කොළඹ ආ කැලෑ අලි! PHOTOS I Sri Lanka Latest News

0
8


අපේ රටේ පරිසරයට තියෙන ප්‍රශ්න අනේකයි, විවිධයි. ඒවා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. තාවකාලිකව පැලැස්තර විසඳුම් දුන්නත් නැවත නැවත ඒවා මතු වෙනවා. මිනිස්සු තමන්ගේ බලපුළුවන්කාරකම්වලින් සහ විවිධ උපක්‍රම මගින් ඒවාට වසඳුම් සෙව්වත් ප්‍රශ්නය පටන්ගත් තැනමයි. හඬක් නැගීමට නොහැකි ගහකොළ, සතාසිවුපාවුන් ගැන හඬක් නගන්නට වනජීවී ඡායාරූප ශිල්පීන් පිරිසක් එකතු වෙලා මේ රටේ දශක ගණනාවක් විවිධ හේතු මත තවමත් විසඳාගත නොහැකි වූ අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුම් සෙවීමට ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ඒ උත්සාහය කොන්දේසි විරහිතව අපි අගය කරන්න ඕනේ. ‘ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය’ නමින් පිහිටුවාගත් සංවිධානය තමයි ඒ අගය කළ යුතු ක්‍රියාව සිදුකරන්නේ. Sri Lanka Latest News

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ මේ රටේ බැරෑරුම් පාරිසරික හා මිනිස් ඛේදවාචකයක් ගැන. කීප දෙනෙකුගේ එකතුවෙන් ආරම්භ කරන ලද මෙම සංවිධානය අද වනවිට සමාජයේ මිනිසුන් අතර කතාබහට ලක්වෙමින් තිබෙනවා. ඊට හේතුව, ඔවුන් කටයුතු කරන විවෘතභාවය හා අපක්ෂපාතීභාවය බව අපට නිරීක්ෂණය වුණා. මීට පෙර අවස්ථා කීපයකදීම විවිධ සංවිධාන හා පුද්ගලයන් අලි-මිනිස් සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කළත් සංවිධාන අටවා ගත්තත් ඉන් බොහෝ පිරිසක් අන්තිමට නතර වුණේ දේශපාලන අරමුණුවලට ගැතිබවින් හා දේශපාලකයන්ගේ ඔඩොක්කුවේ. මූලික අරමුණ විනාශ කරගෙන ඔවුන්ට අන්තිමට යනඑන මං නැතිවුණා. ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය කිසිම දේශපාලන හෝ රාජ්‍ය නොවන සංවිධානයක ගැත්තන් නොවන බව එහි කැඳවුම්කරු සාරංග දේවා ද අල්විස් සහෘදයා මා සමග පවසා සිටියා.
ඔහු පවසන ආකාරයට මෙකී සංවිධානයේ මූලික අරමුණ වන්නේ අලි-මිනිස් සංහිඳියාව ඇතිකරමින් දශක කීපයක් බලධාරීන්, නිලධාරීන් හා දේශපාලකයන් දඩමීමා කරගනිමින් සංකීර්ණ වූ මෙම ප්‍රශ්නයට සර්ව සාධාරණ විසඳුම් යෝජනාවලියක් ක්ෂේත්‍රයේ අදාළ විෂය ප්‍රාමාණිකයන් සම්බන්ධ කරගෙන වාර්තාවක් සකස් කර රජයේ ප්‍රධානියාට භාරදීමයි.
එහි මූලික පියවරක් ලෙස ඔවුන් පසුගිය සති තුනක කාලයක් තුළ අලි-මිනිස් සංහිඳියාව ඇතිකිරීම සඳහා මහජනතාව දැනුවත් කරමින් මහජන පෙත්සමක් අස්සන් කිරීමට කටයුතු යොදා තිබුණා. එම කටයුත්තේ සමාරම්භය පසුගිය 02 වැනිදා සවස් වරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී සිදුකෙරුණා. ඊට පසුව මහරගම නගරයේත්, අනතුරුව මහනුවර නගරයේදී දින දෙකක් පුරාත් මෙම මහජන පෙත්සම් ලබාගැනීමේ ක්‍රියාන්විතය සිදුවුණා. ඊට අමතරව මෙම පෙත්සම අස්සන් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේද සිදුකිරීමට ඔවුන් ජනතාවට පහසුකම් සලසා දුන්නා.

