‍රාමාත්‍ය සුශිලා කාර්කිට සුබපැතීය. කොවිඩ් සමයේ ආරම්භ වූ දේශපාලන ව්‍යාකූලත්වය තුළ 2020 සිට අද දක්වා පකිස්ථානයේ, ශ්‍රී ලංකාවේ (20220, බංගලිදේශයේ (2024) සහ නේපාලයේ (2025) ආණ්ඩු වෙනස් කර ඇත. මැතිවරණ ක්‍රමයට පිටින් ආණ්ඩු වෙනස් කළ හැකි ක්‍රියාදාමයක් ඇති බව අවධාරණය කර ඇත. පකිස්ථානයේ, ශ්‍රී ලංකාවේ සහ බංගලිදේශයේ ආණ්ඩු පලවා හැරීම පිටුපස ඇමෙරිකා එක්සත් ජනපදය ඍජුව ක්‍රියාත්මක වූ බවට ප්‍රබල චෝදනා එල්ල වී ඇත.
පකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා වූ ඉම්රාන් ඛාන් ඉවත් කිරීමට ඇමෙරිකානු මැදිහත්වීමක් සිදුවූ බව රහසක් නොවේ. ඊට හේතු වූයේ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම නොසලකා 2020 පෙබරවාරි මාසයේ මොස්කව් නුවර සංචාරයක් කිරීම බව ප්‍රකට කරුණකි. පාකිස්ථාන ව්‍යවස්ථාදායකය සහ තීරණාත්මක බලයක් හිමි යුද හමුදාව අග්‍රාමාත්‍යවරයාට එරෙහි ක්‍රියාමාර්ගයට එකතු වීම කනගාටුදායකය.
තව දුරටත් වර්ධනය වෙමින් පවතින චීන – ඇමෙරිකා බල පොරය තුළ එම කඳවුරු දෙක අතර සම්බන්ධතා කළමනාකරණය කර ගැනීම AKD මුහුණ දෙන බරපතළම විදේශීය අභියෝගයයි. චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග ද අර්බුදකාරීය. ශ්‍රී ලංකාවට හිතකර නොවේ. චීනය සහ ඉන්දියාව (අදානි වැනි ප්‍රබල ඉන්දියානු පෞද්ගලික ආයතන) මෙරට සිදුකරන ඍජු ආයෝජන සමස්ත බල ව්‍යාප්තියේ මෙවලම්ය. ඒ පිළිබඳව අමුතුවෙන් කිවයුතු නොවේ. විදේශීය බලපෑම්වලට ලක්වීමට ශ්‍රී ලංකාව උපාය මාර්ගික වශයෙන් ඉතාමත් වැදගත් ජාත්‍යන්තර මුහුදු මාර්ගයක පිහිටා තිබීම හේතු වී ඇත.
මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ රජය (2015-2019) හම්බන්තොට වරාය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 කට චීනයට 99 වසරකට බදු දීම ආන්දෝලණාත්මක තීරණයකි. ජවිපෙ/ජාජබ හම්බන්තොට වරාය ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ විය. එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රකාශ කළේය. අද තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. හම්බන්තොට වරාය ගිවිසුම සහ ඊට සම්බන්ධ අනෙකුත් චීන ආයෝජන AKD ආණ්ඩුවේ ප්‍රබල බලාපොරොත්තුය. AKD ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී වැඩිපුරම අවධානය යොමු වූයේ හම්බන්තොට ව්‍යාපෘතියට බව ජාජබ රජය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශවලින් පැහැදිළි විය.
මීට පෙර ජනාධිපතිවරුන් මෙන්ම ඇමෙරිකානු – චීන-ඉන්දීය සම්බන්ධතා කළමනාකරණය කර ගැනීමේ අභියෝගයට වර්තමාන නායකයා ද මුහුණ දී ඇත. රුසියාව සමග ද කල්පනාකාරීව කටයුතු කළ යුතුය. 2019 ජනාධිපතිවරණයෙන් පසුව ඉන්දියානු මාධ්‍යවේදියකු සමග ගෝඨාභය රාජපක්ෂ කළ සම්මුඛ සාකච්ඡාවකදී හම්බන්තොට වරයා ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට අදහස් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. චීනය එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. චීනය හම්බන්තොට ස්ථානගත වන්නේ නැවත කිසිදා උපායමාර්ගික වශයෙන් එම රටට ඉතාමත් වැදගත් එම කේන්ද්‍රීය වරාය අත හැරීමට නොවේ.AKD ජනාධිපතිවරයා ලෙස පිළිවෙළින් ඉන්දියාවේ (දෙසැම්බර් 15-17,2024), චීනය (ජනවාරි 14-17), ඩුබායි (පෙබරවාරි 10-13), වියට්නාමය (මැයි 3-6), ජර්මනිය (ජුනි 11-13), මාලදිවයින (ජුලි 28-30) සහ ඇමෙරිකාවේ නිව්යෝක් හි පිහිටි මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට (සැප්තැම්බර් අවසන් සතියේ). නිව්යෝක් සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක් කිරීමට නියමිතව තිබිණි.
