රාවණ රජු සහ නැනෝ චන්ද්‍රිකාව

0
8

ශ්‍රී ලංකාව සිය තුන්වන චන්ද්‍රිකාව ඊයේ ගුවන්ගත කළාය. Birds X Dragonfly ලෙස හැඳින්වෙන මෙම චන්ද්‍රිකාව දැනට අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගෙන යනු ලැබීය. ඒ සඳහා නාසා ආයතනය මගින් යැවූ Space X-33 රොකට්ටුව යොදා ගන්නා ලදී. 2019 දී ද ශ්‍රී ලංකාව සිය ප්‍රථම නැනෝ චන්ද්‍රිකාව ගුවන්ගත කළාය. එහි නම රාවණ 1 ය. 2022 දී ජාත්‍යන්තර තාක්‍ෂණික සහයෝගය ද ලබාගෙන කිට්සුනේ නමැති චන්ද්‍රිකාවක් අහස්ගත කරන ලදී. ශ්‍රී ලංකාව දිනෙන් දිනම ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය පැත්තෙන් දියුණු වෙමින් පවතින බවට කතන්දරයක් තිබේ. එහෙත් අප කරන්නේ පිටරටින් සියලුම කෑලි ගෙන්වා මෙරට දී කොම්පියුටර් එකලස් කිරීම පමණි. ඊට අමතරව මිල අධික වාහනවලට අවශ්‍ය සෙන්සර් කිහිපයක් මෙරට නිෂ්පාදනය කරනු ලැබේ. අපට තවමත් 100% ක ලාංකික කොටස් සහිත මෝටර් රථයක් සාදා ගැනීමට හැකිවී නැත. අඩුම ගණනේ අපි බයිසිකලයක්වත් නොසාදමු. දැනට මේ රටේ කිසියම් ප්‍රවාහන ආධාරකයක් නිෂ්පාදනය කරන්නේ ද, එනම් වීල්බැරෝව පමණි. මේ නිසා ලංකාවට තවමත් හරියාකාර ගමනක් නැත. ලංකාව යනු තනිකරම පාරිභෝගික රාජ්‍යයකි. මෙය නිෂ්පාදන රාජ්‍යයක් බවට පත්කිරීමට තව අවුරුදු කීයක් ගතවේද යන්න සැකසහිත ය. සමහර විට ක්‍රි.ව. 2100 මැද හරියේ දී පමණ මේ රට නිෂ්පාදන රාජ්‍යයක් බවට පත්වීමට ඉඩ තිබේ. ලංකාව තුළ පරිගණක ශාස්ත්‍රයෙහි සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයෙහි අතිදස්කම් සහිත පුද්ගලයෝ සිටිති. නැනෝ තාක්‍ෂණය ගැන දන්නා අය ද මේ රටේ සිටිති. එහෙත් ඒ සියලුම දෙනා මේ වනවිට අමෙරිකාවේ විශාල කොම්පැනිවල ලොකු වැටුප්වලට රැකියා කරති. ඔවුන් සතු දැනුම හෝ හැකියාව භාර ගැනීමට ලංකාවට වත්කමක් නැත. අපේ දුප්පත්කම ඒ තරමටම දරුණු ය.

මිනිසා දන්නා කාලයේ පටන්ම හඳට යෑමට සිහින මැව්වේ ය. ලංකාවේ ජනයා දන්නා කාලයේ පටන්ම සිහින මැව්වේ හඳට යෑමට නොව මහපොළවේ අඩි හයක් යටට යෑමට ය. අපේ ජීවිත ඒ තරමටම දුක්සහගත ය. ඒ තරමටම නිස්සාර ය. ණයට කෑම අපේ ජාතික ප්‍රතිපත්තිය වී තිබේ. නිසි කළමනාකරණයක් නැති නිසා ගොවි නිෂ්පාදන තොග පිටින් කුණු වී යයි. ලංකාවේ වට්ටක්කා වැවෙන කාලයට පිදුරුතලා කන්ද තරමටම උස වට්ටක්කා තොගයක් එකතු වේ. එහෙත් වට්ටක්කා කිලෝවක් ශත 50 කටවත් මිලට ගැනීමට බයර්ලා නැත. මේ නිසා එම වට්ටක්කා කුණු වී යයි. දැනට එක්තරා පුද්ගලික ආයතනයක් සාධාරණ මිලට වට්ටක්කා මිලට ගෙන ඒවා ශීතාගාරවල තබා වට්ටක්කා හිඟ කාලයට වෙළෙඳපොළට නිකුත් කරයි. මෙය කරන්නේ ඒ සමාගම පමණි. මේ නිසා වට්ටක්කා කන්දෙහි උස සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වන්නේ නැත. ඉතිහාසගත කතාවලට අනුව ලංකාව ගුවන් ගමන් කර්මාන්තයේ සිට ඇත. රාවණ රජු සතුව ගුවන් යානා කිහිපයක් තිබිණි. මේ ගුවන්යානාවලින් එක් වර්ගයක් රසදිය ඉන්ධන ලෙස යොදාගෙන අහසේ ගමන් කර තිබේ. අනෙක් වර්ගය ගමන් කළේ මන්ත්‍ර බලයෙන් යැයි කියනු ලැබේ. මේ දෙවැනි කතාව එතරම් ප්‍රායෝගික යැයි සිතීමට බැරිය. එහෙත් ඝෝෂා මාර්ගයෙන් ගල් උස්සන ක්‍රමයක් තිබ්බතයෙහි ඇත. මීට ශතවර්ෂ දෙකකට පමණ පෙර තිබ්බතයේ උස් කඳු මුදුන්වල පිහිටි විහාරාරාම තැනීම සඳහා විශාල ගල්කුට්ටි ප්‍රවාහනය කරන ලද්දේ ඉහත සඳහන් ඝෝෂා තාක්‍ෂණය මගිනි. මේ ඝෝෂාව සිදුකරන්නේ තිබ්බතීය භික්‍ෂූන් වහන්සේලා ය. කිසියම් ඝෝෂාවකට කිසියම් ද්‍රව්‍යයක් චලනය කිරීමට හෝ එසවීමට හෝ හැකි බව ගණිත සමීකරණ මගින් ඔප්පු කළ හැකිය. ඒ නිසා රාවණ රජුගේ ගුවන් ඉතිහාසය අත්හැර දැමීමට නොහැක. මෙහෙම ගිහින් කවදා හෝ දවසක මේ රටේ මිනිහෙක් හඳට යනවා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here