පානදුරේ නිලංගගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

0
9

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මේවන විට ශ්‍රී ලංකාවට රැගෙන විත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

අදාළ සැකකරුගේ මව විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද (19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එය සලකා බැලීම සඳහා ලබන 26 කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සිය පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසය.

ඊට අමතරව රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here