කේන්ද්‍රයේ දුෂ්ට ස්ථානවලින් ඇතිවන සුබ යෝග

0
8

කේන්ද්‍රයේ දුෂ්ට ස්ථාන යනු 6 වැන්න, 8 වැන්න හා 12 වැන්නයි. එනම් රෝගස්ථානය, ම්‍රත්‍යස්ථානය වැයස්ථානයයි. මෙම ස්ථාන අධිපතීන් මෙම ස්ථානවලට තැම්පත්වීමෙන් ප්‍රබල යෝග 3ක් නිර්මාණය වේ. එනම් හර්ෂා යෝගය, සරලා යෝගය හා විමලා යෝගය යනුවෙනි. මෙම යෝග තුන විපරීත රාජ යෝග ලෙසින්ද සඳහන් වේ.

මෙම යෝග තුනම ප්‍රබල ලෙස සුභඵල දෙන යෝග ලෙස පොළවේ සැලකුව ද තමන්ගේ ජන්ම පත්‍රයේ අනෙකුත් ග්‍රහ පිහිටීම්වල සුභ අශුභ තත්ත්වය හා ඒවායේ බල දුබලතාවය මත සුබපල හීනවීමට හෝ අධික වීමට පුළුවන. තවද දුෂ්ටස්ථාන අධිපතීන් තිදෙනාම යම් කේන්ද්‍රයක පිහිටීමෙන් රාජ යෝගයක් උදාවෙයි. එනම් 6 අධිපති 8 වැන්නේත්, 8 අධිපති 12 වැන්නේත්, 12 වැන්න අධිපති 6 වැන්නේත් යෙදීම විපරීත පරිවර්තන රාජ යෝගය වේ.

හර්ෂා යෝගය, සරලා යෝගය හා විමලා යෝගය වෙන වෙනම හඳුනා ගනිමු.

හර්ෂා යෝගය :-

හයවැන්න අධිපතියා 6, 8 හෝ 12 වැන්න යන ස්ථානවලින් එකක තැම්පත් වීමයි.

කන්‍යා ලග්නයට 6 වැන්න කුම්භ රාශියයි. එහි අධිපති ශනි වේ. මෙම ශනි 6, 8 හෝ 12 පිහිටීම මගින් හර්ෂා යෝගය උදාවේ.

කේන්ද්‍රයක ප්‍රබල ලෙස හර්ෂා යෝගය ඇති ජන්මියා ඉතා වාසනාවන්තය. ප්‍රීතිමත්, නිරෝගී ජීවිතයක් ගතකරයි. ඉතා දැහැමි චරිතයකි. පවට බිය වේ. දක්‍ෂ ලෙස උත්සාහයෙන් දියුණු වේ. කේන්ද්‍රය තුළ පිහිටන මෙම යෝගය හස්තය තුළින්ද දැකබලා ගත හැක. හස්තයේ ජීවන රේඛාව හා චන්ද්‍ර මණ්ඩලය අතර අත්ල මැද කළු ලපයක් පැහැදිලිව පිහිටයි නම් එම පුද්ගලයාට හර්ෂා යෝගය ප්‍රබලව ඇත.

සරලා යෝගය :-

අටවැන්නාධිපතියා 8, 12 හෝ 6 වැන්න යන ස්ථානවලින් එකක තැම්පත්වීම සරලා යෝගයයි.

කුම්භ ලග්නයට අටවැන්න කන්‍යා රාශිය වේ. එහි අධිපති බුධය. එම බුධ 6, 8 හෝ 12 වැන්නේ වීමෙන් සරලා යෝගය උදාවේ. ප්‍රබල ලෙස සරලා යෝගය පිහිටි කේන්ද්‍ර හිමියෙක් බොහෝ නිර්භීත චරිතයක් වේ. මෙවන් පුද්ගලයන් දීර්ඝායුෂ ලබයි. සතුරන් මැඬලීමේ ශක්තියද මොවුන් සතුවේ. මොවුන් වෙත කීර්තිය, ප්‍රසිද්ධිය නිතැතින් ලැබේ.

අත්ලෙහි සරලා යෝගය යෙදෙන අන්දම සලකා බලමු.

අතෙහි ඇති සෑම නියපොත්තකම මුල පැහැදිලිව අඩසඳ ආකාරයට සුදු පාටට පිහිටයි.

රූපය
විමලා යෝගය:-

දොළොස්වැන්නාධිපතියා 6, 8 හෝ 12 වැන්නේ සිටීමෙන් විමලා යෝගය උදාවේ.

මකර ලග්නයට 12 වැන්න ධනු රාශියයි. එහි අධිපති ගුරු වේ. එම ගුරු 6, 8 හෝ 12 තැම්පත්වීම විමලා යෝගය වේ. මෙවැනි යෝගයක් හිමි ජන්මීන් ඉතා අරපරිස්සමෙන් විය පැහැදම් කරන, තම නිදහස අගය කරන, අනුන්ට ගැතිකම් නොකරන, ගුණධර්මයන් අගයන, වාසනාවන්ත අයෙකි.

විමලා යෝගය හස්තයේ පිහිටන අන්දම.

අත්ලෙහි මණිබන්ධන රේඛා අතර සුදු ලපයක් තිබීමෙන් මෙම යෝගය ඇති බව වටහා ගත හැක.

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර. 0382239729

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here