ශ්‍රී ලංකාව ලෝකයේ නිරන්තරයෙන් සිදු වන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට හැකි රාජ්‍යයක් බවට පත් කරනවා – ජනපති දඹුල්ලේදී කියයි

0
11


ශ්‍රී ලංකාව ලෝකයේ නිරන්තරයෙන් සිදු වන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට හැකි රාජ්‍යයක් බවට පත් කරන බව ජනාධිපති අනුර දිසානායක අවධාරණය කරයි.
ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කර සිටියේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට පසුගිය 20 වනදා දඹුල්ලේදී එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර දිසානායක,
“මැයි 06 නැවත ඡන්දයක් තිබෙනවා. මේ ඡන්දය තියන්න තිබු‌ණේ 2023 වසරේදීයි. එහෙත් පැවති පාලනය ඡන්දය කල් දැම්මා. අපි ඒ වෙලාවේ අධිකරණය හමුවට ගියා. අධිකරණය තීන්දු කළා ඡන්දය පවත්වන්න අවශ්‍යයි කියල. එහෙත් මුදල් නැහැ කියලා මැතිවරණය කල් දැම්මා. අපි ආණ්ඩුව හැදුවට පස්සේ මැතිවරණ නියමිත වෙලාවට පවත්වන්න කටයුතු කරමින් තිබෙනවා. අපිට අවශ්‍යයි මේ ඡන්ද තියලා ඉවර කරන්න. මේ වේලාවෙත් විපක්ෂය මන්ත්‍රීවරු ගිහිල්ලා මැතිවරණ කොමිසමෙන් ඉල්ලන්නේ ඡන්දේ කල් දාන්න කියලයි. මේ කාලය ප්‍රාදේශීය සභා නගර සභාවල වැඩ කරන්න පටන් ගන්න තිබුණු කාලයයි.
සැප්තැම්බර් මාසේ 21 වනදා ජනාධිපතිවරණයේදී අපිව ජයග්‍රහණය කළා. නොවැම්බර් මාසයේ 14 වනදා පාර්ලිමේන්තුව පිරිසිදු කළා. දඹුල්ල පරම්පරා ගාණක් පාලනය කරපු පාලකයන් ගෙදර යවා තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාවට ස්තූතිවන්ත වෙනවා. මේ පළාත් පාලන ආයතන සියල්ල ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්න අවශ්‍යයි. අප ආණ්ඩුවක් අරගෙන අවිධිමත් කාර්යභාරයක් කරන්නේ නැහැ. විනාශකාරී මාවතේ ගෙන යමින් තිබුණු අපේ රට සහ ජනතාව නැවත නිවැරදි මාර්ගයට හැරවිය යුතුයි. ඒ සඳහා විශාල වෙහෙසක් දැරිය යුතුයි.
අපේ රට ගොඩනැඟීමේදී රාජ්‍ය සේවයේ විශාල වෙනසක් අවශ්‍යයි. පහුගිය අයවැය ‍ලේඛනයෙන් රුපියල් බිලියන 1400ක් සංවර්ධන වැඩවලට වෙන් කර තිබෙනවා.  එය ලංකා ඉතිහාසයේ සංවර්ධනය සඳහා වෙන් කළ වැඩිම  මුදලයි. මේවා වියදම් කළ යුත්තේ රාජ්‍ය නිලධාරීන්. රට වෙනස් කිරීමේ ගමනේදී ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය වෙනස් කර තිබෙනවා වගේම රාජ්‍ය සේවයත් ගතානුගතික ක්‍රමයෙන් පරිවර්තනය කළ යුතුයි. රාජ්‍ය සේවයේ අවම වැටුප වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කර රටේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම අවශ්‍යයි. රාජ්‍ය සේවයේ මේ වන විට පුරප්පාඩු 30,000ක් හඳුනාගෙන තිබෙනවා. ඒවා මේ තරුණ තරුණයින්ට ලබා ගන්න මින් පසුව දේශපාලන අධිකාරිය පිටුපස යන්න අවශ්‍ය නැහැ. මේ වසර ලංකාවේ භාණ්ඩාගාරය වැඩිම ආදායම ලබන වසර වේවි. මෙම මුදල් ප්‍රමාණය රාජ්‍ය ආයෝජනය ලෙස  රටේ සංවර්ධනයට යොදා ගන්නවා.