කවදත් වගවීම, වගකීම සහ පාරදෘශ්‍යභාවය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිය ජවිපෙ/ජාජබ අදටත් ඉන්දියාව සමග කොළඹදී පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් කිසිවක් නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. එම ගිවිසුම් හත අතරට ආරක්ෂාව ඇතුළු කිරීම සහ කොළඹ ඩොක්යාඩ් සමාගමේ කොටස් 51% ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් Mazagon Dock Shipbuilders Limited (MDL) විසින් ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 52.96 කට මිලදී ගැනීම ඉන්දීය-ශ්‍රී ලංකාව සම්බන්ධතා නව තත්ත්වයකට උසස් කර ඇත. (සාම්පූර් ඇතුළු සියලුම ඉන්දියානු ව්‍යපෘතිවලට ජවිපෙ/ජාජබ එරෙහි විය. කෙටියෙන් කිවහොත් එම පක්ෂ දෙක විරුද්ධ නොවූ ප්‍රධාන ව්‍යාපෘතියක් නොමැති තරම්ය. ඔවුන්ගේ කැසිනෝ විරෝධය සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එයමය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ 2020-2022% ආරම්භ වූ කොළඹ ජෝන් කීල්ස් කැසිනෝ ව්‍යාපෘතිය අවසානයේදී ක්‍රියාත්මක වන්නේ AKD ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ලෙස කටයුතු කළ අවස්ථාවේදීය. City of Dreams Sri Lanka කැසිනෝ ව්‍යාපෘතියට අවශ්‍ය වසර 20 ක බලපත්‍රය ලබා දීම රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සිදුවිය)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2023 දිල්ලියේ කළ සංචාරයෙන් පසුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් දෙරට අතර සාකච්ඡා වී තිබුණේ නැත. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සත් කිරීමට තමන් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තීරණය කළ බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයකින් හෙළිදරව් කර තිබිණි.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ව්‍යාපෘතියක් 80 ව දශයකේදී ක්‍රියාත්මක කිරීම තුළින් රට සම්පූර්ණයෙන්ම අස්ථාවර කර එවකට නවදිල්ලියේ න්‍යාය පත්‍රයට අනුව පළාත් සභා පිහිටුවීමෙන් ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීමට ජවිපෙ එරෙහි විය. ඉන්දියානු ව්‍යප්තවාදයට විරුද්ධව ජවිපෙ එදා එජාප රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුන නමුත් අවසානයේ එම පක්ෂයේ ඝාතනයට ලක් නොවූ එකම දේශපාලන මණ්ඩල සාමාජික සෝමවංශ අමරසිංහ ජීවිතය ගලවා ගනු ලැබුවේ ඉන්දියාවේ පිහිටෙන් බව එතුමාම ප්‍රකාශ කර ඇත. ඒ වසර 12 ක් රටින් පිටවී සිටි අමරසිංහ 2001 නොවැම්බර් මාසයේ අග නැවතත් ප්‍රසිද්ධ දේශපාලනය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කළුතරදී කළ පළමුව කතාවේදීය. අමරසිංහ 2014 දී නායකත්වය AKD ට භාර දුන්නේය.
වසර 10 ක් තුළ AKD පක්ෂයට විධායකය සහ ව්‍යවස්ථාදායකය පමණක් නොව කොළඹ මහ නගර සභාව ඇතුළුව අතිශය බහුතර පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය දිනා දී ඇත. එවැනි පසුබිමක 2024 සැප්තැම්බර් සිට 2025 සැප්තැම්බර් දක්වා ජනාධිපතිවරයාගේ විමසා බලමු.
ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජාජබ දුන් පොරොන්දු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2024 ජුලි මාසයේදී ඡන්දයකින් තොරව සම්මත කර ගනු ලැබූ ආර්ථික පරිවර්තන පනතට යටත්ය. එම පනතට පිටින් කටයුතු කිරීමට ජාජබට නොහැකිය. ඒ එම පනත මගින් ආණ්ඩුව පිහිටුවන පක්ෂය කුමක් වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) නියම කරන වැඩසටහනට යටත් කර ඇති බැවිනි. ඇත්ත වශයෙන්ම මීට පෙර 17 ත් වතාවක් ජාමුඅ සමග ගිවිසුම් ගතවූ ශ්‍රී ලංකාව ඒ සෑම අවස්ථාවකම නිසි පරිදි ක්‍රියා නොකළ බවට හිටපු මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කර ඇත. නමුත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් වසර හතරක් තුළ ලබා ගැනීම සඳහා 2023 දී ඇතිකර ගත් ගිවිසුම මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද ක්‍රියාත්මක කිරීමට AKD ජනාධිපතිවරයා දරන උත්සාහය විශේෂය. AKD ජනාධිපතිවරයා යටතේ ජාජබ විදේශ ප්‍රතිපත්තිය ආන්දෝලණාත්මකය. යම් තීන්දු තීරණ ව්‍යාකූල ස්වභාවයක් පෙන්නුම් කරයි. රුසියාවේ කසාන් හි පැවති BRICS රාජ්‍ය නායකයන්ගේ සමුළුවට AKD සහභාගි නොවීම එවැනි තීරණයකි. එම තීරණය වඩාත් ආන්දෝලණාත්මක වූයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීයර් පුටින් ඍජුව AKD ජනාධිපතිවරයාට ආරාධනා කළ බැවිනි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැත්වූ 16 වන BRICS සමුළුවට සහභාගි වූවානම් එය ජවිපෙ සහ ජාජබ නායකයාගේ ජනාධිපති ලෙස කළ පළමුවන විදේශ සංචාරය වනු ඇත.