සංවිධාකයන්ගේ අදහසට අනුව පොදු මහජනතාව මෙකී ප්‍රයන්තය සම්බන්ධයෙන් දැඩි සංවේදී බවක් දක්වන අතර, එය සාක්ෂාත් කරගැනීමට ඔවුන් උපරිමයෙන් සහායෝගය ලබාදෙමින් සිටිනවා. මිනිස් ජීවිත රැකගනිමින්ද, වගාවන් සුරකිමින්ද වන අලින්ටද ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට යෝජනා සකස් කිරීමද ඔවුන්ගේ මූලික අරමුණ වන බව ඔවුන් මා සමග පවසා සිටියා. ඉදිරි කාලය තුළදී මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙරට වන අලි ගැටුම් පවතින ප්‍රදේශවලට යෑමටත්, එහි ජීවත් වන ගොවි ජනතාව හා පොදු ජනතාවගේ අදහස් ලබාගැනීමටත්, මෙරට අනෙකුත් ප්‍රධාන නගරවලට මෙකී මහජන පෙත්සම රැගෙන යෑමටත් සංවිධායකයන් බලාපොරොත්තු වෙනවා.
මේ වනවිට මහජන පෙත්සම සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින අතර, සති 3ක් අතර අස්සන් 25,000ක් පමණ ලබාගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. පරිසරය මිනිසාට සමානව සතාසිවුපාවන්ටද භුක්ති විඳීමට හැකි සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබෙන බව මට දැනගන්නට ලැබුණා. දැනට වාර්තා වන අන්දමට 2025 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 10 වැනිදා දක්වා කාලය තුළ මිනිස් ජීවිත 19ක් හා වන අලින් 118කට ආසන්න සංඛ්‍යාවක් අප රටට අහිමි වී ගොස් තිබෙනවා. වටිනා මිනිස් ජීවිත හා අකාලයේ මියයන වන අලි සංඛ්‍යාව රැකගැනීමට වර්තමාන රජයේ ප්‍රධාන වගකීමක් හා යුතුකමක් බවද ‘කැලෑ කොලමේ’ අපේ අදහසයි.

පෙර සිටි පාලකයන් නොසලකා හරිනු ලැබ තිබූ මෙම පාරිසරික ඛේදවාචකය නිවැරැදිව කළමනාකරණය කොට සාධාරණව විසඳීමට වන අලි සිටින ප්‍රදේශයක හැදීවැඩුණු වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ඇතැයි අප තරයේ විශ්වාස කරනවා. නිල්ල පිරුණු රටක මිනිසුන් හා අලින් මෙන්ම අනෙකුත් ස්වභාවික සතුන්ගේ සංහිඳියාව තුළින් අපේ රටේ ආර්ථිකයට නව පණක් දී සංචාරක කර්මාන්තයටද දියුණුවක් ලබාගැනීමට හැකි වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට වනජීවී ඡායාරූප ශිල්පී එකමුතුව වන ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදයට හැකියාව ලැබේවායි කැලෑ කොලමේ අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ මෙම උත්සාහය අද පරපුරටත් වඩා මතු උපදින පරම්පරාව වෙනුවෙන් බව සංවිධායකයන්ගේ ප්‍රධාන පරමාර්ථයයි. ඔවුන්ගේ ගමනට ‘කැලෑ කොලමේ’ අපේ ශුභාශිංසනය මෙසේ පුදකර සිටිමු.

සමන් හල්ලොලුව



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here