අපේ රටේ විදුලි මිල වහින කාලයට අඩු වෙනවා. පායන කාලයට වැඩි වෙනවා. ඒ නිසා ස්ථාවර විදුලි බිලක් නොමැතිව ආයෝජකයින් මේ රටට පැමිණීමේ විශාල අකමැත්තක් දක්වනවා. ඒ නිසා පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි අවධානයක් රජය යොමු කර තිබෙනවා.
ලංකාවේ පළමු වතාවට මහජනයාගේ මුදල් ශතයක් නාස්ති නොකරන ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනයත් අලුත් විදියට වෙනස් කළ යුත්තේ ඒ නිසයි.  කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු පාලකයන් සිටිය රටක්. ආර්ථිකයෙන් මෙතරම් ප්‍රපාතයට වැටෙන්න වංචාව, දූෂණය හා නාස්තිය බලපෑවා. පළමු වතාවට වංචා – දූෂණ, නාස්තියෙන් තොර මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා වංචාව දූෂණයෙන් තොර ප්‍රාදේශීය දේශපාලන අධිකාරියක් සකස් කිරීම අවශ්‍යයි. මේ වෙනස ඇති කරන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා, නගර සභා සියල්ල එකට එකතු වී වැඩ කළ යුතු වෙනවා. එනිසා මෙම පරිවර්තන ඇති කිරීමට අපි සියලුදෙනා පොර බැදිය යුතුයි. පොදුවේ පුරවැසියන්ට සහන සැලසෙන රටක් අප නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අප සියලුදෙනාම වසර දෙක තුනක් එක ලෙස කැපවීමෙන් වැඩ කළ යුතුයි.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියට පමණක් නම් සංචාරකයින් පැමිණෙන්නේ එයින් අපට දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මාතලේ දිස්ත්‍රික්කයම සංචාරක කලාපයක් බවට පත් කළ යුතුයි. ඒ සඳහා සංචාරක සැලැස්මක් අප සතුව තිබෙනවා. දිවා රෑ නොබලා මේ රට ගොඩනැගීම වෙනුවෙන් අප සැමදෙනා මහන්සි වෙනවා.
මේ රටේ ආර්ථිකය වෙනුවෙන් සුබදායී සංඥා විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව නිසි ක්‍රමවේදයකට ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රතිඵල ඉදිරියේදී රටට පෙනේවි. මේ රටේ ජනතාවගේ ජන ජීවිත උසස් කිරීම අරමුණු කරගෙන ජාතික ජන බලවේගය ආණ්ඩුව කැපවීමෙන් වැඩ කරනවා. කුමන බලවත් රාජ්‍යයකටවත් අපව මිලදී ගත නොහැකියි.
මන්නාරමේ සුළං බල ව්‍යාපෘතියක් තිබුණා. තිබුණු ආණ්ඩුව විදුලි ඒකකයක් ඩොලර් සත 0.82කට මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කරලා තිබුණේ. අප ඩොලර් සත 0.82කට කැමැත්ත පළ කළේ නැහැ. රුපියල් 12ට ගන්න තිබෙන විදුලිය ඒකකය රුපියල් 25කට ගන්නේ ඇයි? අප සෑම තීන්දුවක්ම ගන්නේ ජනතාවගේ පැත්තෙන් කල්පනා කරලායි. දඹුල්ලේ ඉන්දියානු  ආධාර ඇතිව ශීතාගාරයක් ඉදි කළා. අප සෑම රාජ්‍යයකටම ගරු කරනවා. සෑම රාජ්‍යයක් සමඟම යහපත් සබඳතා පවත්වනවා. එහෙත් අපේ රටේ ජනතාවගේ සුබසිද්ධිය මත තමයි අප තීන්දු තීරණ ගන්නේ. ජපන් රජයේත් ආරාධනයක් තිබෙනවා එරටට පැමිණෙන්න කියලා. අප පුද්ගලික ප්‍රතිලාභයක් කිසිම රටකින් හෝ රාජ්‍යයකින් බලාපොරොත්තු වන්නේ නැහැ.