මෑතකදී චීනයේ පැවැත්වූ ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ Shanghai Cooperation Organisation (SCO) රාජ්‍ය නායක සමුළුවට AKD ජනාධිපතිවරයා සහභාගි නොවීමද අවධානයට ලක්විය. ජාජබ රජය යම් ආකාරයකට ඇමෙරිකානු නැඹුරුවක් පෙන්නුම් කරන බවට මතයක් ඇත. ජවිපෙ දේශපාලනය සහ කැරැල්ල (ත්‍රස්තවාදය කීවත් වරදක් නැත) සම්පූර්ණයෙන්ම පාහේ රැඳී පැවතුණ ඉන්දියානු සහ ඇමෙරිකානු මෙන්ම බටහිර විරෝධය AKD ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉවත දමා ඇත. එම තීරණයේ කිසිදු වරදක් නැත. ප්‍රශ්නය තවමත් ආණ්ඩු පක්ෂය තම ගමන් මාර්ගය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර නොමැති වීමයි.
ඇමෙරිකාව අරගලය වෙනුවෙන් පෙනී සිටි ආකාරය අමතක කර ජනාධිපතිවරයා සහ ජාජබ ආණ්ඩුවේ ප්‍රවේශය පිළිබඳව විමසා බැලිය නොහැකිය. අරගලය පසුබිමේ ඇමෙරිකාව තම භූමිකාව තව දුරටත් වර්ධනය කර ඇති අතර දෙරටේ ආරක්ෂක හමුදා අතර සහයෝගිතාවයට එහා ‘මිත්‍රත්වයක්’ ගොඩනඟමින් සිටී. AKD ජනාධිපතිවරයාගේ පළමු වසරේදී රජයට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. පසුගිය ජනවාරි මාසයේදී කොළඹ වරායෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323 නිදහස් කිරීම අතිශය ආන්දෝලණාත්මක සිද්ධියකි. කිසිවක් නොවූ ආකාරයට ජාජබ ආණ්ඩුවට කටයුතු කළ නොහැක. එම කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳව ගැටලුව ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග මිද්දෙණිය ප්‍රදේශයේදී කන්ටේනර් දෙකක් සොයාගැනීම පසුබිමේ නවතම මුහුණුවරක් ගෙන ඇත. කන්ටේනර් ආන්දෝලණය පොලිස් පරීක්ෂණ සහ අධිකරණමය ක්‍රියාමාර්ගයක් තුළින් විසඳීම ජාජබ ආණ්ඩුවේ වගකීමයි.
කැබිනට් අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, සුනිල් වටගල සහ කුමාර ජයකොඩි ගේ වත්කම් /බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය (සජබ) අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට පසුගියදා කළ පැමිණිල්ල නිසි පරිදි විභාග කිරීම එම ආයතනයේ වගකීමයි. විශේෂයෙන්ම අමාත්‍ය වසන්ත සමරසිංහට රුපියල් මිලියන 275 ක වත්කම් තිබෙන බවට ඔහු ප්‍රකාශ කිරීම තුළ විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඇතිවී තිබෙන කතාබහ නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ විශ්වාසය පිළිබඳව ගැටලුවයි.
2019 අප්‍රේල් සිදු කළ පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම (විශේෂයෙන්ම අප්‍රේල් 26, 2019 සිදුවූ සයින්දමරුදු පිපිරවීම්) සම්බන්ධයෙන් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් අරුණ ජයසේකරට (ජාජබ ජාතික ලැයිස්තුව) එරෙහිව සජබ ඉදිරිපත් කළ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීම තුළ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් මීට පෙර නොවී තිබේ. පාස්කු ප්‍රහාරකයන් දෙදෙනකුගේ පියා වන මොහමඩ් යුසුෆ් ඉබ්‍රාහිම් 2015 අගෝස්තු මහ මැතිවරණයට ජවිපෙ ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවේ සිටි බවද අමතක කළ නොහැක. පාස්කු ප්‍රහාරයේ ගැටලු තවමත් නිරාකරණය කර ගැනීමට නොහැකි වීම AKD ජනාධිපතිවරයාගේ පළමුවන වසරේ අවධානයට ලක් විය. ඇත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරය දේශපාලනයෙන් තොරව නොවිසඳා ශ්‍රී ලංකාවට ඉදිරියට යෑම අපහසුය. එලෙසම අරගලයේ පසුබිමද නිරාකරණය කරගත යුතුමය.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
Saru FM Media