2028 වන විට අපි ණය ගෙවීම ආරම්භ කළ යුතුයි. ඒ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය හොඳ මට්ටමකට ගෙන ඒම තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව අපේක්ෂාව. අද හතරගාතෙන් වැටිලා ඉන්න දේශපාලන කණ්ඩායම් ආණ්ඩුව ඔක්තෝබර් මාසේ වැටෙයි කියලා බලාගෙන ඉන්නවා. එක්සත් ජනපදයේ බදු පැන  වූ ගමන් විපක්ෂය උද්යෝගයෙන් හිටියා. එහෙත් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ මාස තුනකින් කල් දැමුවාට පසුව විපක්ෂයේ කන් කඩන් වැටිලා. අප කුඩා රාජ්‍යයක්. ලෝකයේ සමහර හැසිරීම් සමඟ අපේ රාජ්‍යය බලපෑමට ලක්වෙනවා. එහෙත් අපි ලෝකයේ ඕනෑම තැනක සිදු වන අභියෝගාත්මක තීන්දුවලට සාර්ථකව මුහුණ දීමට හැකි රාජ්‍යයක් බවට අපේ රට පත් කරනවා. ජාතික නිෂ්පාදනය වැඩි කිරීමට අප මුල්තැන දී තිබෙනවා. ජාතික උරුමයන්ට නැවත පණ දීමට අප කටයුතු කරනවා.
මේ කන්නයේ වී පිළිබඳ ප්‍රශ්නයක් ආවද? අප වී ගබඩා කරන මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඕනෑම වෙලාවක වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ගබඩා කළ හැකි මධ්‍යස්ථාන රජය සතුව තිබෙනවා. නැවත කවදාවත් අපේ රටේ ගොවි ජනතාවගේ බවභෝග තුට්ටු දෙකට විකුණන්න දෙන්නේ නැහැ. ඛනිජ සම්පත් සංවර්ධනය සඳහා කලාප ඇති කරමින් තිබෙනවා. නව ආර්ථික ක්‍රමවේදයකට මේ රට පරිවර්තනය කරමින් තිබෙනවා. අපි ජනතාවගේ විශ්වාසය ශක්තිමත් කරමින් ඉදිරියට ගමන් කරනවා.
අපරාධ විමර්ශනය කර, අපරාධකරුවන් අධිකරණය හමුවට ගෙන ඒමට අප කටයුතු කරමින් තිබෙනවා. දඬුවම් දීම තිබෙන්නේ අධිකරණයටයි. හිටපු ජනාධිපතිවරයාගෙ ලොකු පුතාටයි, මද්දුම පුතාටයි නඩු පවරා තිබෙනවා. සමහරවිට ආච්චිටත් නඩු වැටෙයි. අධිකරණයේදී නඩුකාරතුමා ඒ පිළිබඳ තීන්දුවක් ගනීවි. පසුගිය දා නඩු තීන්දුවක් ආවා, වංචාව ලක්ෂ 26යි. දඬුවම අවුරුදු දාසයයි. එහෙම බැලුවම සමහරුන්ට දඬුවම් දෙන්න ගියොත් දඬුවම මේ ආත්මෙ ගෙවලා නිම කරන්න බැරි වේවි. මේ රටේ පහුගිය කාලයේදි පාලකයින්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඇමතිවරු වාහන ලියාපදිංචි නොකර ධාවනය කරලා. එහෙත් පොඩි මිනිහා වාහන ලියාපදිංචි නොකර බයිසිකලේ පාරට දාන්න බැරිව ඉන්නවා. අන්න, ඒ නිසා තමයි හැම කෙනාටම නීතිය එක ලෙස ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් පැමිණියේ. පොලිස්පතිතුමා පොලිසියට බයේ හැංගිලා හිටියා. නීතියක් කාටත් සමාන බව එයින් පේනවා. එහෙම රටක් ඕනේ නැද්ද? රාජ්‍ය සේවයේත් අප හඳුනා ගත් වෙනස්කම් කරන්න අවශ්‍යයි. මේ රට ගොඩනඟන වගකීම නිසි ලෙස ඉටු නොකරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබන මාසයෙන් පසුව අප ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විධායකය, පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන එකට තිබිය යුතුයි. දූෂණය නැති කර, වංචාව නැති කර නිවැරදි පාලන ක්‍රමයක් අප නිර්මාණය කරනවා. ජනතාව ජාතික ජන බලවේගය විශ්වාස කරලා ඡන්දය ලබා දෙනවා. අපේ මන්ත්‍රීවරු ඒ ජනතාවගේ විශ්වාසය පලුදු නොකර වැඩ කළ යුතුයි. මේ මහා සංග්‍රාමයේ කොටස්කරුවන් වන මෙන් ඔබ සියලුදෙනාටම ආරාධනා කරනවා.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here